10. ලිත්ත වර්‍ගය
1. ලිත්ත ජාතකය (91)
“ලිත්තං පරමෙන තෙජසාති” යන මේ ජාතක දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, ප්‍රත්‍යවේක්‍ෂා නො කොට කළ පරිභෝගයක් අරබයා වදාළහ. එකල්හි වනාහි භික්‍ෂූහු සිවුරු ආදිය ලැබ බොහෝ සෙයින් ප්‍රත්‍යවේක්‍ෂා නො කොට පරිභෝග කරත්. ඒ සිව්පසයෙහි ප්‍රත්‍යවේක්‍ෂා නොකොට පරිභෝග කරනු ලබන්නාහු, බොහෝ සෙයින් නිරය, තිරිසන් යෝනියෙන් නො මිදෙත්. බුදුහු ඒ කාරණය දැන භික්‍ෂූන්ට නොයෙක් ආකාරයෙන් ධර්ම කථා කියා ප්‍රත්‍යවේක්‍ෂා නො කොට පරිභෝග කිරීමෙහි ආදීනව දක්වා, මහණෙනි, භික්‍ෂූන් විසින් සිව්පසය ලැබ ප්‍රත්‍යවේක්‍ෂා නො කොට පරිභෝග කරන්නට නො වටියි. ඒ නිසා මෙතැන් පටන් ප්‍රත්‍යවේක්‍ෂා කොට පරිභෝජනය කළ යුතුයැ යි ප්‍රත්‍යවේක්‍ෂා විදි දක්වන්නේ, මහණෙනි, මෙහි භික්‍ෂුව නුවනින් මෙනෙහි කොට සිවුරු පරිභෝග කරන්නේ ශීත නැසීම සඳහායි, ආදී නයින් පරියාප්තිය තබා මහණෙනි, සිව්පසෙහි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කොට පරිභෝග කරන්නට වටියි. ප්‍රත්‍යවේක්‍ෂා නො කොට පරිභෝගය නම් හලාහල විෂ පරිභෝග කිරීමට සමාන වේ. පැරැන්නෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කොට එහි දොස් නො දැන විෂ පරිභෝග කොට විපාක දෙන කල්හි මහ දුක් අනුභව කළාහුයැ යි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
යටගිය දවස බරණැස් නුවර බඹදත් රජු රජ කැරද්දී බෝසත්හු එක්තරා මහා භෝග සම්පත් ඇති කුලයක ඉපදී වැඩි වියට පත්ව අක්‍ෂ ධූර්තයකු විය. ඉක්බිති, වෙනත් කපටි අක්‍ෂ ධූර්තයෙක් බෝසතුන් සමග ක්‍රීඩා කරන්නේ, තමන්ට ජය ලැබෙන විට කෙළිමඬල නො බිඳියි. පැරදුනු කල්හි වනාහි පසැට කටේ දමාගෙන දාදු කෙළිය නැසුනේයැ යි කෙළිමඬල බිඳ යයි. බෝසත්හු ඔහුගේ ඒ කරුණා දැන මෙහි කළ යුතු සුදුසු දෙය දනිමු යි පසැට රැගෙන තමාගේ ගෙට ගොස් හලාහල විෂ ආලේප කොට නැවත නැවත වියලවා ඒ රැගෙන ඔහු වෙත ගොස් යහළුව, එව. පසැට ක්‍රීඩා කරමු යි කීය. ඔහු ද මැනවැ යි පිළිගෙන කෙළිමඬල සකසා ඔහු සමග ක්‍රීඩා කරන කල්හි තමාට පරාජය පැමිණෙන කල එක් අතක් මුවෙහි දැමීය. බෝසත්හු එසේ කරනු දැක පසැට ගිලදැමූ පසුව තට වන දේ දැන ගන්නෙහියැ යි චෝදනා කිරීම සඳහා මේ ගාථාව කීහ.
“ලිත්තං පරමෙන තෙජසා, ගිලමක්‍ඛං පුරිසො න බුජ්ඣති,
ගිලරෙ ගිල පාපධුත්තක, පච්ඡා තෙ කටුකං භවිස්සතීති”
“මහා තේජස් ඇති හලාහල විෂයෙන් රැඳුණු පස ඇට ගිලින්නා වූ පුරුෂ තෙමේ (එහි විෂ රැඳුණු බව) නො දනී. නීචය. (පස ඇට) ගිල, පාපධූර්තය ගිල පසුව හෙවත් මෙය ගිල දැමූ කල තට කටුක විපාකයෙක් වන්නේය.”
