2. මහාසාර ජාතකය (92)
“උක්කට්ඨෙ සුරමිච්ජන්තීති” යන මේ ජාතක දේශනාව බුදුහු ජේතවනාරාමයෙහි වැඩ වාසය කරන සේක්, ආයුෂ්මත් ආනන්ද තෙරුන් අරබයා වදාළහ. එක් කලක කොසොල් රජුගේ ස්ත්රීහු මෙසේ සිතුවාහුය. බුද්ධෝත්පාදය දුර්ලභය. මිනිස් බවක් ලැබීම ද පිරිපුන් ඇස්, කන් ආදී ආයතන ඇති බව ද එසේ මය. අපි මේ දුර්ලභ අවස්ථා ලැබුව ද අපේ කැමැත්ත පරිදි විහාරයට ගොස් බණ අසන්නට හෝ පූජාවක් කරන්නට හෝ දානයක් දෙන්නට හෝ නො ලබමු. පෙට්ටියක දමන ලද්දෝ මෙන් වසමු. රජතුමාට කියා අපට දම් දෙසන්නට සුදුසු එක් භික්ෂුවක් කැඳවා උන් වහන්සේගේ සමීපයෙහි බණ අසන්නෙමු. එයින් යමක් ගත හැකිවන්නේ නම් එය ගන්නෙමු. දානාදී පිං කරන්නෙමු. මෙසේ අපට මේ ක්ෂණ සම්පත ලැබීම (මිනිසත් බව ලැබීම) සඵල වන්නේය. ඒ සියලු ස්ත්රීහු රජු වෙත එළැඹ තමන් සිතූ කරුණ කීවාහුය. රජතුමා යහපතැ යි පිළිගත්තේය.
ඉක්බිති, එක් දිනක් රජතුමා උයන් කෙළි කෙළිනු කැමැත්තේ, උයන්පල්ලා කැඳවා උයන ශුද්ධ කරන්නැ යි කීවේය. උයන්පල්ලා උයන ශුද්ධ කරන්නේ, බුදු රජුන් එක් ගසක් මුල වැඩ සිටිනු දැක රජු සමීපයට ගොස් දේවයන් වහන්ස, ශුද්ධ කළෙමි. උයනෙහි එක් ගසක් මුල බුදු රජහු වැඩ සිටිතැ යි කීවේය. රජතුමා, යහළුව, යහපති. බුදු රජුන් සමීපයෙහි ධර්මය ද අසන්නෙමු යි අලංකාර රථයකට නැඟී උයනට ගොස් බුදුන් වෙතට ගියේය.
ඒ අවස්ථාවෙහි ඡත්තපාණී නම් එක් අනාගාමී උපාසකයෙක් බුදු රජුන් සමීපයෙහි බණ අසමින් හුන්නේ වෙයි. රජතුමා ඔහු දැක සැක කැරෙමින් මොහොතක් සිට නැවත ඉදින්, මේ තෙමේ පවිටෙක් වන්නේ නම් බුදු රජුන් සමීපයේ සිට බණ නො අසන්නේය. මොහු පවිටකු නො විය යුතුයැ යි සිතා බුදු රජුන් වෙත එළැඹ වැඳ එකත්පසෙක හුන්නේය. උපාසකයා බුදුන් කෙරෙහි ගෞරවයෙන් රජුට පෙර ගමන් කිරීමක් හෝ වැඳීමක් හෝ නො කළේය. ඒ නිසා ඔහු කෙරෙහි රජතුමා නො සතුටු විය. බුදු රජහු, ඔහු අමනාප වූ බව දැන උපාසකයාගේ ගුණ කීවේය. මහරජ, මේ උපාසක තෙම බොහෝ ඇසූපිරූ තැන් ඇති, ධර්මය උගත්, කාමයන්හි නො ඇලුණේ වෙයි. රජ, බුදු රජ යමකුගේ ගුණ කියයි ද, මොහු ලාමක කෙනකු නො විය යුතුයැ යි සිතා උපාසකය, ඔබට යම් කිසි අවශ්යතාවක් ඇත්නම් කියන්න. උපාසකයා යහපතැ යි පිළිගත්තේය. රජ, බුදුන් සමීපයෙහි බණ අසා ශාස්තෲන් වහන්සේ පැදකුණු කොට ගියේය.
