5. මහා සුදස්සන ජාතකය (95)
“අනිච්චා වත සඞ්ඛාරාති” යන මේ දේශනාව බුදුහු පිරිනිවන් මඤ්චකයේ සැතපුණාහු, ආනන්ද තෙරුන්, ස්වාමීනි, මේ කුඩා නගරයේ ආදී වචන අරබයා වදාළහ. බුදුරදුන් දෙව්රමෙහි වැඩ වසන කල්හි සැරියුත් තෙරණුවෝ ඉල් මස පුණු පොහෝ දින නාලක ගමෙහි උපන් ගෘහයේ දී ම පිරිනිවියහ. මහා මුගලන් තෙරණුවෝ එම ඉල් මසෙහි ම අමාවක් දිනයෙහි පිරිනිවියහ. මෙසේ අගසව් දෙතෙරණුවන් පිරිනිවි කල්හි බුදු රජහු ද මමත් කුසිනාරාවෙහි පිරිනිවෙන්නෙමි යි පිළිවෙලින් චාරිකාවෙහි හැසිරෙමින් කුසිනාරාවට වැඩමවා සල් ගස් දෙක අතරේ උතුරට හිසලා පැනවූ මඤ්චකයෙහි නො නැඟිටින සෙය්යාවෙන් සැතපුනහ. ඉක්බිති, අනඳ මහා තෙරණුවෝ බුදු රජුන්ට ස්වාමීනි, බුදු රජහු මේ විෂම වු රළු වූ කුඩා නගරයක වූ අතුරු නගරයක පිරිනිවන් නො පානු මැනව. වෙනත් චම්පා, රාජගහ ආදී මහා නගරයක පිරිනිවා යි අයැද සිටියහ. ආනන්දය, මෙය කුඩා නගරයකැ යි, රළු නගරයකැ යි, අතුරු නගරයකැ යි නො කියව. මම පෙර සුදස්සන නම් සක්විති රජ කාලයේ මේ නගරයහෙි විසුවෙමි. එකල්හි මේ නගරය දොළොස් යොදුනක් වූ රන් පවුරකින් වට වූ මහා නගරයක් වීයැ යි වදාරා තෙරුන් විසින් අයදනා ලදුව අතීත කථාව ගෙන හැර දක්වමින් මහා සුදස්සන සූත්රය දෙසූහ.
එකල්හි මහා සුදස්සන සුධම්ම ප්රාසාදයෙන් බැස නුදුරෙන් පිහිටි සත් රුවන් මය තල් වනයෙහි පනවන ලද කුඩා ඇඳෙහි දකුණු පසින් නො නැඟිටින සෙය්යාවෙන් හොත්තාවූ මහා සුදස්සන සක්විති රජු දැක, සුභද්ර නම් දේවිය විසින් දේවයිනි, ඔබගේ මේ කුසාවතී රාජධානිය ප්රමුඛ වූ අසූහාර දහසක් නගර වෙයි ද ඒවාට ආසා කරනු මැනවැ යි කියන ලද කල්හි සුදස්සන මහරජහු දේවිය, එසේ නො කියව. ඒ වෙනුවට මෙසේ අවවාද කරනු මැනවි. දේවයිනි, මේ කුසාවතී ආදී සම්පත් කෙරෙහි ආශා නො කරනු මැනවි. ඒ පිළිබඳ ආශා අපේක්ෂා සිඳලනු මැනවි. දේවයිනි, එසේ කියන්නේ මක්නිසා ද? අද මම කලුරිය කරන්නෙමි. ඉක්බිති, දේවිය ඉතා දුක සේ දෑස පිස අපහසුවෙන් එසේ කියා හඬන්නට වූවාය. වැළපුණාය. අසූහාර දහසක් ස්ත්රීහු ද හඬන්ට වූහ. වැළපුණහ. ඇමැති ආදී කිසිවකුටත් ඉවසීමට නො හැකි ව සියල්ලෝ ම හැඬූහ. එවිට බෝසත්හු සගයිනි, ශබ්ද නො කරවු යි, සියල්ලන් වළකා දේවිය අමතා දේවිය, නො හඬනු, නො වැළපෙනු. තලටැක් පමණ වූ ද හේතු ප්රත්යයෙන් හටගත් දෙයක් නිත්යය නො වේ. බිඳීමේ ස්වභාව කොට ඇත්තේයැ යි කියා දේවියට ඔවදන් වශයෙන් මේ ගාථාව කීහ.
“අනිච්චා වත සඞ්ඛාරා උප්පාදවයධම්මිනො,
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛොති”
උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති තෙසං වූපසමො සුඛොති”
“සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්යයි. ඉපදීම, නැතිවීම ස්වභාව කොට ඇත්තාහ. ඉපිද නැති වෙත්. ඔවුන්ගේ සංසිඳීම සැපයයි.”
