7. නාමසිද්ධි ජාතකය (97)
“ජීවකඤ්ච මතං දිස්වාති” යන මේ දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක් නමින්ම වැඩ කැමැති එක් භික්‍ෂුවක් අරබයා වදාළහ. එක් කුල පුත්‍රයෙක් නමින් පාපක නමි. හෙතෙම සසුනෙහි ළය දී පැවිදි වූයේ භික්‍ෂූන් විසින් ඇවැත්නි පාපක, එව. ඇවැත්නි පාපක, සිටු යි කියනු ලබන්නේ මෙසේ සිතුවේය. ලොවෙහි පාපක නම ලාමකය. කාලකණ්ණි වූවන්යැ යි කියයි. වෙනත් මංගල සම්මත නමක් ගෙන එන්නෙමි. හෙතෙම ගුරුවර උපාධ්‍යායන් වෙත එළැඹ ස්වාමීනි, මගේ නම අවමංගලයකි. මට වෙනත් නමක් තබනු මැනවැ යි කීවේය. ඉක්බිති, ඔහුට මෙසේ කීවාහුය. ඇවැත්නි, නාමය නම් පැනවීම් මාත්‍රයකි. නමින් කිසියම් ප්‍රයෝජනයක් නම් නැත. තමන්ගේ නමින් ම සතුටු වෙනු. ඔහු නැවත නැවතත් ඉල්ලුවේය. ඔහුගේ මේ නමින් කාර්යය සිද්ධිය අපේක්‍ෂා කරන්නෙක් බව භික්‍ෂු සංඝයා අතර ප්‍රකට විය. ඉක්බිති, එක් දිනක් දම් සභාවෙහි හුන් භික්‍ෂූහු මේ කථාව ඉපදවූහ. ඇවැත්නි, අසවල් භික්‍ෂුව නමින් කාර්යය සිද්ධිය අපේක්‍ෂා කරන්නෙකි. යහපත් නමක් ආරෝපණය කැර ගැනීමට කැමැති වේ. ඉක්බිති, බුදුහු දම් සභාවට වඩමවා මහණෙනි, කවර කථාවකින් හුන්නාහුදැ යි විචාරා මෙනම් කථාවක් කරමින් හුන්නෙහු යි කී කල්හි මහණෙනි, ඒ භික්‍ෂුව නමින් කාර්යය සිද්ධිය බලාපොරොත්තු වූයේ දැන් පමණක් නො වෙයි. මෙතෙම පෙර ද නමින් කාර්යය සිද්ධිය බලාපොරොත්තු වූයේ ම යැයි වදාරා අතීත කථාව ගෙනහැර දැක්වූහ.
පෙර තක්සලාවෙහි බෝසත්හු දිසාපාමොක් ඇදුරු ව පන්සියයක් මානවකයන්ට මන්ත්‍ර ඉගැන්වීය. ඔහුගේ එක් මානවකයෙක් නමින් පාපක නම් විය. හෙතෙම එව පාපක, යව පාපක යි කියනු ලබන්නේ මෙසේ සිතුවේය. මගේ නම අශුභයි. වෙනත් නමක් ලබා ගන්නෙමි. හෙතෙම ගුරුතුමා වෙත එළැඹ ගුරුතුමනි, මගේ නම අශුභයි. මට වෙනත් නමක් තබන්නැ යි කීවේය. ඉක්බිති, ඔහුට ඇදුරුතුමා මෙසේ කීවේය. දරුව! යව. ජනපදයෙහි සැරිසරා තමන්ට මනාප එක් ශුභ නමක් ගෙන එව. ආවිට ඒ නම වෙනස් කොට වෙනත් නමක් කරන්නෙමි. හෙතෙම යහපතැ යි මඟ වියදම් රැගෙන නික්මුණේ, ගමින් ගම හැසිරෙන්නේ, එක් නගරයකට පැමිණියේය. එහි එක් පුරුෂයෙක් කලුරිය කළේය. නමින් ජීවක නම් විය. හෙතෙම ඔහු නෑ ජනයා විසින් මිනී දමන තැනට ගෙන යනු දැක මේ පුරුෂයා කුමන නමකින් යුතුදැ යි විචාළේය. මොහු ජීවක නම් විය. ජීවක ද මැරෙයි ද? ජීවකයා ද මැරෙයි. අජීවකයාත් මැරෙයි. නම නම් පැනවීම් මාත්‍රයක් පමණි. නුඹ මෝඩයකුයැ යි හැඟෙයි. ඔහු ඒ කථාව අසා නම ගැන මැදහත් වී ඇතුල් නගරයට පිවිසියේය.