රජ එක් දිනක් ප්රාසාදයෙහි මතු මහලෙහි මහා වා කවුළු විහාර කොට සිටියේ, ඒ උපාසකයා ගන්නා ලද උදේ ආහාර ඇත්තේ, කුඩය රැගෙන ජේතවනයට යනු දැක කැඳවා මෙසේ කීවේය. උපාසකය, නුඹ වනාහි උගතෙක් වෙයි. අපගේ ස්ත්රීහු බණ අසනු කැමැත්තෝ ද ඉගෙන ගනු කැමැත්තෝ ද වෙති. ඉදින්, ඔවුන්ට ධර්මය කියා දෙන්නේ නම් යහපතකි. දේවයන් වහන්ස, රජ ගෙදර අන්තඃපුරයෙහි බණ කීමට හෝ ඉගැන්වීමට ගිහියන්ට සුදුසු නො වේ. පැවිදි භික්ෂූහු ම සුදුස්සෝ වෙති. රජතුමා ඔහු කියන්නේ සතයයකැ යි ඔහු යවා ස්ත්රීන් කැඳවා සොඳුරියනි, මම තොපට බණ කීමට ද ඉගැන්වීමට ද බුදුන් වෙත ගොස් එක් භික්ෂුවක් ඉල්ලමි. අසූ මහා ශ්රාවකයන් අතුරෙන් කවරකු නම් ඉල්ලන්නදැ යි ඇසීය. ඒ ස්ත්රීහු සියලු දෙන සාකච්ඡා කොට ධම්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් ම කැමති වූහ. රජ, බුදුන් වෙත ගොස් වැද එකත් පසෙක හුන්නේ, මෙසේ කීවේය. ස්වාමීනි, අපගේ ගෙදර ස්ත්රීහු ආනන්ද තෙරුන්ගේ සමීපයෙහි බණ අසන්නට ද ඉගෙන ගන්නට ද කැමැති වෙත්. ඉදින්, තෙරුන් අපගේ ගෙයි බණ කීම හා ඉගැන්වීම කරන්නේ නම් ඒකාන්තයෙන් යහපති. බුදුහු යහපතැ යි පිළිගෙන තෙරුන්ට අණ කළහ. එතැන් පටන් රජුගේ ස්ත්රීහු තෙරුන් සමීපයෙහි බණ අසත්. උගනිත්.
එක් දවසක් රජුගේ සිළුමිණ නැති විය. රජු එය නැති වූ බව අසා ඇමැතියන්ට මෙසේ අණ කළේය. සියලු රජ මැදුරු ඇතුළත පරිහරණය කරන ජනයා ගෙන සිළුමිණ සොයවු. ඇමැතියෝ ගැහැනුන් ආදීකොට සිළුමිණ ගැන විචාරන්නාහු, නො දැක මහජනයාට හිංසා කළහ. එදවස අනඳ තෙරණුවෝ රජ නිවසට වැඩියහ. පෙර ඒ ස්ත්රිහු තෙරුන් දැක සතුටු සිතින් දහම් අසත්. උගනිත්. මෙදින එසේ නො කොට සියලු ස්ත්රීහු දොම්නසට පත්වූවෝ වූහ. ඉක්බිති, අනඳ තෙරුන් විසින් කුමක් නිසා අද තොපි මෙසේ වූවාහුදැ යි විචාරණ ලද්දාහු, මෙසේ කීහ. ස්වාමීනි, රජුගේ සිළුමිණ සොයන්නෙමු. ඇමැතියෝ මාගමුන් පටන් රජගේ ඇතුළත සිටිනවුන් වෙහෙසෙත්. මේ නිසා කවරකුට කුමක් වේදෝ යි අපි නො දනිමු. ඒ නිසා දොම්නසට පැමිණියාහු වෙමු. එවිට තෙරණුවෝ ඒ ගැන ශෝක නො කැරනු යි, ඔවුන් සනසා රජු වෙතට ගොස් පනවන ලද ආසනයෙහි වැඩ හිඳ මහරජ, ඔබගේ මැණික නටුවේදැ යි විචාළහ. එසේය. ස්වාමීනි, එය ගෙන්වා ගැනීමට නො හැකි වූයෙහි ද? ස්වාමීනි, සියලු ඇතුළත ජනයා තැති ගැන්වුව ද මැණික ගෙන්වා ගැනීමට නො හැකි වූයේය. මහරජ, මැණික ගෙන්වා ගැනීමේ උපායක් ඇත. ස්වාමීනි, ඒ කවර උපායක් ද? මැටි පිඬු දීමයි. ස්වාමීනි, කුමන පිඬු දීමක් ද? ඔවුන් ගණන්කොට එක එකාට පිදුරු පිඬක් හෝ මැටි පිඬක් දී මෙය ඉතා අලුයම් කාලෙහි ගෙනවුත් අසවල් තැන දැමිය යුතුයැ යි කිය යුතුයි. යමකු විසින් මැණික ගන්නා ලද්දේ වී නම් හෙතෙම ඒ පිඬ තුළ මැණික ඇතුළත් කොට ගෙන එන්නේය. ඉදින්, පළමු වැනි දවසේ ම එහි දමයි, නම් ඒ ඉතා මැනවි. එසේ නො දැමුවේ නම් දෙවැනි, තුන් වැනි දිනවල ද එසේ කළ යුතුයි. මෙසේ කළ කල්හි මහජනයාට පීඩා නො වන්නේය. මැණික ද ලබන්නේය. මෙසේ වදාරා තෙරණුවෝ වැඩියහ.