9. පරෝසහස්ස ජාතකය (99)
“පරොසහස්සම්පි සමාගතානං” යන මේ ජාතක දේශනාව බුදුහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, පුහුදුන් පැන විචාරීමක් අරබයා දෙසූහ. මෙහි කථා පුවත සරභංග ජාතකයෙහි මතු වන්නේය. එක් සමයෙක්හි භික්‍ෂූහු දම් සභාවෙහි රැස්ව ඇවැත්නි, බුදු රජුන් විසින් ලුහුඬින් දෙසන ලද ධර්මය දම් සෙනෙවි සැරියුත් තෙරණුවෝ සවිස්තර ව දෙසූහැ යි තෙරුන්ගේ ගුණ කියමින් හුන්නාහුය. බුදු රජහු වැඩමවා මහණෙනි, දැන් මෙහි කවර කථාවකින් හුන්නාහුදැ යි වදාරා ස්වාමීනි, මෙනම් කථාවකින් හුන්නෙමු යි කී කල්හි මහණෙනි, සාරිපුත්ත මා විසින් ලුහුඬින් දෙසූ දහම් විස්තර වශයෙන් දේශනා කළේ දැන් පමණක් නො වේ. පෙර ද ප්‍රකාශ කළේමැ යි වදාරා ඉකුත් වත ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බ්‍රහ්මදත්ත රජු රාජ්‍යය කරන කල්හි බෝසත්හු උසස් බමුණු කුලයෙහි ඉපිද තක්සලාවෙන් සියලු ශිල්ප උගෙන කාමයන් අත්හැර තවුස් පැවිද්දෙන් පැවිදි ව පඤ්ච අභිඥා සහ අෂ්ට සමාපත්ති උපදවා හිමවතෙහි විසූහ. ඔහුට පන්සියයක් තවුස් පිරිවර වූහ. දෙටු අතවැසි තවුසා වැසි කාලයෙහි අඩක් තවුස් පිරිවර ගෙන ලුණුඇඹුල් සොයනු සඳහා මිනිස් පියසට ගියේය. එකල්හි බෝසතුන්ගේ කලුරිය කරන කාලය පැමිණියේය. ඉක්බිති, අතවැසි තවුසෝ ඔබතුමන් ලැබූ විශේෂ ගුණය කුමක්දැ යි විමසූහ. බෝසත්හු ද කිසිවක් නැතැ යි ප්‍රකාශ කොට මිය ගොස් ආභස්සර බඹලොව උපන්හ. බෝසත්හු අරූපධ්‍යාන ලාභී වුව ද බෝසතුන්ට නුසුදුසු ලොවක් බැවින් අරූප බඹ ලොව නූපන්හ. අතවැස්සෝ ගුරුතුමන් ලබාගත් විශේෂ ගුණයක් නැතැ යි ශරීරය ආදාහනය කිරීමේ දී සත්කාර සම්මාන නො කළහ.
දෙටු අතවැසි තවුසා ආපසු අවුත් ගුරුතුමා කොහිදැ යි විචාළහ. මියගිය බව දැන ගත් පසු ඇවැත්නි, ගුරුතුමා ලබාගත් විශේෂ ගුණ පිළිබඳ ව ඔබලා එතුමන්ගෙන් විමසුවහුදැ යි ඇසීය. එසේය අපි ඇසීමු. එතුමන් විසින් කිසිවක් නැතැ යි කියන ලදි. එම නිසා අපි එතුමන්ට කිසි සත්කාරයක් නො කළෙමු යි කීහ. ඔබලා ගුරුතුමන්ගේ වචනෙහි අරුත නො දන්නහුය. ගුරුතුමාණෝ ආකිඤ්චඤ්ඤායතන තෙවැනි අරූප ධ්‍යාන ලාභියෙකි. එහෙත් අතවැසි තවුසෝ දෙටු තවුසාගේ වචනය නො ඇදවූහ. බෝසත්හු බඹ ලොව සිට මෙකරුණ දැන, මේ අඳබාල තවුසෝ මගේ දෙටු තවුසාගේ වචනය නො අදහති. මම ඔවුන් දැනුවත් කැරවමි යි බඹ ලොවින් අවුත් අසපුව මත අහසෙහි මහත් තෙදින් පෙනී සිට තම දෙටු තවුසාගේ නැණවත් බව වනමින් මේ ගාථාව කීහ.
