6. තෙලපත්ත ජාතකය (96)
“සමතිත්තිකං අනවසෙසකන්ති” යන මේ දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, සුම්හ රට සේනක නම් නියම් ගම ඇසුරු කොට වන ලැහැබක වසන්නාහු, ජනපදකල්‍යාණී සූත්‍රය අරබයා දේශනා කළහ. එහිදී බුදුරජහු මහණෙනි, රූ රැජිනක, රූ රැජිනකැ යි මහජනයා රැස්වන්නේය. ඒ රෑ රැජින වනාහි නැටීමෙහි ඉතා දක්‍ෂය. ගායනයෙහි ද එසේ මය. මහජනයා රෑ රැජින නටතැ යි, ගයතැ යි වඩ වඩාත් රැස් වන්නේය. මේ අතර ජීවත් වීමට කැමැති මරණයට අකැමැති සැප කැමැති දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේය. ඔහුට මෙසේ කියන්නාහ. පින්වත් පුරුෂය, පාමුව දක්වා පිරුණු මේ තෙල් පාත්‍රය මහජන සමාගමටත් රෑ රැජිනටත් අතරින් ගෙන යා යුතුය. ඔබ පිටුපසින් කඩුවක් ඔසවාගත් පුරුෂයෙක් එයි. ඉදින්, ඔබ මඳක් හෝ තෙල් පිටතට වැගුරුවේ නම් එතැන දී ම තගේ හිස හෙළන්නෙමි. මහණෙනි, කුමක් සිතන්නහු ද? ඒ පුරුෂයා තෙල් පාත්‍රයෙන් සිත බැහැර කරන්නේ ද? සිත මුළා කරන්නේ ද? ස්වාමීනි, එසේ නො වන්නේය. මහණෙනි, මෙහි අර්ථය නම්, පාමුව දක්වා පිරුණු තෙල් බඳුන නම් තම සිරුරු පිළිබඳ මෙහෙය වූ සිහියට නමකි. මහණෙනි, ඔබලා මෙසේ හික්මිය යුතුය. අපගේ කායගතා සතිය මනාව ආරම්භ කොට වැඩුණේ වන්නේය. මහණෙනි, ඔබලා විසින් මෙසේ හික්මිය යුතුයැ යි,
මේ ජනපදකල්‍යාණී සූත්‍රය අර්ථ සහිත ව මනා පදයෙන් යුක්ත කොට දෙසූහ.
මේ එහි සංක්‍ෂිප්ත අදහසයි. ජනපදකල්‍යාණී නම් ජනපදයෙහි ම සුන්‍දරියයි. සිරුරු දොස් සයෙන් විනිර්මුක්ත වූ යහපත් අංග පහකින් යුත් ඕ වඩාත් උස නො වූ, වඩාත් මිටි නො වූ, වඩාත් සිහින් නො වූ, වඩාත් මහත නො වූ, වඩාක් කලු නො වූ, වඩාත් සුදු නො වූ, මිනිස් පැහැය ඉක්ම වූ දිව්‍ය පැහැයට නො පැමිණි මෙකී සවැදෑරුම් සිරුරු දොසින් මිදුණා වූවාය. ඡවි, මාංශ නහර, අට්ඨි, වයෝ යන පඤ්ච කල්‍යාණයෙන් යුක්ත වූවාය. ඇයට අමුතුවෙන් ආලෝකයක් අවශ්‍ය නො වේ. තම සිරුරේ ආලෝකයෙන් දොළොස් රියනක් ප්‍රභාවත් කැරේ. පියඟුමල් වන්නෝ රන්වන් හෝ වෙයි. මේ ඇගේ ඡවි කල්‍යාණයයි. ඇගේ අත්පා සතර, මුහුණ, දෙතොල කෙළවර කොට ලහසෙන් පිරිකම් කළාක් මෙන් ද රන් පබලු පළසක් වැනිය. මේ ඇගේ මංශ කල්‍යාණියයි. ඇගේ නිය පෙළ මසින් නො මිදුණු තන්හි ලහ රසයෙන් පිරුණාක් මෙන් ද මසින් සම්බන්ධ නැති තන්හි කිරිදහට මෙනි. මේ ඇගේ නහර (නිය) කල්‍යාණයයි. ඇගේ දෙතිස දත් පෙළ එකට එකක් සම්බන්ධ ව ඔබ කළ දියමන්ති පෙළක් මෙන් පෙනේ. මේ ඇගේ අට්ඨි කල්‍යාණියයි. සියවස් වුව ද සොළොස් විය ඇත්තියක මෙන් පෙනේ. ඇඟ රැලි හෝ පැසුණු කෙස් නො වේ. මේ ඇගේ වය කල්‍යාණියයි.
“පරමපාසාවිනී”, මෙහි පැවැත්ම - ‘පසාව’ නම් පවතී යන අර්ථයි. පසව ම, පාසාව නම් උතුම් පැවැත්ම, පරම පාසාව නමි. ඇයට එය ඇත්තේ, “පරමපාසාවිනී”, නමි. නැටීමෙහි හා ගැයීමෙහි මනහර පැවැත්ම ශ්‍රේෂ්ඨ පැවැත්මයි. මනහර ලෙස නටයි. ගී ගයයි.
“අථ පුරිසො ආගච්ඡෙය්‍යාති” යනු සිය කැමැත්තෙන් එන්නේ වෙයි. මෙහි අදහස මෙයයි. මහජනයා මැද රෑ රැජින නටන කල්හි, සාධු නාදය පවත්වද්දී අසුරු ගැසීම්, සළුවැනීම් පවතිද්දී රජ එපවත් අසා දඟ ගෙයින් එක් පුරුෂයකු කැඳවා බන්‍ධන ඉවත් කොට මුවවිට දක්වා පිරුණු තෙල් පාත්‍රයක් ඔහු අත තබා දෙඅතින් එය දැඩිකොට ගන්වා එක් කඩු ගත් අත් ඇති පුරුෂයකුට අණ කළේය. මේ කඩුව ගෙන රෑ රැජිනගේ නෘත්‍යය භූමියට යන අතර සිත වෙනස් ව එක් තෙල් බිඳක් හෝ පිටතට ගියහොත් එහි දී ම ඔහුගේ හිස සිඳුව. ඒ වධකයා ද කඩුව ඔසවාගෙන තැති ගන්වමින් ඔහු ගෙන ගියේය. ඒ පුරුෂයා ද මරණ බියෙන් බියපත් ව ජීවත්වීමට ඇති කැමැත්ත නිසා සිත වෙනතකට නො යොමා ඇස ඇර ඒ රූ රැජින දෙස නො බැලීය. මේ කථා පුවත පෙර සිදුවූවකි. සූත්‍රයෙහි සිතින් පරිකල්පනය කළ පුවතක් මෙන් දක්වා ඇතිබව දත යුතුයි.