එහි, “ලිත්තන්ති”, ගාන ලද, රංජනය කරන ලද, “පරමෙන තෙජසාති”, උතුම් තේජසින් යුක්ත වූ හලාහල විෂ, “ගිලන්ති”, ගිලින්නේ, “අක්‍ඛන්ති”, පස ඇට, “න බුජ්ඣති”, මේ පසැටය. ගිලුණු විට මෙනම් දෙයක් වන්නේයැ යි නො දනිමි. “ගිලරෙති”, එම්බල, ගිල දමව. “ගිලාති” නැවතත් චෝදනා කැරෙමින් කියයි. “පච්ඡා තෙ කටුකං භවිස්සතීති”, මේ පසැට ගිලුන කල්හි පසු ව මේ විෂ තියුණු වන්නේය යන අර්ථයි.
හෙතෙම බෝසතුන් මෙසේ කියද්දී ම විෂ වේගයෙන් මුසපත් වී ඇස් පෙරළී සිරුර නැමී වැටුණේය. බෝසත්හු දැන් මොහුට ජීවිත දානය කළ යුතුයැ යි ඖෂධ යෙදූ වෘත කාරකයක් දී වමනය කැරවා ගිතෙල්, මී පැණි, හකුරු ආදිය කවා සුවපත් කැරවා නැවත මෙබඳු දෙයක් නො කැරව යි අවවාද කොට දානාදී පිංකම් කොට කම් වූ පරිදි මිය ගියේය.
බුදු රජහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ප්‍රත්‍යවේක්‍ෂා නො කොට කළ පරිභෝගය නම් නුවණින් නො විමසා කළ විෂ පරිභෝගය සමාන වෙයි. වදාරා ජාතක කථාව නිමවූහ. එදින නුවණ ඇති ධූර්තයා නම් මම ම වෙමි යි. කපටි ධූර්තයා ගැන මෙහි නො කියැ වේ. මෙපරිද්දෙන් සියලු තන්හි ම ගත යුතුයි. යමකු වර්තමාන කථාවෙහි නො පෙනේ ද, ඔහු ගැන නො කියනු ලැබේ.
2. මහාසාර ජාතකය (92)
“උක්කට්ඨෙ සුරමිච්ජන්තීති” යන මේ ජාතක දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, ආයුෂ්මත් ආනන්ද තෙරුන් අරබයා වදාළහ. එක් කලක කොසොල් රජුගේ ස්ත්‍රීහු මෙසේ සිතුවාහුය. බුද්ධෝත්පාදය දුර්ලභය. මිනිස් බවක් ලැබීම ද පිරිපුන් ඇස්, කන් ආදී ආයතන ඇති බව ද එසේ මය. අපි මේ දුර්ලභ අවස්ථා ලැබුව ද අපේ කැමැත්ත පරිදි විහාරයට ගොස් බණ අසන්නට හෝ පූජාවක් කරන්නට හෝ දානයක් දෙන්නට හෝ නො ලබමු. පෙට්ටියක දමන ලද්දෝ මෙන් වසමු. රජතුමාට කියා අපට දම් දෙසන්නට සුදුසු එක් භික්‍ෂුවක් කැඳවා උන් වහන්සේගේ සමීපයෙහි බණ අසන්නෙමු. එයින් යමක් ගත හැකිවන්නේ නම් එය ගන්නෙමු. දානාදී පිං කරන්නෙමු. මෙසේ අපට මේ ක්‍ෂණ සම්පත ලැබීම (මිනිසත් බව ලැබීම) සඵල වන්නේය. ඒ සියලු ස්ත්‍රීහු රජු වෙත එළැඹ තමන් සිතූ කරුණ කීවාහුය. රජතුමා යහපතැ යි පිළිගත්තේය.
ඉක්බිති, එක් දිනක් රජතුමා උයන් කෙළි කෙළිනු කැමැත්තේ, උයන්පල්ලා කැඳවා උයන ශුද්ධ කරන්නැ යි කීවේය. උයන්පල්ලා උයන ශුද්ධ කරන්නේ, බුදු රජුන් එක් ගසක් මුල වැඩ සිටිනු දැක රජු සමීපයට ගොස් දේවයන් වහන්ස, ශුද්ධ කළෙමි. උයනෙහි එක් ගසක් මුල බුදු රජහු වැඩ සිටිතැ යි කීවේය. රජතුමා, යහළුව, යහපති. බුදු රජුන් සමීපයෙහි ධර්මය ද අසන්නෙමු යි අලංකාර රථයකට නැඟී උයනට ගොස් බුදුන් වෙතට ගියේය.