9. දාන සූත්ර වර්ණනාව
නවවන සූත්රයෙහි දානං යනු දියයුත්තය. වස්තු සහිත චේතනාව හෝ දානයයි. සම්පත් පරිත්යගයට මේ වචනයකි. ආමිසදානං යනු දිය යුතු බව වශයෙන් සිවුපසය ආමිසදාන නමි. ඒවා තණ්හාදියෙන් ආමනය (අතගෑම) කළයුතු බැවින් ආමිසයයි කියනු ලැබේ. ඒ ආමිස පරිත්යාග චේතනාව හෝ ආමිස දානයයි. ධම්මදානං යනු මෙලොව ඇතැමෙක් ‘මේ කුශල ධර්මය, මේ අකුසල ධර්මය, මේ සාවද්ය ධර්මය, මේ නිරවද්ය (නිවැරදි) ධර්මය, මේ නුවණැත්තන් විසින් ගැරහිය යුතු ධර්මය, මේ නුවණැත්තන් විසින් පැසසිය යුතු ධර්මය, සම්පූර්ණයෙන් ගන්නා ලද මේ ධර්ම අහිත පිණිස දුක් පිණිස පවතී. මේ ධර්ම හිතසුව පිණිස පවතින්නේ යයි කුශල, අකුශල කර්මපථ බෙදමින් කර්ම, කර්මවිපාක, මෙලොව, පරලොව ප්රත්යක්ෂ වශයෙන් දක්වන්නාක් මෙන් ප්රකට කරමින් අකුසල ධර්මවලින් වලක්වමින් කුශල ධර්මයන්හි පිහිටුවමින් දහම් දෙසයි. මේ ධර්ම දානයයි. යමෙක් වනාහි මේ ධර්ම අභිඤ්ඤය්ය වශයෙන් දතයුතුය. පරිඤ්ඤෙය්ය වශයෙන් දතයුතුය. මේවා පහකළ යුතුය. මේවා ප්රත්යක්ෂ කළ යුතුය. මේවා වැඩිය යුතුයයි (චතුරාර්ය) සත්යය ප්රකට කරමින් නිවන් ලැබීම පිණිස ප්රතිපත්ති ධර්මය දේශනා කරයි ද මේ කෙළ පැමිණි ධර්මදානය නමි. එතදග්ගං යනු (එතං අග්ග) මෙය අග්රය. යදිදං යනු (යං ඉදං) යම් මේ ධර්මදානයක් කියන ලද ද මෙය මේ දාන දෙක අතරින් අග්රය. ශ්රේෂ්ඨය. උත්තමය. නිවන් පිණිස පවතින ධර්මදානය නිසා සියලු අනර්ථයෙන් මිදෙයි. සියලු සසර දුක ඉක්මවයි. ලෞකික ධර්ම දානය වනාහි සියලු දානයන්ගේ නිදානයයි. සියලු සම්පත්තීන්ගේ මුලය. එහෙයින් -
සබ්බදානං ධම්මදානං ජිනාති සබ්බං රසං ධම්මරසො ජිනාති
සබ්බං රතිං ධම්මරතී ජිනාති තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති
සබ්බං රතිං ධම්මරතී ජිනාති තණ්හක්ඛයො සබ්බදුක්ඛං ජිනාති
‘සියලු දන් පරදවා ධර්මදානය ජය ගනී. සියලු රස පරදවා ධර්ම රසය ජයගනී. සියලු ඇල්ම පරදවා ධර්මරතිය ජයගනී. සියලු දුක් පරදවා තණ්හාව ක්ෂයකිරීම ජයගනී’ යනුවෙන් වදාළහ.
අභය දානය ද මෙහි ධර්මදානයෙහිම සංග්රහ (ඇතුළත්) කරන ලදැයි දතයුතුය.
සාධාරණ (පොදු) පරිහරණ අදහසින් තමා විසින් අනුභව කළයුතු සිවුපසයෙන් තමාම අනුභව නොකොට අනුන්ට බෙදා දීම ආමිස සංවිභාග නමි. සාධාරණ පරිහරණ අදහසින්ම තමා විසින් දැනගන්නා ලද අවබෝධ කරන ලද ධර්මය පිළිබඳ මන්දෝත්සාහී නොවී අනුන්ට උපදෙස් දීම ධම්ම සංවිභාගය යි. සිවුපසයෙන් ද සතර සංග්රහ වස්තුවෙන් ද අනුන්ට අනුග්රහය අනුකම්පනය ආමිසානුග්ගහො ආමිස අනුග්රහයයි. කියන ලද අයුරින්ම ධර්මයෙන් අනුන්ට අනුග්රහනය අනුකම්පනය ධම්මානුග්ගහො ධර්ම අනුග්රහයයි. සෙස්ස කියන ලද අයුරින්මය.
