10. ත්‍රෛවිද්‍යා සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයෙහි ධම්මෙන යනු න්‍යායයෙන්, යහපත් ප්‍රතිපත්ති නම් වූ හේතුවෙන්, කාරණයෙන්. යම් ප්‍රතිපදාවකින් ත්‍රිවිද්‍යාලාභියෙක් වේද ඒ ප්‍රතිපදාව මෙහි ධර්මයයි දතයුතුය. ඒ ප්‍රතිපදාව කුමක්ද? චරණ සම්පදාව ද විද්‍යා සම්පදාව ද වෙයි. තෙ විජ්ජං යනු පුබේනිවාසානුස්සති ඤාණය ආදී විද්‍යා තුනෙන් යුක්ත වූ. බ්‍රාහ්මණං යනු බහා තබන ලද පව් ඇති බමුණා. පඤ්ඤාපෙමි යනු බමුණෙකැයි දන්වමි. පිහිටුවමි. නාඤ්ඤං ලපිතලාපනමත්තෙන යනු බමුණු කුලයක උපන් පමණින් බමුණෙකු කොට, අට්ඨක ආදී ඍෂිවරුන් විසින් කියන ලද දෑ කියන පමණින් (තෙ විජ්ජ බමුණකුගෙන්) අනිකකු බමුණකු කොට නො පණවමි. නැතහොත් ‘ලපිතලාපනමත්තෙන’ යනු ඉගෙනීම්-ඉගැන්වීම් පමණකින් බමුණෙකු කොට නොපණවමි. දෙයාකාරයෙන්ම බමුණෝ සාමවේදය ආදී වේද තුන ඉගෙනීමෙන් යම් ත්‍රිවිද්‍යා බමුණකු කියත් ද එය ප්‍රතික්‍ෂේප කරති. පරමාර්ථ වශයෙන් භො භො යනුවෙන් කථාකරන අවිද්‍යාවෙන් වසන ලද ඔවුහු ත්‍රිවිද්‍යා නොවූ බමුණෙකුට ත්‍රිවිද්‍යාලාභී බමුණෙක් යයි කියති. ත්‍රිවිද්‍යාලාභී බමුණා මෙසේ වෙයි යනුවෙන් දැක්වීම පිණිස අවබෝධ කරගන්නා වූ පුද්ගලයන්ගේ අදහස් වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් මේ දේශනාව ආරම්භ කරන ලදී.
එහි යම්හෙයකින් චරණ සම්පදාවෙන් තොරව විද්‍යා සම්පත්තියක් නැති හෙයින් විද්‍යා සම්පන්නයාම චරණ සම්පන්නයා වේද එහෙයින් චරණ සම්පදාව ඇතුළත් කොට විද්‍යාව මුල්කොට (විද්‍යා ශීර්ෂයෙන්) ම බමුණකු පණවනු කැමැත්තාහු ‘ධම්මෙනාහං භික්‍ඛවෙ තෙවිජ්ජං බ්‍රාහ්මණං පඤ්ඤාපෙමි’ ‘මහණෙනි, මම ධර්මයෙන්ම ත්‍රිවිද්‍යාලාභී බමුණකු පණවමියි දේශනාව මතුකොට ‘කථඤ්චාහං භික්‍ඛවෙ ධම්මෙන තෙවිජ්ජං බ්‍රාහ්මණං පඤ්ඤාපෙමි’ ‘මහණෙනි, මම ධර්මයෙන් ත්‍රිවිද්‍යාලාභී බමුණකු කෙසේ පණවමිදැයි කියනු කැමැත්තෙන් විමසීමකොට පුද්ගලයා මත පිහිටි (පුග්ගලාධිපට්ඨාන) දේශනාවෙන් විද්‍යා තුන බෙදමින් ‘ඉධ භික්‍ඛවෙ භික්‍ඛු’ ‘මහණෙනි, මේ සසුනෙහි භික්‍ෂුව යනාදිය වදාළහ.