“පරොසහස්සම්පි සමාගතානං, කන්‍දෙය්‍යුං තෙ වස්සසතං අපඤ්ඤා,
එකොච සෙය්‍යො පුරිසො සපඤ්ඤ, යො භාසිතස්ස විජානාති අත්‍ථන්ති”
“එකට රැස්වූවන් අතුරින් දහසකට අධික වූ නුවණ නැති ඔවුහු සියවසක් හැඬුව ද වචනාර්ථය නො දනිති. යමකු ප්‍රකාශිතයෙහි අර්ථය දනී ද ඒ එක ම පුරුෂයා උතුම්ය.”
එහි, “පරොසහස්සම්පි”, දහසකට වැඩි වුව ද “සමාගතානං”, රැස්වූවන් භාෂිතයෙහි අර්ථය අවබෝධ කිරීමට අසමත් වූවන්ය. බාලයන්ය. “කන්‍දෙය්‍යුං තෙ වස්සසතං අපඤ්ඤා”, මෙසේ රැස්වූ නුවණ නැති මේ බාල ජනයා අතවැසි තවුසන් මෙන් වසර සියයක් වසර දහසක් හැඬුව ද අර්ථය හෙවත් කාරණය අවබෝධ නො කරතැ යි දක්වයි. “එකොච සෙය්‍යො පුරිසො සපඤ්ඤො”, එවැනි බාලයන් දහසකට වඩා එක් නුවණැති පුරුෂයා ම ඉතා උතුම් යන අර්ථයි. කෙබඳු නුවණැත්තෙක් ද? “යො භාසිතස්ස විජානාති අත්‍ථන්ති”, යමෙක් ප්‍රකාශිත වචනයෙහි අදහස දනිත් ද, ඔහු දෙටු අතවැසියා මෙනි.
මෙසේ බෝසත්හු අහසෙහි වැඩ සිට ම දම් දෙසා තාපස සමූහය දැනුවත් කොට බඹ ලොවට ම වැඩියහ. ඒ තවුස් සමූහයා ද දිවි කෙළවර බඹ ලොව පිහිට කොට ගියහ.
බුදු රජහු මේ දම් දෙසුම වදාරා ජාතකය නිමවූහ. එදා දෙටු අතවැසියා සැරියුත් තෙරණුවෝ වූහ. මහා බ්‍රහ්මයා වනාහි මම ම වීමි.
10. අසාතරූප ජාතකය (100)
“අසාතං සාතරූපෙනාති” යන මේ ජාතකය බුදු රජහු කුණ්ඩිය නම් නුවර ඇසුරු කොට කුණ්ඩධාන වනයෙහි වසන සේක්, කෝලිය රජ දියණිය වූ සුප්පවාසා උපාසිකාව අරබයා දේශනා කළහ. ඈ ඒ කල්හි සත් වසක් දරු ගැබ කුසින් දරා ප්‍රසව වේදනාවෙන් දරුවා බිහිකළ නො හැකි ව සිටියාය. මෙසේ මහත් වේදනා උපන. මෙසේ මහත් වේදනාවෙන් පීඩිත ව සිටිය ද සම්මා සම්බුදු වූ ඒ භගවත්හු මෙබඳු දුක් වේදනා දුරු කිරීම පිණිස දම් දෙසත්. ඒ බුදු රජුන්ගේ සුපිලිසන් ශ්‍රාවකයෝ ද මෙබඳු දුක් වේදනා දුරු කිරීමට පිළිපන්හ. යම් තැනක මෙබඳු දුක් නැද්ද ඒ නිවන ඒකාන්තයෙන් සැපය යන මේ තුන් සිතුවිලිවලින් ඒ දුක් වේදනා ඉවසා සිටියාය. ඇය තම සැමියා කැඳවා තමාගේ තත්ත්වත් තම වේදනාවත් බුදු රජුන්ට සැල කරනු පිණිස බුදු රජුන් වෙත යැව්වාය. බුදුහු පුවත අසා සුප්පවාසා කෝලිය රජ දියණියට නිදුක් නිරෝගී ව නීරෝගී පුතකු බිහිවේවා යි වදාළහ. බුදු රජුන්ගේ ඒ වචනය සමග ම ඇය තමා ද නිරෝගී ව නිරෝගී පුතකු බිහි කළාය. ඇගේ සැමියා ගෙදරට පැමිණෙන කල්හි ම ඇය දරුවා බිහි කළ බව දැක බුදු රජුන්ගේ මහිමය පිළිබඳ ව පුදුම වූයේය.