ගාථාවල යමාහුදානං පරමං යනු යම් දානයක් චිත්ත (සිත) ඛෙත්ත (ප්රතිග්රාහක) දෙය්ය ධර්ම (දාන වස්තුව) යන්ගේ උදාරත්වයෙන් පරමය උත්තම යනුයි. යෝග සම්පත් ආදිය පිරීම් වශයෙන් ඵලදැරීම් වශයෙන් හෝ අන්ය වූ ලෝභය මසුරුකම ආදී වූ ප්රතිපක්ෂ ධර්මවල මර්දනයෙන් ඒවාට හිංසා කිරීමෙන් උතුම් යයි භාග්යවත් බුදුවරු කීවාහුය.
අනුත්තරං යනු යම් දානයක් චේතනාදී සම්පත්තියෙන් ද සාතිශය පැවැත්මෙන් ද අග්රභාවයෙන් ද අග්රවිපාක ඇති බැවින් ද ඊට වඩා උසස් වූවක් නැති ද අනුත්තරභාවය සිදුකිරීම ද ආහු වදාළහ. යං සංවිභාගං යන මෙහි ද පරම අනුත්තර පද දෙක ගෙන යෙදිය යුතුය. අවණ්ණයී යනු වර්ණනා කළහ. ‘භොජනං භික්ඛවෙ දදමානො දායකො පටිග්ගාහකානං පඤ්චඨානානි දෙති’ ‘මහණෙනි, භෝජනය දෙන්නා වූ දායකයා ප්රතිග්රාහකයන්ට (පිළිගන්නා අයට) කරුණු පහක් දෙයි’ යනාදියෙන්ද ‘සචෙ භික්ඛවෙ ජානෙය්යුං දානස්ස සංවිභාගස්ස විපාකං’ ‘මහණෙනි, ඉදින් සත්ත්වයෝ දානයේ ද බෙදාගැනීමේ ද විපාක දනිත් නම්’ යනාදියෙන් ද ප්රශංසා කළහ. යම්සේ වනාහි දානය ද බෙදාගැනීමද පරම ද අනුත්තර ද වේද එය දක්වන්නට ‘අග්ගම්හි’ යනාදිය දෙසන ලදී. එහි අග්ගම්හි යනු ශීලාදී ගුණ විශේෂ යෙදීමෙන් ශ්රේෂ්ඨ වූ අනුත්තර වූ පුණ්ය ක්ෂේත්ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙරෙහි ද ආර්ය සංඝයා කෙරෙහි පසන්න චිත්තො යනු කර්මඵලය ඇදහීමෙන් ද රත්නත්රය පිළිබඳ ඇදහීමෙන් (ශ්රද්ධාවෙන්) ද සිත පහදවමින් විශ්වාස කරමින්. දිය යුතු දෙය ස්වල්පයක් ඇති කල්හි ද චිත්ත සම්පත්තියෙන් ද ක්ෂේත්ර සම්පත්තියෙන් ද දානය මහානුභාව වෙයි මහත් බැබලීම් වෙයි, මහා පැතිරීම වෙයි. ඒ කාරණය -
නත්ථි චිත්තෙ පසන්නම්හි අප්පිකා නාම දක්ඛිණා
තථාගතෙ වා සම්බුද්ධෙ අථ වා තස්ස සාවකෙ
තථාගතෙ වා සම්බුද්ධෙ අථ වා තස්ස සාවකෙ
‘සිත පැහැදුන කල්හි තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත හෝ උන්වහන්සේගේ ශ්රාවකයකු වෙත හෝ දෙන දානය අල්ප නොවේ’ යනුවෙන් කියන ලදී.
විඤ්ඤූ යනු ප්රඥාව ඇත්තාවූ පජානං යනු මැනවින් දාන ඵලය දාන ආනිසංස දන්නා වූ. කො න යජෙථ කාලෙ දීමට සුදුසු කාලය පැමිණි කල්හි කවරෙක් නම් දානය නොදෙන්නේද? ශ්රද්ධාව, දිය යුතු දෙය, ප්රතිග්රාහකයන් යන මේ කරුණු තුන සම්මුඛ වූ කල්හිම දානය හටගනී. අන් අයුරකින් නොවේ. නැතහොත් දීමට සුදුසු කාලයෙහි ප්රතිග්රාහකයන්ට (කවරෙක් නම් දානය නොදෙන්නේ ද?)