එහි අනෙකවිහිතං යනු අනේකවිධ, නොයෙක් ආකාරයෙන් පැවති, වර්ණනා කරන ලද යන අර්ථයි. පුබ්බෙනිවාසං යනු මේ ජීවිතයට පෙර (සමනන්තර) අතීත භවය මුල්කොට ඒ ඒ තන්හි වසන ලද ස්කන්ධ පරම්පරාව, ‘නිවුත්‍ථං’ යනු වාසය කරන ලද, විඳින ලද, තමාගේ සිතෙහි ඉපිද නිරුද්ධ වූ හෝ විසූධර්මය. වාසය කරන ලද, ගෝචර නිවාසයෙන් වාසය කරන ලද, තමාගේ විඤ්ඤාණයෙන් දැනගන්නා ලද හෝ අනුන්ගේ විඤ්ඤාණයෙන් දැනගන්නා ලද සිඳුණ මග සිහිකිරීම් ආදියේය. අනුස්සරති යනු ‘එක් ජාතියක් ද ජාති දෙකක් දැයි මෙසේ ජාති පිළිවෙළින් අනුව ගොස් සිහිකරයි. නැතහොත් එක්ව සිහිකරයි. සිත යොමුකළ කල්හි පරිකර්මයට අනතුරුවම සිහිකරයි.
සෙය්‍යථිදං යනු ආරම්භ ආකාරය දක්වන නිපාතයයි. එයින්ම යම් මේ පූර්වේනිවාසයක් අරඹන ලද්දේ වේද ඒ පූර්වනිවාසයේ ආකාරය දක්වමින් ‘එකම්පි ජාතිං’ යනාදිය වදාළහ. එහි එකම්පි ජාති එක් ප්‍රතිසන්ධියක් මුල්කොට ඇති චුතිය අවසාන කොට ඇති එක් භවයකට ඇතුළත් වූ ස්කන්ධ පරම්පරාවයි. ‘ද්වෙපි ජාතියො’ යනාදියෙහි ද මේ ක්‍රමයමයි. අනෙකෙපි සංවට්ටකප්පෙ යනාදියෙහි පිරිහෙන කල්පය සංවට්ට කල්පයයි. වැඩෙන කල්පය විවට්ට කල්පයයි. එහි සංවට්ට කල්පයෙන් පිරිහී පවතින (සංවට්ටට්ඨායී) කල්පය ද එය (සංවට්ටය) මුල්කොට ඇති බැවින් ගන්නා ලද්දේ වෙයි. විවට්ට කල්පයෙන් වැඩී ඇති (විවට්ටට්ඨායි) කල්පය ද ගැනේ. මෙසේ ඇති කල්හි ‘චත්තාරිමානි භික්‍ඛවෙ කප්පස්ස අසංඛෙය්‍යා කතමානි චත්තාරි? සංවට්ටො, සංවට්ටට්ඨායී, විවට්ටො, විවට්ටට්ඨායී’ ‘මහණෙනි, කල්පයක් සම්බන්ධ අසංඛ්‍ය සතරක් ඇත. කුමන සතරක්ද? ‘සංවට්ට, සංවට්ටට්ඨායී, විවට්ට, විවට්ටට්ඨායී’ යනුවෙන් කියන ලද යම් ඒ අසංඛ්‍ය සතරක් වේද ඒවා ගන්නා ලද්දේ වෙයි.
එහි තේජෝ සංවට්ට, ආපෝ සංවට්ට, වායෝ සංවට්ට යයි සංවට්ට තුනකි. ආභස්සර, සුභකිණ්ණ, වේහප්ඵල යනුවෙන් සංවට්ට සීමා තුනකි. කල්පය තේජසින් (ගින්නෙන්) විනාශවන කල්හි ආභස්සරයෙන් පහළ ගින්නෙන් දැවේ. ජලයෙන් විනාශවන කල්හි සුභකිණ්හයෙන් පහළ ජලයෙන් විනාශ වෙයි. වාතයෙන් විනාශවන කල්හි වේහප්ඵලයෙන් යට වාතයෙන් විනාශ වෙයි. විස්තර වශයෙන් වනාහි කෝටි ලක්‍ෂයක් සක්වල එක්ව විනාශ වෙයි. මෙසේ පුබ්බේනිවාසය (පෙර විසීම) සිහිකරන්නා වූ මෙබඳු වූ මේ භික්‍ෂුව නොයෙක් සංවට්ට කල්ප, නොයෙක් විවට්ට කල්ප, නොයෙක් සංවට්ටවිවට්ට කල්ප සිහිකරයි. කෙසේද? ‘අමුත්‍රාසිං’ යනාදී ක්‍රමයෙනි.