ඉතිවුත්තකට්ඨකථා
ග්‍රන්ථ ආරම්භ කථා
1. මහා කාරුණික වූ අනුන්ට පිහිටවන දතයුතු දෙය නමැති සාගරයෙහි පරතෙරට පත්, සියුම් වූ ගැඹුරු වූ විසිතුරු ක්‍රමයෙන් දහම් දෙසන බුදුරජාණන් වහන්සේ මම වඳිමි.
2. යම් ධර්මයකින්, විද්‍යාචරණ සම්පන්න ගුණයෙන් යුක්ත වූ පුද්ගලයෝ ලෝකයෙන් එතරට පමුණුවත් ද සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් පුදන ලද ඒ උතුම් ධර්මය මම වඳිමි.
3. යම් පුද්ගලයෙක් ශීලාදී ගුණසම්පන්න වූයේ ද මාර්ගඵලයන්හි පිහිටියේ ද ඒ අනුත්තර පින්කෙත වූ ආර්ය සංඝයා මම වඳිමි.
4. මෙසේ රත්නත්‍රය කෙරෙහි වන්දනා කිරීමෙන් උපන් යම් පිනක් ඇද්ද ඒ පින් තෙදින් මම හැමතැනම නසන ලද අනතුරු ඇත්තෙක් වී.
5. විශේෂයෙන් ලෝභාදී ධර්මයන්ගේ ප්‍රහාණය පැහැදිලි කරමින් බුදුරජාණන් වහන්සේ විසින් ඒකක ආදී ප්‍රභේද වශයෙන් දේශනා කරන ලද
6. ඉතිවුත්ත යන පදයෙන් යුක්ත සූත්‍ර එකතු කොට මහාර්ෂී වූ ධර්ම සංගායක ස්ථවිරයන් වහන්සේලා සංගායනා කළහ.
7. පෙර මහ තෙරවරු යම් ගැඹුරු පදාර්ථ ක්‍රමයක් වීද එය ඉතිවුත්තක යන නමින් ඛුද්දක නිකායෙහි සංග්‍රහ කළහ.
8. ගැඹුරු නුවණින් ඊට බැසගතයුතු බැවින් මා විසින් එහි අර්ථ වර්ණනා කරන්නට දුෂ්කර නමුත්.
9. යම් හෙයකින් ශාස්තෲ ශාසනය අර්ථ වර්ණනා සමඟ පවතී ද පෙර ඇඳුරුවරුන්ගේ විනිශ්චය පවතී ද,
10. එහෙයින් එහි එල්ලී නිකාය පහට බැසගෙන පැරණි අටුවා කථා ක්‍රමය ඇසුරුකොට,
11. මහා විහාරවාසී තෙරවරුන්ගේ සියුම් වූ අර්ථ විනිශ්චය ඇති පිරිසිදු වූ නිරවුල් වූ ඉගැන්වීම් පිළිවෙළ (වාචනා මාර්ගය) ඇසුරුකොට,
12. නැවත නැවත ආවා වූ අර්ථ දුරුකොට මනාකොට ශක්ති පමණින් ඉතිවුත්තක වර්ණනාව කරන්නෙමි.
13. සත්පුරුෂයිනි, මෙසේ සද්ධර්මයේ බොහෝකල් පැවැත්ම කැමතිවන්නා වූ මා විසින් බෙදා දක්වන්නා වූ ඒ ඉතිවුත්තක පාළියේ අර්ථකථාව අසව්. (අසනු මැනවි.)
එහි ඉතිවුත්තකය යනු ඒකක නිපාත, දුක නිපාත, තික නිපාත, චතුක්ක නිපාත යන නිපාත සතරක සංග්‍රහයයි. එය විනය පිටකය, සූත්‍ර පිටකය, අභිධර්ම පිටකය යන පිටක තුන අතුරෙන් සූත්‍ර පිටකයට ඇතුළත්ය. දීඝනිකාය, මජ්ඣිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, ඛුද්දක නිකාය යන නිකාය පහ අතුරෙන් ඛුද්දක නිකායට ඇතුළත්ය. සුත්ත, ගෙය්‍ය, වෙය්‍යාකරණ, ගාථා, උදාන, ඉතිවුත්තක, ජාතක, අබ්භූත ධම්ම, වේදල්ල යන නවාංග ශාසනය අතුරෙන් ඉතිවුත්තක අංගයෙහි විද්‍යමානය.
ද්වාසීතිං බුද්ධතො ගණ්හං ද්වෙ සහස්සානි භික්ඛුතො
චතුරාසීති සහස්සානි යෙ මෙ ධම්මා පවත්තිනො’ති
‘අසූ දෙදහසක් බුදුරජාණන් වහන්සේගෙන් ද දෙදහසක් භික්ෂූන්ගෙන් ද ගත්තෙමි. (මෙසේ) අසූහාර දහසක් යම් මේ ධර්මයෝ පවතිත්දැ’යි
මෙසේ ධර්ම භාණ්ඩාගාරික ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් ප්‍රතිඥා කරන ලද අසූහාර දහසක් ධර්මස්කන්ධයන් අතුරෙන් ධර්මස්කන්ධ කීපයක සංග්‍රහයකි. පළමුකොට සූත්‍ර වශයෙන් ඒකක නිපාතයෙහි සූත්‍ර විසිහතක් ද දුක නිපාතයෙහි සූත්‍ර විසි දෙකක් ද තික නිපාතයෙහි සූත්‍ර පනහක් ද චතුක්ක නිපාතයෙහි සූත්‍ර දහතුනක් ද යනුවෙන් සූත්‍ර එකසිය දොළසක සංග්‍රහයකි.
