3. විශ්වාස භෝජන ජාතකය (93)
“න විස්සසෙ අවිස්සත්‍ථෙති” යන මේ දේශනාව බුදුහු දෙව්රම් වෙහෙරෙහි වැඩ වාසය කරන සේක්, විශ්වාස භෝජනයක් අරබයා වදාළහ. එසමයෙහි වනාහි බොහෝ සෙයින් භික්‍ෂූන්ට මව විසින් දෙන ලදි. පියා විසින් දෙන ලදි. සහෝදරයා, සහෝදරිය, සුළු පියා, සුළු මව, මාමා, නැන්දා ආදීන් විසින් දෙන ලදි. අපගේ ගිහි කාලයෙහි ද පැවිදි කාලයෙහි ද මොවුහු දෙන්නට සුදුසුයැ යි නෑයන් විසින් දෙන ලද සිව්පසෙහි විශ්වාස වී ප්‍රත්‍යවේක්‍ෂා නැති ව වළඳත්. බුදුහු ඒ කරුණ දැන භික්‍ෂූන්ට මා විසින් ධර්ම දේශනා කිරීමට වටීයැ යි භික්‍ෂූන් රැස් කැරවා, මහණෙනි, භික්‍ෂුව විසින් තම නෑයන් විසින් හෝ නො වන අය විසින් හෝ දෙන ලද සිව්පසය ප්‍රත්‍යවේක්‍ෂා කොට ම පරිභෝග කළ යුතුයි. ප්‍රත්‍යවේක්‍ෂා නො කොට පරිභෝග කොට කලුරිය කරන භික්‍ෂුව යක්‍ෂ, ප්‍රේත ආත්ම භාවවලින් නො මිදෙයි. ප්‍රත්‍යවේක්‍ෂා නො කොට පරිභෝගය විෂ පරිභෝගයක් සමානය. විෂ වනාහි විශ්වාසවන්තයා දුන්නත් අවිශ්වාසවන්තයා දුන්නත් මරන්නේ මය. පෙර ද විශ්වාසවන්තයා විසින් දෙන ලද විෂ පරිභෝග කොට මරණයට පත් විණැ යි කියා ඔවුන් විසින් අයදනා ලද්දේ, අතීතය ගෙනහැර දැක්වූහ.
පෙර බරණැස් නුවර බඹදත් රජු රජ කරන කල්හි බෝසත්හු මහා ධනවත් සිටුවරයකු විය. ඔහුගේ එක් ගොපල්ලෙක් ගොයම් හකුල් ඇති කල්හි ගවයන් ගෙන කැලයට පිවිස එහි ගාලක් කොට රකිමින් වාසය කරයි. සිටුතුමාට ද කලින් කලට ගොන් රසය (පස්ගෝ රසය) ගෙන එයි. ඉක්බිති, ඔහුගේ ගව ගාලට නුදුරෙහි සිංහයෙක් වාසය කළේය. දෙනුන්ට සිංහයා කෙරෙන් ඇති වන තැති ගැනීම නිසා මළානික වී කිරි මද විය. ඉක්බිති, එක් දිනක් ගිතෙල් රැගෙන ආවා වූ ඔහුගෙන් සිටුතුමා විචාළේය. යහළු ගවපාලකය, ගිතෙල් අඩු වූයේ කුමක් නිසා ද? හෙතෙම ඒ කරුණ කීවේය. යහළුව, ඒ සිංහයාගේ කිසියම් තැනක් පිළිබඳ සිත් ඇත්තේ ද? ඔහුට ඇත, ස්වාමීනි. එක් මුව දෙනක සමග සංසර්ගයක් ඇත. ඒ මුවැත්තිය ගෙන්වා ගන්නට හැකි ද? හැකිය, ස්වාමීනි. එසේ නම් ඒ මුවැත්තිය ගෙන ඇගේ නළලේ පටන් සිරුරෙහි ලොම්, විෂෙන් නැවත නැවතත් රංජනය කැරවා වියළවා දෙතුන් දිනක් ඉක්මවා ඒ මුවැත්තිය මුදා හරිවු. සිංහයා ඇය කෙරෙහි ස්නේහයෙන් සිරුර ලොවා මරණයට පැමිණෙන්නේය. ඉක්බිති, සිංහයාගේ හම, නිය, දළ මෙන් ම වසා තෙල් ද රැගෙන එන්නැ යි හලාහළ විෂ දී පිටත් කළේය.
ඒ ගොපල්ලා දැලක් දමා උපායෙන් ඒ මුවැත්තිය ගෙන එසේ කළේය. සිංහයා ඈ දැක ම බලවත් ස්නේහයෙන් ඇගේ සිරුර ලොවා මරණයට පත්විය. ගොපල්ලා ද සම් ආදිය ගෙන බෝසතාණන් සමීපයට ගියේය. බෝසත්හු ඒ කරුණ දැන අනුන්ට ස්නේහය නම් නො කළ යුතුයි. මෙසේ බලවත් මෘගරාජ සිංහයා කෙලෙස් වශයෙන් සංසර්ගය නිසා මුවැත්තියගේ සිරුර ලෙවකමින් විෂ පරිභෝග කොට මරණයට පත්වීයැ යි කියා පැමිණියා වූ පිරිසට දහම් දෙසන්නේ, මේ ගාථාව කීහ.
“න විස්සසෙ අවිස්සත්‍ථෙ විස්සත්‍ථෙපි න විස්සසෙ,
විස්සාසා භයමන්‍වෙති සීහං ච මිගමාතුකාති”
“(පෙර විශ්වාසයෙන් සිට පසු ව) අවිශ්වාස වූවහු කෙරෙහි විශ්වාසය නො කරන්නේය. (පෙර අවිශ්වාස ව සිට) විශ්වාස වූවහු කෙරෙහි විශ්වාස නො කරන්නේය. එබඳු විශ්වාසයෙන් මුව දෙනගෙන් සිංහයාට මෙන් බය පැමිණේ.”
මේ එහි කෙටි අරුතයි. යමෙක් පෙර යහළුව සිට පසු ව තමා කෙරෙහි අවිශ්වාස වූයේ ද, ඒ “අවිස්සත්‍ථෙ”, අවිශ්වාසියා කෙරෙහි ද යමෙක් පෙර අවිශ්වාසී වී දැන් විශ්වාසවන්ත වූයේ ද, ඒ විශ්වාසවන්තයා කෙරෙහි ද විශ්වාස නො කරන්නෝය. “විස්සත්‍ථෙපි න විස්සසෙ”, ඔහු කෙරෙහි ද විශ්වාස නො කරන්නෝය. මක්නිසා ද “විස්සාසා භයමන්‍වෙති”, යමකු වනාහි මිත්‍රයා කෙරෙහි ද සතුරා කෙරෙහි ද විශ්වාස කළේ ද එයින් බය ම හට ගනී. කෙසේ ද “සීහං ච මිගමාතුකායි”, යම් සේ මිතුරු දම් වශයෙන් විශ්වාස කළ මුව දෙන නිසා සිංහයාට බය පැමිණියේය. බය තමා කරා ආයේය, යන අර්ථයි. යම් සේ මී දෙන විශ්වාස වශයෙන් සිංහයා අනුව ගියාය, යන අර්ථයි.