එහි, “අනිච්චා වත සඞ්ඛාරා”, ප්රිය සුභද්ර දේවියනි, යම්කිසි හේතූන් එකතුව නිපයුණු ඛන්ධ, ආයතන ආදී යම් පමණ සංඛාරයෝ වෙත් ද ඒ සියල්ල අනිත්ය වේ. මේ අනුව රූපය නැසෙන සුළුය. ඇස ද නැසෙන සුළුය. එසේ ම විඤ්ඤාණය ද ධර්මය ද අනිත්යය. යම්කිසි සිත් ඇති නැති සියලු රුවන් ද නැසෙන සුළුය. මේ නිසා හේතු ධර්ම සමවායෙන් හටගත් සියලු සංඛාර ඒකාන්තයෙන් අනිත්යය වේ. මක්නිසා ද? “උප්පාදවයධම්මිනො” යි ඉහත කී සියලු ධර්ම ඇතිවීම හා නැතිවීම ස්වභාව කොට පවතී. යම් හෙයකින් ඒවා ඉපදීම, බිඳීම ස්වභාව කොට ඇත්තේ ද එම නිසා අනිත්යයැ යි දතයුතුයි. “උප්පජ්ජිත්වා නිරුජ්ඣන්ති”, ඉපදී පැවැතී නැති වේ. මේ සියලු ධර්ම ඉපදීම ඇති කල්හි ම පැවැතීම හෙවත් ‘ඨිතිය’ වේ. මේ පැවැත්ම ම නැතිවීම වේ. මෙසේ සියලු ධර්ම ඉපදීම, පැවැත්ම, නැතිවීම යන අවස්ථා තුනට පත්වන නිසා අනිත්යය. ක්ෂණිකය. ස්ථිර නැත. කෙටි කාලයක් පවතී. නැසෙන සුළුය. සැලෙන සුළුය. කල් නො පවතී. තාවකාලිකය. හරයක් නැත. තාවකාලික නිසා ම මායාම, මිරිඟු පෙන පිඬු සමාන වේ. ප්රිය සුභද්රා දේවිය කුමක් නිසා සැප හැඟීම් උපදවන්නෙහි ද? මෙය පිළිගන්න. “තෙසං වූපසමො සුඛොති”, සියලු සසර දුක් සංසිඳුවන හෙයින් ඒ සංඛාර සංසිඳීම වූ නිවන ඒකාන්තයෙන් සැපයැ යි සලකත්.
මෙසේ මහා සුදස්සන රජ අමාමහ නිවනින් දේශනය මුදුන් පමුණුවා, සෙසු ජනයාට ද දන් දෙවු. සිල් රකිවු. පෙහෙවස් රකිවු යි අවවාද කොට දෙව්ලොව බලා ගියේය.
බුදු රජහු මේ දම්දෙසුම ගෙනහැර දක්වා ජාතකය නිමවූහ. එකල සුභද්රා දේවිය නම් රාහුල මාතාවෝ වූහ. පුත්ර රත්නය රාහුලය. සෙසු පිරිස බුදු පිරිසය. මහා සුදස්සන රජු වනාහි මම ම වීමි.
6. තෙලපත්ත ජාතකය (96)
“සමතිත්තිකං අනවසෙසකන්ති” යන මේ දේශනාව බුදු රජහු දෙව්රම් වෙහෙර වැඩ වසන සේක්, සුම්හ රට සේනක නම් නියම් ගම ඇසුරු කොට වන ලැහැබක වසන්නාහු, ජනපදකල්යාණී සූත්රය අරබයා දේශනා කළහ. එහිදී බුදුරජහු මහණෙනි, රූ රැජිනක, රූ රැජිනකැ යි මහජනයා රැස්වන්නේය. ඒ රෑ රැජින වනාහි නැටීමෙහි ඉතා දක්ෂය. ගායනයෙහි ද එසේ මය. මහජනයා රෑ රැජින නටතැ යි, ගයතැ යි වඩ වඩාත් රැස් වන්නේය. මේ අතර ජීවත් වීමට කැමැති මරණයට අකැමැති සැප කැමැති දුක් පිළිකුල් කරන පුරුෂයෙක් එන්නේය. ඔහුට මෙසේ කියන්නාහ. පින්වත් පුරුෂය, පාමුව දක්වා පිරුණු මේ තෙල් පාත්රය මහජන සමාගමටත් රෑ රැජිනටත් අතරින් ගෙන යා යුතුය. ඔබ පිටුපසින් කඩුවක් ඔසවාගත් පුරුෂයෙක් එයි. ඉදින්, ඔබ මඳක් හෝ තෙල් පිටතට වැගුරුවේ නම් එතැන දී ම තගේ හිස හෙළන්නෙමි. මහණෙනි, කුමක් සිතන්නහු ද? ඒ පුරුෂයා තෙල් පාත්රයෙන් සිත බැහැර කරන්නේ ද? සිත මුළා කරන්නේ ද? ස්වාමීනි, එසේ නො වන්නේය. මහණෙනි, මෙහි අර්ථය නම්, පාමුව දක්වා පිරුණු තෙල් බඳුන නම් තම සිරුරු පිළිබඳ මෙහෙය වූ සිහියට නමකි. මහණෙනි, ඔබලා මෙසේ හික්මිය යුතුය. අපගේ කායගතා සතිය මනාව ආරම්භ කොට වැඩුණේ වන්නේය. මහණෙනි, ඔබලා විසින් මෙසේ හික්මිය යුතුයැ යි,