ඉක්බිති, එක් දාසියකට කුලිය නො දෙන ස්වාමීවරු දොරටුවෙහි ඇය හිඳුවා ලණුවෙන් පහර දෙත්. ඇයට ද ධනපාලී යි නමක් විය. හෙතෙම ඇතුල් වීථියෙහි යන්නේ, ඇයට තලනු දැක කුමක් නිසා ඇයට පහර දෙන්නේදැ යි විචාළේය. කුලිය දෙන්නට නො හැක්කේය. මැගේ නම කුමක්ද? ධනපාලී නම් වෙයි. නමින් ධනය පාලනය කරන්නියක් වුව ද කුලිය පමණවත් දෙන්නට නො හැක්කේ ද? ධනපාලියෝ ද අධනපාලියෝ මෙන් දුප්පත් වෙත්. නාමය නම් පැනවීම් මාත්‍රයක් පමණි. නුඹ වනාහි බලායකුයැ යි හඟී. ඔහු නාමයෙහි මධ්‍යස්ථතර වී නුවරින් නික්මී මඟට පිළිපන්නේ, අතරමඟ දී මංමුළා වූ පුරුෂයකු දැක එම්බා, කුමක් කැරෙමින් හැසිරෙන්නේදැ යි විචාළේය. මංමුළා වූයෙමි. ස්වාමීනි, ඔබගේ නම කුමක් ද? පන්ථක නම් විය. පන්ථකටත් මඟ වරදින්නේ ද? (පන්ථක-මඟෙහි උපන්) පන්ථක වුවත් අපන්ථක වුවත් මංමුළා වෙයි. නාමය නම් පැනවීම් මාත්‍රයකි. නුඹ බාලයකුයැ යි හඟිමි. හෙතෙම බෝසතුන් වෙතට ගොස් කිම දරුව, නමට රුචි කොට ආවේදැ යි කී කල්හි ගුරුතුමනි, ජීවකයෝත් මැරෙති. අජීවකයෝත් මැරෙති. ධනපාලියෝත් දුප්පත් වෙති. අධනපාලියෝත් දුප්පත් වෙති. පන්ථකයෝත් අපන්ථකයෝත් මංමුළා වෙති. නාමය නම් පැනවීම් මාත්‍රයකි. නාමයෙන් විශේෂ අභිවෘද්ධියක් නැත. ක්‍රියාවෙන් ම අභිවෘද්ධියක් වෙන්නේය. මට වෙනත් නමකින් ඵලක් නැත. ඒ නම ම මට වේවා යි කීවේය. බෝසත්හු ඔහු දුටු දේත් කළ දේත් සසඳා මේ ගාථාව කීහ.
“ජීවකඤ්ච මතං දිස්වා ධනපාලිඤ්ච දුග්ගතං,
පන්‍ථකඤ්ච වනෙ මූළ්හං පාපකො පුනරාගතොති”
“ජීවකයා ද මළ වූවා දැක ධනපාලී ද දුගී වූවා දැක පන්ථකයා ද මඟෙහි මංමුළා වූවා දැක පාපක නැමැත්තා (ආපසු) ආවේය.”
එහි, “පුනරාගතො”, මේ කාරණා තුන දැක නැවත ආවේය. ‘ර’ කාරය සන්‍ධි වශයෙන් කියන ලදි.
බුදුහු මේ අතීත කථාව ගෙනහැර දක්වා මහණෙනි, මොහු නාමයෙන් කාර්යය සිද්ධිය අපේක්‍ෂා කරන්නකු වූයේ දැන් පමණක් නො වේ. පෙරත් නාම සිද්ධියකු වූයේයැ යි කියා ජාතක කථාව නිම කළහ. එකල නාම සිද්ධිකයා දැනුත් නාම සිද්ධික විය. ඇදුරු පිරිස බුදු පිරිස වූහ. ඇදුරුතුමා වනාහි මම ම වීමි.
8. කූටවාණිජ ජාතකය (98)
“සාධු ඛො පණ්ඩිතො නාමාති” යන මේ දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, එක් කපටි වෙළෙන්දකු අරබයා වදාළහ. සැවැත්නුවර වැසි දෙදෙනෙක් එකට වෙළඳාම් කරන්නාහු, බඩු ගෙන ජනපදයට ගොස් අලෙවි කොට ලබන ලද ලාභ ඇත්තාහු, ආපසු ආවාහුය. ඔවුන් දෙදෙනාගෙන් කපටි වෙළෙන්දා මෙසේ සිතීය. මේ තෙම බොහෝ දිනක් නිසියාකාර ආහාරයක් හෝ හරි නින්දක් ද නැතිකමින් ක්ලාන්ත වූයේ, දැන් තමාගේ නිවසෙහි නොයෙක් රසයෙන් යුක්ත වූ ආහාර ඇති තරම් අනුභව කොට නො දිරවීමෙන් මැරෙන්නේය. ඉක්බිති, මම මේ සියලු බඩු කොටස් තුනකට බෙදා එක් කොටසක් ඔහුගේ අඹු දරුවන්ට දෙන්නෙමි. කොටස් දෙකක් මා සඳහා ගන්නෙමි. හෙතෙම අද බෙදන්නෙමි. හෙට බෙදන්නෙමි යි බඩු බෙදන්නට කැමැති නො වීය. ඉක්බිති, ඔහු අකැමැති ව සිටිය දී ම නුවණැති වෙළෙන්දා ඔහුට බල කොට බෙදවා විහාරයට ගොස් බුදුන් වැඳ කරන ලද පිළිසඳර ඇත්තේ, බොහෝ ප්‍රමාද ව කොහි සිට මෙහි අවුත් කලකින් බුද්ධෝපස්ථානයට ආවාදැ යි කී කල්හි ඒ පුවත බුදු රජුන්ට සැල කළහ. බුදු රජහු ඔහු කපටි වෙළෙන්දකු වූයේ දැන් පමණක් නොව පෙරත් කපටි වෙළෙන්දෙක් වූයේමැ යි දැන් වනාහි අනුන් රවටනු කෙනකු ම වූයේය. පෙර ද පණ්ඩිතයන් වංචා කරන්නට උත්සාහ කළේයැ යි වදාරා ඔහු විසින් අයදනා ලද බුදු රජහු අතීත කථාව ගෙනහැර දැක්වූහ.