මෙසේ පළමු ගාථාවෙන් ආමිස දාන බෙදීමට අනුග්රහ දක්වා දැන් ධර්මදානය බෙදීමට අනුග්රහ දැක්වීමට ‘යෙ ච භාසන්ති’ යන දෙවන ගාථාව වදාළහ. එහි උභයං යනු ‘භාසන්ති සුණ්ණති’ යනුවෙන් කියන ලද දේශක ප්රතිග්රාහක යන දෙදෙනාය. මේ වනාහි මෙහි කෙටි අර්ථයයි. යමෙක් සුගතස්ස භාග්යවතුන් වහන්සේගේ සාසනෙ සද්ධර්මයෙහි පසන්නචිත්තා ප්රසන්න සිත් ඇත්තාහු, විමුක්ති ආයතන ශීර්ෂයෙහි සිට (නිවන මුල්කොට ගෙන) දේශනා කරත් ද එසේම පිළිගනිත් ද ඒ දේශක ප්රතිග්රාහකයන්ගේ සො ඒ, ධර්මදාන - ධර්ම සංවිභාග - ධර්ම අනුග්රහ නම් වූ අත්ථො අර්ථය, පරම වූ අර්ථය සිදුකිරීම් වශයෙන් පරමො පරම වූ තෘෂ්ණා සංක්ලේශ ආදී සියලු කෙලෙස් මල පිරිසිදු කිරීමෙන් විසුජ්ඣති (සත්ත්වයා) පිරිසිදු වෙයි. කෙබඳු අයගේ ද? යෙ අප්පමත්තා සුගතස්ස සාසනෙ භාග්යවතුන් වහන්සේගේ ශාසනයෙහි යමෙක් අප්රමාද වූවාහුද ඔවුන්ගේ.
සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියොදපනං එතං බුද්ධානසාසනං
සචිත්ත පරියොදපනං එතං බුද්ධානසාසනං
යනුවෙන් කෙටියෙන් මෙසේ ප්රකාශ කරන ලද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සාසනෙ අවවාදයෙහි අනුසාසනයෙහි නොපමා වූවාහු අධිශීල ශික්ෂාදිය සකස්කොට පිළිපදිති. (සම්පදනය කරති). තෙසං විසුජ්ඣති අර්හත්ඵල විශුද්ධියෙන් අතිශයින් ඔවුන්ගේ (පරමාර්ථය) පිරිසිදු වෙයි.
නවවන සුත්රයයි.
10. ත්රෛවිද්යා සූත්ර වර්ණනාව
දසවන සූත්රයෙහි ධම්මෙන යනු න්යායයෙන්, යහපත් ප්රතිපත්ති නම් වූ හේතුවෙන්, කාරණයෙන්. යම් ප්රතිපදාවකින් ත්රිවිද්යාලාභියෙක් වේද ඒ ප්රතිපදාව මෙහි ධර්මයයි දතයුතුය. ඒ ප්රතිපදාව කුමක්ද? චරණ සම්පදාව ද විද්යා සම්පදාව ද වෙයි. තෙ විජ්ජං යනු පුබේනිවාසානුස්සති ඤාණය ආදී විද්යා තුනෙන් යුක්ත වූ. බ්රාහ්මණං යනු බහා තබන ලද පව් ඇති බමුණා. පඤ්ඤාපෙමි යනු බමුණෙකැයි දන්වමි. පිහිටුවමි. නාඤ්ඤං ලපිතලාපනමත්තෙන යනු බමුණු කුලයක උපන් පමණින් බමුණෙකු කොට, අට්ඨක ආදී ඍෂිවරුන් විසින් කියන ලද දෑ කියන පමණින් (තෙ විජ්ජ බමුණකුගෙන්) අනිකකු බමුණකු කොට නො පණවමි. නැතහොත් ‘ලපිතලාපනමත්තෙන’ යනු ඉගෙනීම්-ඉගැන්වීම් පමණකින් බමුණෙකු කොට නොපණවමි. දෙයාකාරයෙන්ම බමුණෝ සාමවේදය ආදී වේද තුන ඉගෙනීමෙන් යම් ත්රිවිද්යා බමුණකු කියත් ද එය ප්රතික්ෂේප කරති. පරමාර්ථ වශයෙන් භො භො යනුවෙන් කථාකරන අවිද්යාවෙන් වසන ලද ඔවුහු ත්රිවිද්යා නොවූ බමුණෙකුට ත්රිවිද්යාලාභී බමුණෙක් යයි කියති. ත්රිවිද්යාලාභී බමුණා මෙසේ වෙයි යනුවෙන් දැක්වීම පිණිස අවබෝධ කරගන්නා වූ පුද්ගලයන්ගේ අදහස් වශයෙන් භාග්යවතුන් වහන්සේ විසින් මේ දේශනාව ආරම්භ කරන ලදී.