3. වේරි ජාතකය (103)
“යත්ථ වෙරී නිවසති” යන මේ ජාතකය බුදු රජහු දෙවුරම් වෙහෙර වෙසෙන සේක්, අනේපිඬු මහසිටු අරබයා දෙසූහ. අනේපිඬු මහසිටු දිනක් තම භුක්ති ඇති ගමකට ගොස් ආපසු එන්නේ, අතරමග සොරුන් දැක අතරමග වසන්ට නුසුදුසුය. සැවැත් නුවරට ම යන්නෙමි යි ගොනුන් වේගයෙන් මෙහෙයවා සැවැත් නුවරට ම අවුත් දෙවැනි දවස් වෙහෙරට ගියේ, බුදුන්ට එම කරුණ සැල කළේය. බුදුහු, ගෘහපතිය, පෙර ද පඬිවරු අතරමඟ සොරුන් දැක අතර නො රැඳී තමන් වසන ස්ථානයට පැමිණියහැ යි වදාරා ඉකුත් කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්රහ්මදත්ත රජු රාජ්යය කරන කල්හි බෝසත්හු මහත් සම්පත් ඇති සිටුවරයකු ව එක් කුඩා ගමකට ආරාධිත භෝජන අනුභවය සඳහා යන්නේ, අතරමඟ සොරුන් දැක අතරමඟ නො සිට වේගයෙන් ගොනුන් මෙහෙයවන්නේ තම ගෙදරට ම අවුත් නොයෙක් රසවත් අහර අනුභව කොට සිරියහනෙහි වැතිරී සිටියේ, සොරුන්ගේ අතින් මිදී නිර්භය ස්ථානය ම වූ තම ගෙදරට ම පැමිණියේ වෙමි යි ප්රීතිය ප්රකාශ කිරීම් වශයෙන් මේ ගාථාව කීය.
“යත්ථ වෙරී නිවසති න වසෙ තත්ථ පණ්ඩිතො,
එකරත්තං ද්විරත්තං වා දුක්ඛං වසති වෙරිසූති”
එකරත්තං ද්විරත්තං වා දුක්ඛං වසති වෙරිසූති”
“යම් තැනක වෛරී කෙනෙක් වසත් ද නුවණැත්තේ එහි නො වසන්නේය. මක්නිසා ද යත්, වෛරීන් අතර එක් දවසක් හෝ දෙදවසක් වසන්නේ දුක සේ වෙසෙයි.”
එහි, “වෙරීති”, ද්වෙෂ සහගත සිතිවිලිවලින් යුක්ත පුද්ගලයාය. “නිවසති”, වෙසෙයි. “න වසෙ තත්ථ පණ්ඩිතො”, වෛරී පුද්ගලයා යම් ස්ථානයක නිත්යය වාසී ව වසයි ද පාණ්ඩිත්යයෙන් යුත් පණ්ඩිතයන් වාසය නො කරන්නේය. මක් නිසා ද, “එකරත්තං ද්විරත්තං වා දුක්ඛං වසති වෙරිසූති”, විරුද්ධවාදීන් සමග වසන්නා එක් දවසක් දෙදවසක් හෝ දුක සේ ම වසයි යන අර්ථයි.
මෙසේ බෝසත්හු ප්රීතිය ප්රකාශ කොට දානාදී පිංකම් කොට කම් වූ පරිදි ගියේය.
බුදුහු මෙම දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. බරණැස් සිටු එදින මම ම වීමි.
4. මිත්තවින්දක ජාතකය (104)
“චතුබ්හි අට්ඨජ්ඣගමාති” යන මේ ජාතක දේශනා බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, අකීකරු භික්ෂුවක් අරබයා දේශනා කළහ. මෙහි කථා පුවත යට මිත්තවින්ද ජාතකයෙහි කී අයුරින් විස්තර කළ යුතුය. මේ ජාතකය කස්සප බුදු රජුන්ගේ කාලයට අයත් වේ. එකල අපාගත සත්ත්වයෙක් උරචක්රය ඔසවාගෙන නිරයෙහි පැසෙන්නේ, ස්වාමීනි, මම කිනම් පවක් කළේ වෙම්දැ යි බෝසතුන්ගෙන් විචාළේය. එවිට බෝසත්හු තා විසින් මේ මේ පව්කම් කරන ලදැ යි මේ ගාථාව කීහ.
“චතුබ්හි අට්ඨජ්ඣගමා අට්ඨාහිපි ච සොළස,
සොළසාහි ච බත්තිංස අත්රිච්ඡං චක්කමාසදො,
ඉච්ඡාහතස්ස පොසස්ස චක්කං භමති මත්ථකෙති”
සොළසාහි ච බත්තිංස අත්රිච්ඡං චක්කමාසදො,
ඉච්ඡාහතස්ස පොසස්ස චක්කං භමති මත්ථකෙති”
“සතර දෙනාගෙන් නො සතුටු ව අට දෙනකු වෙත ගියේය. අට දෙනාගෙන් නො සතුටු ව සොළොස් දෙනකු කරා ගියේය. සොළොස් දෙනාගෙන් නො සතුටු ව දෙතිස් දෙනකු කරා ගියේය. එයින් නො සතුටු ව වැඩියෙන් පතන්නේ, උරචක්රයට ගියේය. ආශාවෙන් පහර ලැබූ පුරුෂයාගේ හිස මුදුනෙහි උරචක්රය කැරකෙයි.”
එහි, “චතුබ්හි අට්ඨජ්ඣගමාති”, මුහුද මැද විමාන ප්රේතයන් සිව් දෙනකු ලැබ ඔවුන්ගෙන් සතුටු නො වී වැඩි ආශාව නිසා ඉදිරියට ගොස් විමාන ප්රේතියන් අට දෙනකුන් ලැබීය යන අර්ථයි. සෙසු පද දෙකෙහි ද මේ ක්රමය මැයි. “අත්රිච්ඡං චක්කමාසදො” මෙසේ ලද දෙයින් නො සතුටු ව මහත් ආශාව නිසා තව තවත් පතමින් දැන් උරචක්රය ලැබීය. මේ උරචක්රයට පැමිණියෙහි. මෙසේ වූ ඔහුට, “ඉච්ඡාහතස්ස පොසස්ස”, තෘෂ්ණාවෙන් පීඩා වූ පහර ලැබූ ඒ ඔබගේ “චක්කං භමති මත්ථකෙති”, ගලින් කළ චක්රය යකඩින් කළ චක්රය යන ද්විධ වූ මුවහත් ඇති යකඩ චක්රය ඒ පුරුෂයාගේ හිස මුදුනෙහි භ්රමණය වෙමින් වැටෙනු දැක මෙසේ කීය. මෙසේ ද කියා තමන්ගේ දෙව් ලොවට ම ගියේය. ඒ නිරි සතා ද තම පව් ගෙවුණු පසු කම් වූ පරිදි ගියේය.
බුදු රජහු මේ දම් දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. එදින මිත්තවින්දක දැන් අකීකරු භික්ෂුව විය. දෙව් පුත් වනාහි මම ම වීමි.