4. ලෝමහංස ජාතකය (94)
“සො තත්තො සො සීතොති” යන මේ ධර්ම දේශනාව බුදුහු විශාලා මහනුවර වාළුකාරාමයේ වැඩ වාසය කරන සේක්, සුනක්ඛත්ත අරබයා දේශනා කළහ. එක් කලෙක සුනක්ඛත්ත බුදු රජුන්ගේ උපස්ථායක වූයේ, පා සිවුරු ගෙන හැසිරෙන්නේ, කෝරක්ඛත්තිය නම් ජටිලයාගේ ධර්මය රුචි කරන්නේ, බුදු රජුන්ගේ පා සිවුරු උන් වහන්සේට ම බාර දී කෝරක්ඛත්තිය ඇසුරු කොට වාසය කොට ඒ ජටිලයා කාලකඤ්ජක නම් අසුරු යෝනියෙහි උපන් කල්හි ගිහි බවට පැමිණ ශ්රමණ භවත් ගෞතමයාට උතුම් මිනිස් දහම් නැත. ආර්යයන්ට සුදුසු වූ නැණ විශේෂයක් ද නැත. තර්කයෙන් ගොනු කොට නුවණින් මෙහෙයවා තම වැටහීම අනුව ශ්රමණ භවත් ගෞතමයෝ ධර්ම දේශනා කරති. යමකු සඳහා ඔහු දහම් දෙසුවේ ද එය කරන්නා හට මනා දුක් කෙළවර කිරීමකට නො පමුණුවයි යි, විශාලා මහනුවර තුන් පවුරු අතර හැසිරෙමින් බුදු රජුන්ගේ නුගුණ ප්රකාශ කරයි.
ඉක්බිති, සැරියුත් තෙරණුවෝ පිඬු පිණිස හැසිරෙන්නාහු, සුනක්ඛත්තගේ නුගුණ කථාව අසා පිණ්ඩපාතයෙන් පසු එකරුණ බුදු රජුන්ට සැලකළහ. සාරිපුත්රය, සුනක්ඛත්ත නම් හිස් පුරුෂයා ක්රෝධ බහුලය. ක්රෝධ වශයෙන් මෙසේ කීවේය. ක්රෝධ වශයෙන් ම ඔහු ශ්රමණ භවත් ගෞතමයන්ගේ ධර්මය එය කරන්නා හට මනාකොට දුක් නැති කිරීමකට නො පමුණුවයි කියන්නේ, මගේ ගුණ ම කියයි. සාරිපුත්රය, සුනක්ඛත්ත මගේ ගුණ නො දනී. සාරිපුත්රය, මට ජලභිඤ්ඤා ඇත. ඒ උතුරු මිනිස් දහමකි. දශ බල ඇත. සතර විශාරද ඥාන ඇත. සිව් සත්ත්ව යෝනි පිරිසිඳ දන්නා නුවණ ඇත. පඤ්ච ගති පිරිසිඳ දන්නා නුවණ ඇත. මෙය ද මගේ උතුරු මිනිස් දහම්ය. මෙසේ උතුරු මිනිස් දහම්වලින් යුත් මට යමකු ශ්රමණ ගෞතමයන් හට උතුරු මිනිස් දහම් නැතැ යි කියන්නේ නම් ඔහු ඒ වචනය අත්නොහැර ඒ සිතුවිල්ල අත්නොහැර, ඒ දෘෂ්ටිය අත් නොහැර ගෙනෙන ලද බරක් බිම තබන්නාක් මෙන් නිරයෙහි උපදින්නේය. මෙසේ තමන්ගේ ඇත්තා වූ ම උතුරු මිනිස් දම් ගුණය ප්රකාශ කොට සාරිපුත්රය, සුනක්ඛත්ත කෝරක්ඛත්තියගේ දුෂ්කර ක්රියා නම් මිථ්යා තපසෙහි පැහැදුණේය. සාරිපුත්රය, යමකු මිථ්යා තපසෙහි පහදින්නේ නම් මා කෙරෙහි ම පැහැදිය යුතුයි. සාරිපුත්රය, මම මෙයින් එක් අනූ කල්පයකට පෙර මෙහි සාරයක් ඇත්තේදැ යි බාහිර වූ මිථ්යා තපස් විමසමින් සිව් අඟකින් යුක්ත වූ බඹසර වාසයක් විසුවෙමි. මම තපසුන් අතර උසස් ම තපසෙක් වීමි. රළු ප්රතිපත්ති ඇත්තවුන් අතරින් මම උසස් ම රළු ප්රතිපත්ති ඇත්තෙක් වීමි. පාපය පිළිකුල් කරන්නවුන් අතරින් මම උසස් ම පාපය පිළිකුල් කරන්නෙක් වීමි. විවේක වූවන් අතුරෙන් පරම විවේක වූවෙක් වීමි යි වදාරා තෙරුන් විසින් අයදිනා ලද බුදු රජහු අතීත කථාව දෙසූහ.
