8. කූටවාණිජ ජාතකය (98)
“සාධු ඛො පණ්ඩිතො නාමාති” යන මේ දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක් කපටි වෙළෙන්දකු අරබයා වදාළහ. සැවැත්නුවර වැසි දෙදෙනෙක් එකට වෙළඳාම් කරන්නාහු, බඩු ගෙන ජනපදයට ගොස් අලෙවි කොට ලබන ලද ලාභ ඇත්තාහු, ආපසු ආවාහුය. ඔවුන් දෙදෙනාගෙන් කපටි වෙළෙන්දා මෙසේ සිතීය. මේ තෙම බොහෝ දිනක් නිසියාකාර ආහාරයක් හෝ හරි නින්දක් ද නැතිකමින් ක්ලාන්ත වූයේ, දැන් තමාගේ නිවසෙහි නොයෙක් රසයෙන් යුක්ත වූ ආහාර ඇති තරම් අනුභව කොට නො දිරවීමෙන් මැරෙන්නේය. ඉක්බිති, මම මේ සියලු බඩු කොටස් තුනකට බෙදා එක් කොටසක් ඔහුගේ අඹු දරුවන්ට දෙන්නෙමි. කොටස් දෙකක් මා සඳහා ගන්නෙමි. හෙතෙම අද බෙදන්නෙමි. හෙට බෙදන්නෙමි යි බඩු බෙදන්නට කැමැති නො වීය. ඉක්බිති, ඔහු අකැමැති ව සිටිය දී ම නුවණැති වෙළෙන්දා ඔහුට බල කොට බෙදවා විහාරයට ගොස් බුදුන් වැඳ කරන ලද පිළිසඳර ඇත්තේ, බොහෝ ප්‍රමාද ව කොහි සිට මෙහි අවුත් කලකින් බුද්ධෝපස්ථානයට ආවාදැ යි කී කල්හි ඒ පුවත බුදු රජුන්ට සැල කළහ. බුදු රජහු ඔහු කපටි වෙළෙන්දකු වූයේ දැන් පමණක් නොව පෙරත් කපටි වෙළෙන්දෙක් වූයේමැ යි දැන් වනාහි අනුන් රවටනු කෙනකු ම වූයේය. පෙර ද පණ්ඩිතයන් වංචා කරන්නට උත්සාහ කළේයැ යි වදාරා ඔහු විසින් අයදනා ලද බුදු රජහු අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රාජ්‍යය කැරවන කල්හි බෝසත්හු බරණැස් නුවර වෙළඳ කුලයක උපන්හ. නම් තබන දවසෙහි ඔහුට පණ්ඩිත යි නම් කළහ. වැඩිවියපත් වූ ඔහු දිනක් වෙළෙන්දකු සමග එකතු වී වෙළඳාම් කරයි. ඔහුගේ නම අතිපණ්ඩිත නමි. ඒ දෙදෙනා බරණැසින් ගැල් පන්සියයකින් භාණ්ඩ ගෙන පසල් දනව්වලට ගොස් වෙළඳාම් කොට ලබන ලද ලාභ ඇත්තෝ, නැවත බරණැසට ම ආවාහුය. ඉක්බිති, ඔවුන් භාණ්ඩ බෙදන කල්හි අතිපණ්ඩිත, මා විසින් කොටස් දෙකක් ලැබිය යුතුයැ යි කීවේය. ඊට හේතු කවරේ ද? ඔබ පණ්ඩිතය. මම අතිපණ්ඩිත වෙමි. පණ්ඩිතයා එක් කොසටක් ලැබීමට සුදුසුය. එවිට පණ්ඩිතයා, යහළුව, අපි දෙදෙනාගේ භාණ්ඩ මිල සමානය. එසේ ම ගොන් ගැල් ආදිය ද සම සමය. එසේ තිබිය දී ඔබ කොටස් දෙකක් ලැබීමට සුදුසු වන්නේ කෙසේ ද? මා අතිපණ්ඩිත බැවිනි. මෙසේ ඔවුන් වාදවිවාද කොට කෝලාහල කළහ.
මෙහි දී අතිපණ්ඩිත එක්තරා උපායක් ඇතැ යි සිතා තමන්ගේ පියා වෙතට ගොස් ඔහු එක් ගස් සිදුරක සඟවා මෙසේ කීය. ඔබ අප අවුත් විමසූ කල්හි අතිපණ්ඩිතට දෙකොටසක් හා පණ්ඩිතයට එක් කොටසක් ලැබීමට සුදුසුයැ යි කියන්නැ යි කියා බෝසතුන් වෙත එළැඹ යහළුව, මට කොටස් දෙකක් ලැබීමට යුතු බව හෝ අයුතු බව හෝ මේ රුක් දෙවියා දනීය. එව. ඔහු විචාරන්නෙමි යි ඔහු එහි පමුණුවා ආර්යය රුක් දෙවියාණෙනි, අපගේ නඩුව පසිඳනු මැනවැ යි කීවේය. ඉක්බිති, ඔහුගේ පියා ස්වරය වෙනස් කොට එසේ නම් කියව යි කීවේය. ආර්යයෙහි, මොහු පණ්ඩිතය. මම අතිපණ්ඩිතය. අප විසින් එකට වෙළඳාම් කරන ලදි. එහි දී කවරකු කොපමණක් ලැබිය යුතු ද? පණ්ඩිතයා එක් කොටසක් ද අතිපණ්ඩිතයා කොටස් දෙකක් ද ලැබිය යුතුයි. බෝසත්හු මෙසේ විසඳන ලද නඩුව අසා ඔහු දෙවියකු වන්නේ ද දෙවියකු නො වන්නේ ද යන්න දැන ගන්නෙමි යි පිදුරු ගෙනවුත් සිදුර පුරවා ගිනි දැල්වීය. අතිපණ්ඩිතයාගේ පියා ගිනි දැල් ලත් කල්හි අඩක් දැවීමෙන් සිදුරෙන් උඩට නැඟී අත්තක් ගෙන එල්ලෙන්නේ, බිමට වැටී මේ ගාථා කීවේය.
“සාධුඛො පණ්ඩිතො නාම නත්‍වෙව අතිපන්‍ඩිතො,
අතිපන්‍ඩිතෙන පුත්තෙන මනම්හි උපකුලිතොති”
“පණ්ඩිතයා යහපති. අතිපණ්ඩිතයා උතුම් නො වේ. අතිපණ්ඩිත පුත්‍රයා නිසා අඩක් දැවුණේ වෙමි.”
එහි, “සාධුඛො පණ්ඩිතො නාම”, ලෝකයෙහි දැනඋගත් කාරණ අකාරණ දන්නා මැනවි. හොබනේය. “අතිපන්‍ඩිතො”, නාම මාත්‍රයෙන් අතිපණ්ඩිත වූ කපටි පුරුෂයා උතුම් නො වේ. “මනම්හි උපකුලිතො”, අඩක් දැවී මිදුනෙමි යි යන අර්ථයි. පසු ව ඒ දෙදෙනා සම සේ කොටස් බෙදා ගත්හ. මරණින් පසු කම් වූ පරිදි ගියහ.