10. අසාතරූප ජාතකය (100)
“අසාතං සාතරූපෙනාති” යන මේ ජාතකය බුදු රජහු කුණ්ඩිය නම් නුවර ඇසුරු කොට කුණ්ඩධාන වනයෙහි වසන සේක්, කෝලිය රජ දියණිය වූ සුප්පවාසා උපාසිකාව අරබයා දේශනා කළහ. ඈ ඒ කල්හි සත් වසක් දරු ගැබ කුසින් දරා ප්‍රසව වේදනාවෙන් දරුවා බිහිකළ නො හැකි ව සිටියාය. මෙසේ මහත් වේදනා උපන. මෙසේ මහත් වේදනාවෙන් පීඩිත ව සිටිය ද සම්මා සම්බුදු වූ ඒ භගවත්හු මෙබඳු දුක් වේදනා දුරු කිරීම පිණිස දම් දෙසත්. ඒ බුදු රජුන්ගේ සුපිලිසන් ශ්‍රාවකයෝ ද මෙබඳු දුක් වේදනා දුරු කිරීමට පිළිපන්හ. යම් තැනක මෙබඳු දුක් නැද්ද ඒ නිවන ඒකාන්තයෙන් සැපය යන මේ තුන් සිතුවිලිවලින් ඒ දුක් වේදනා ඉවසා සිටියාය. ඇය තම සැමියා කැඳවා තමාගේ තත්ත්වත් තම වේදනාවත් බුදු රජුන්ට සැල කරනු පිණිස බුදු රජුන් වෙත යැව්වාය. බුදුහු පුවත අසා සුප්පවාසා කෝලිය රජ දියණියට නිදුක් නිරෝගී ව නීරෝගී පුතකු බිහිවේවා යි වදාළහ. බුදු රජුන්ගේ ඒ වචනය සමග ම ඇය තමා ද නිරෝගී ව නිරෝගී පුතකු බිහි කළාය. ඇගේ සැමියා ගෙදරට පැමිණෙන කල්හි ම ඇය දරුවා බිහි කළ බව දැක බුදු රජුන්ගේ මහිමය පිළිබඳ ව පුදුම වූයේය.
සුප්පවාසා ද දරු ප්‍රසූතිය කොට සත් දිනක් බුදුපාමොක් මහසඟනට දන් දෙනු කැමැති ව ආරාධනය සඳහා නැවත හිමියා වෙහෙරට යැව්වාය. ඒ වනවිට මහා මුගලන් තෙරණුවන්ගේ දායකයකු විසින් බුදුපාමොක් මහසඟන ආරාධනා කරන ලද්දේ වෙයි. බුදුහු සුප්පවාසාවගේ දානයට ඉඩ ලබා දෙනු සදහා ඔහු තෙරුන් වෙත යවා සත් දවසක් තුළ ඇගේ දානය භික්ෂු සංඝයා සමග පිළිගත්හ. සත්වැනි දින සුප්පාවාස සීවලී කුමරු සරසා බුදු රජුන්ට ද මහසඟනට ද වැන්දවූවාය. පිළිවෙලින් සැරියුත් තෙරුන් වෙත ගෙන එනු ලැබූ කල්හි, සීවලී කුමරුනි, සැපදුක් කෙසේදැ යි පිළිසඳර කථා කළහ. එවිට කුමරු ස්වාමීනි, සැපයක් නම් කොයින් ද? සත් වසක් ලොහො සැළියක විසුවෙමි. තෙරුන් සමග මෙබඳු කථා කළේය. සුප්පවාසා මෙවදන් අසා සත් දිනකට පෙර උපන් මගේ පුත්‍රයා දම් සභාවෙහි සැරියුත් තෙරණුවන් සමග කථා කරතැ යි සතුටු වූවාය. ඉක්බිති, බුදු රජහු, සුප්පවාසාවෙනි, මෙබඳු තවත් පුතුන් කැමැත්තෙහිදැ යි ඇසූහ. ස්වාමීනි, මම මෙබඳු පුතුන් තවත් සත් දෙනකු කැමැත්තෙමි යි කීවාය. බුදු රජහු සතුට ප්‍රකාශ කොට අනුමෙවන් දම් දෙසා වැඩියහ. සීවලී කුමරු ද සත් වස් කල්හි ම සසුනට ලැදි ව පැවිදි ව උපසපන් ව ප්රත්යලාභයෙන් අගතැන් පත්ව පොළොව කම්පා කැරවමින් රහත් බවට පැමිණ පුණ්‍යවන්තයන් අතරෙහි අග්‍ර ස්ථානගත ව පැමිණියේය.
ඉක්බිති, එක් දවසක් භික්ෂූහු දම් සභාවෙහි රැස්ව ඇවැත්නි, මේ සීවලී තෙරණුවෝ මෙබඳු මහා පිනැත්තෝය. කරන ලද සසර ප්‍රාර්ථනා ඇතියහ. මේ අන්තිම අත්බැව්හි සිටියෝය. එහෙත් සත් වසක් ලොහො සැළියක සිටියෝය. සත් දවසක් ගර්භ මුර්ජාවට පැමිණියහ. අහෝ! මව සහ පුතා මහත් දුකක් වින්දහ. ඔවුහු කිනම් පවක් කළෝදැ යි කථාවක් ඉපද වූහ. බුදු රජහු දම් සභාවට වැඩමවා මහණෙනි, කිනම් කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවකිනැ යි කී කල්හි මහණෙනි, මහපිනැති වුව ද සීවලී සත් වසක් ලොහො සැළියක විසීම ද සත් දවසක් ගර්භ මූර්ඡාවෙන් විසීම ද පෙර කළ කර්මයක් මුල්කොට ඇත්තකි. සුප්පවාසාව ද සත් වසක් කුස දරු ගැබ දැරීමේ දුක ද සත් දවසක් ගර්භ මූර්ඡා දුක ද තම කර්මයක් මුල්කොට වූ බව වදාරා ඔවුන් විසින් අයදනා ලද ව අතීත කථාව ගෙනහැර දැක්වූහ.