පෙර මෙයින් අනූඑක් වැනි කල්පයෙහි බෝසත්හු බාහිර තපස් ක්රම විමසන්නෙමි යි ආජීවක පැවිද්දෙන් පැවිදි ව අචේලකයෙක් හෙවත් වස්ත්ර නැත්තෙක් වීමි. සිරුරෙහි දූලි තැවරී පැවතුණි. එසේ ම එකලාව විහරණ ඇති ජනයාගෙන් වෙන්වූවෙක් වූයේය. මිනිසුන් දුටුවිට මුවෙක් මෙන් පලා ගියේය. මිනිස් මළ ම ආහාර කොට ගත්තේය. වසු පැටියන්ගේ ගොම ද අනුභව කළේය. නො පමා විහරණය සඳහා බිහිසුණු වන ලැහැබක වාසය කළේය. එහි වසනුයේ, හිම වැටෙන කාලයෙහි නවම් මැදින් අතර අට දිනයෙහි රැය වන ලැහැබින් නික්ම එළිමහනෙහි වාසය කොට හිරු උදාවූ කල්හි වන ලැහැබට පිවිසෙයි. ඔහු රාත්රියෙහි එළිමහනෙහි යම් සේ හිම දියෙන් තෙමේ ද එසේ ම දවල් කාලයෙහි වන ලැහැබින් වැගිරෙන්නා වූ දිය බිඳුවලින් තෙමෙයි. මෙසේ රෑ දාවල් ශීතලින් එන දුක් අනුභව කරයි. ගිම්හාන සෘතුවෙහි අන්තිම මාසයෙහි එළිමහනෙහි වැස රාත්රියෙහි වන ලැහැබට පිවිසෙයි. හෙතෙම යම් සේ දවල් කාලයෙහි එළිමහනෙහි සූර්යය තාපයෙන් තැවුණේ ද, එසේ ම රාත්රී කාලයෙහි සුළඟ නැති වන ලැහැබෙහි තැවීමට පත්වෙයි. සිරුරින් දහදිය වැල් වැගිරෙයි. ඉක්බිති, ඔහුට පෙර නො ඇසූ විරූ මේ ගාථා සිහියට නැඟුණි.
“සොසත්තො සොසීතො එකො භිංසණකෙ වනෙ,
නග්ගො නචග්ගිමාසීනො එසනාපසුතො මුනීති”
නග්ගො නචග්ගිමාසීනො එසනාපසුතො මුනීති”
“(හිරු රැසින්) විශේෂයෙන් තැවුණෙමි. (හිම දියෙන්) විශේෂයෙන් තෙත් වූයෙමි. බියකරු වනෙහි හුදකලා වූයෙමි. නග්න වූයේ, ගිනි සමීපයෙහි නො හිඳිනෙමි. (බ්රහ්මචාර්ය) සෙවීමහෙි යෙදුණෙමි. (මුනි භාවය පිණිස පිළිපන්නෙකැ යි) ලෝකයාගේ සැලකුම් ලැබීමි.”
එහි, “සොතත්තොති”, සූර්යය තාපයෙන් වඩාත් තැවුණේ “සොසීතොති”, හිම දියෙන් වඩාත් ශීත වූයේ, වඩාත් තෙත් වුයේ, “එකො භිංසණකෙ වනෙ”, යම් තැනකට පිවිසියවුන්ට බෙහෙවින් ලොම් ඩැහැ ගැනේ ද එබඳු වූ බිය ජනක වූ වන ලැහැබ, දෙවැන්නකු නැති ව එකලාව විසුවෙමි යි දක්වයි. “නග්ගො නචග්ගිමාසීනොති”, නග්න ව එහෙත් ගිනි ඇසුරු නො කරන්නේ එසේ ම ශීතෙන් පීඩා වුව ද හැඳීම් පෙරවීම් නො ගත්තෙමි. ගිනි සමීපයෙහි නො සිටියෙමි යි දක්වයි. “එසනාපසුතොති”, බඹසර නො වුව ද බඹසර යන හැඟීම් ඇත්තෙක් වී මෙය බ්රහ්මචරියයි. බ්රහ්මලෝකය සඳහා උපාය යි ද සිතා මේ බ්රහ්මචරිය සෙවීමෙහි යෙදුණේ, උත්සාහවත් වූයේ වෙමි යි දක්වයි. “මුනීති”, මේ බ්රහ්මචරිය වාසය තිදොර සංවරය සඳහා පිළිපන්නෙක්යැ යි ලෝකයා විසින් පිළිගත් අයෙක් වූයේ වෙමි යි දක්වයි.
මෙසේ සිව් අගකින් යුත් බඹසරෙහි වැස බෝසත්හු මරණ මොහොතෙහි නිරය නිමිත්ත දැක මේ ව්රත සමාදානය නිශ්ඵලයැ යි දැන එකෙණෙහි ම ඒ දෘෂ්ටිය බිඳ දමා සම්මා දිට්ඨිය ගෙන දෙව්ලොව උපන්හ.
බුදු රජහු මේ ධර්ම දේශනාව ගෙනහැර දක්වා ජාතකය නිමවා වදාළහ. මම එසමයෙහි ඒ ආජීවකයා වුණෙමි.