ඒ ඉතිවුත්තක පාළියේ නිපාත අතුරෙන් ඒකක නිපාතය පළමුකොට ඇත. වර්ග අතුරෙන් පාරිභෝග වර්ගය පළමුකොට ඇත. සූත්‍ර අතුරෙන් ලෝභ සූත්‍රය පළමු කොට ඇත. එයිනුදු ‘වුත්තං හෙතං භගවතා’ යනුවෙන් මුල්කොට ඇති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් ප්‍රථම සංගීති කාලයෙහි වදාරන ලද නිදානය පළමුකොට ඇත. ඒ මේ ප්‍රථම මහා සංගීතය වනාහි විනය පිටකයෙහි දී (චුල්ලවග්ග පාළියෙහි) පාළියට (පෙළ දහමට) නගන ලද්දේම ය. එහි නිදානයෙහි දක්‍ෂභාවය පිණිස කිවයුතු කථා මාර්ගය සුමංගල විලාසිනී දීඝනිකායට්ඨකථාවෙහි විස්තර වශයෙන් කියන ලද්දේමය. එහි කියන ලද ආකාරයෙන් ම එය දතයුතුය.
නිදාන වර්ණනාව
‘වුත්තං හෙතං භගවතා’ යනාදිය නිදානය යි. ‘එකධම්මං භික්‍ඛවෙ පජහථ’ යනාදිය සූත්‍රය යි. එහි වුත්තං භගවතා යනාදිය නාමපදය. ඉති යනු නිපාත පදය යි. පජහථ යන මෙහි ‘ප’ යනු උපසර්ග පදය යි. ‘ජහථ’ යනු ආඛ්‍යාත පදයයි, මේ ක්‍රමයෙන් සැමතැන පද විභාගය දතයුතුය.
අර්ථ වශයෙන් පළමු කොට වුත්ත ශබ්දය උපසර්ග ඇතිව ද උපසර්ග නැතිව ද බීජ වැපිරීමෙහි, වැපිරූ බිම සම කිරීමෙහි, කෙස් කැපීමෙහි, ජීවිත පැවැත්මෙහි, බන්ධනයෙන් මිදීමෙහි, බුද්ධ වචන වශයෙන් පැවැත්මෙහි, ඉල්ලා සිටීමෙහි (අජ්ඣෙනෙ) කීමෙහි යන මේ ආදියෙහි දක්නට ලැබේ. එය එසේම යි.
ගාවො තස්ස පජායන්ති ඛෙත්තෙ වුත්තං විරූහති
වුත්තානං ඵලමස්නාති යො මිත්තානං න දූභතී’ති
මිත්‍රයන්ට එරෙහි නොවන තැනැත්තාගේ ගවයෝ බොහෝ වෙති. කෙතෙහි වැපිරූ දෙය වැඩෙයි. ඒ ධාන්‍යඵල (අස්වන්න) අනුභව කරයි.
ආදියෙහි වැපිරීමෙහි ආයේය. ‘නො ච ඛො පටිවුත්තං’ ආදියෙහි අට්ඨදන්තක ආදී උපකරණවලින් වැපිරූ බිම සම කිරීමෙහි ආයේය. ‘කාපඨිකො මානවො දහරො වුත්තසිරො’ ආදියෙහි කෙස් කැපීමෙහි ආයේය. ‘පණ්ණලොමො පරදවුත්තො මිගභූතෙන චෙතසා විහරති’ ආදියෙහි ජීවිත පැවැත්මෙහි ආයේය. ‘සෙය්‍යථාපි නාම පණ්ඩුපලාසො බන්‍ධනා පවුත්තො අභබ්බො හරිතත්තාය’ ආදියෙහි බන්‍ධනයෙන් මිදීමෙහි ආයේය. ‘යෙසමිදං එතරහි බ්‍රාහ්මණා පොරාණං මන්තපදං ගීතං පවුත්තං සමීහිතං’ ආදියෙහි බුද්ධවචන වශයෙන් පැවැත්මෙහි ආයේය. ලෝකයෙහි වනාහි (ලෝක ව්‍යවහාරයෙහි) ‘වුත්තො ගණො වුත්තො පාරායනො’ ආදියෙහි ඉල්ලා සිටීමෙහි ආයේය. ‘වුත්තං ඛො පනෙතං භගවතා ධම්මදායාදා මෙ භික්‍ඛවෙ භවථ මා ආමිසදායාදා’ ආදියෙහි කීමෙහි ආයේය. මෙහි ද ‘කීමෙහි’ දතයුතුය. එහෙයින් (වුත්තං, කථිතං, භාසිතං =) කියන ලද යන අර්ථයි.