චතුෂ්ක නිපාතය
1. බ්‍රාහ්මණ සූත්‍ර වර්ණනාව
චතුක්ක නිපාතයෙහි පළමු සුත්‍රයෙහි අහං යනු තමා දැක්වීමයි හෙවත් ආත්ම නිර්දේශයයි. යම් අනිකෙක් නොවේ ද ඒ නියකජ්ඣත්ත යයි කියන ලද ආත්මය (තමා) මම (අහං) යයි කියනු ලැබේ. අස්මි යනු යම් පරමාර්ථ බ්‍රාහ්මණ බවක් වේද එය එසේයයි පිළිගැනීම, මම යයි කියමින් තමා කෙරෙහි බ්‍රාහ්මණභාවය ඇති බව පිළිගනිමින් ශාස්තෲන් වහන්සේ ‘අස්මි’ (වෙමි) යි වදාළහ. ‘මම බ්‍රහ්ම වෙමි. මහා බ්‍රහ්ම වෙමි’යි ද ‘මම ශ්‍රේෂ්ඨ වෙමි’යි ද පහනොවූ දිට්ඨි-මාන අනුසය ඇති පෘථග්ජනයෝ තමන්ගේ දිට්ඨි-මාන යන හැඟීම් සිත තුළ පිහිටුවීම් වශයෙන් යම් සේ කියත් ද මෙසේ (භාග්‍යවතුන් වහන්සේ විසින්) නොකියන ලදී. සියලු ආකාරයෙන් පහවූ දිට්ඨි-මාන අනුසය ඇති භාග්‍යවතුන් වහන්සේ ව්‍යවහාරය නො ඉක්මවමින් ලෝක ව්‍යවහාරයට අනුකූලව හික්මවිය යුතු අයගේ චිත්ත සන්තානයන්හි ධර්මය පිහිටුවමින් හුදෙක් එබඳු ගුණය තමා කෙරෙහි ඇති බව පිළිගනිමින් ‘අහමස්මි’ (මම වෙමි) යි කීහ.
බ්‍රාහ්මණො යනු බහාතබන ලද පව් ඇති බැවින්ය. ආර්ය මාර්ගය නම් වූ වේදයට* ණය නැති බැවින් බ්‍රාහ්මණ වෙයි. මේ මෙහි අර්ථයයි: මහණෙනි, මම පරමාර්ථ වශයෙන් බ්‍රාහ්මණයෙක් වෙමි. භාග්‍යවතුන් වහන්සේ වනාහි සියලු ආකාරයෙන් පරිපූර්ණ වූ දාන-සංයම ආදී වත් සමාදාන වශයෙන් ඉතිරි නොකොට තපස් චර්යාවෙන් පරතෙරට ගිය සේක. මැනවින් වාසය කරන ලද බ්‍රහ්මචරිය වාසය ඇතිසේක්, සියලු වේදයන්ගේ පරතෙරට ගිය සේක. සපිරිසිදු විද්‍යාචරණ ඇති සේක. හැම ආකාරයෙන් සෝදාහරින ලද පව්මල ඇති සේක. අනුත්තර ආර්ය මාර්ගයයි කියන ලද වේදය ගැන දේශනා කරන සේක. සුපිරිසිදු ශාසන බ්‍රහ්මචර්යාව පිළිබඳව දේශනා කරන සේක. එහෙයින් සියලු ආකාරයෙන් බහා තබන ලද පව් ඇති බැවින් වේදයට ණය ඇති බැවින් වේදය කියන බැවින් භාග්‍යවතුන් වහන්සේ උසස්ම අර්ථයෙන් බ්‍රාහ්මණ යයි කියනු ලැබේ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ දෙවියන් සහිත ලෝකයෙහි තමන් වහන්සේගේ අනුත්තර වූ බ්‍රාහ්මණභාවය ප්‍රකාශකොට බ්‍රාහ්මණයෝ යම් මේ දානාදී කර්ම හයක් බමුණන්ට පණවත් ද ඒ සුපිරිසිදු වූ දානාදී කර්මයන් උසස් අයුරින් තමන්වහන්සේ කෙරෙහි ඇති බව දක්වන්නට ‘යාචයොගො’ ආදිය වදාළහ.
එහි යාචයොගො යනු යාචකයන් සමග යුක්ත වූ. ඉල්ලති යන අරුතින් යාචකයෝ නම් වෙති. ඔවුහු වනාහි මෙහිදී හික්මවිය යුත්තෝයයි දතයුතුයි. ඔව්හු වනාහි ‘දෙසෙතු භන්තෙ භගවා ධම්මං දෙසෙතු සුගතො ධම්මං’ ‘ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ධර්මය දේශනා කරනු මැනවි. සුගතයන් වහන්සේ ධර්මය දේශනා කරනු මැනවි’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ධර්මදේශනාව ඉල්ලති. භාග්‍යවතුන් වහන්සේ ද ඔවුන්ගේ බලාපොරොත්තු විනාශ නොකොට කැමති පරිද්දෙන් ධර්මය දේශනා කරමින් ධර්ම දානය දෙති යන අරුතින් ඉල්ලීමට සුදුසු වූ සේක් (යාචයොගො) හැමදා හැමකල්හි ඔවුන්ගෙන් තොර නොවූහ. නැතහොත් : ‘යාචයොගො’ යනු ඉල්ලීමට සුදුසු, අදහස් සම්පූර්ණ කිරීම් වශයෙන් ඉල්ලන්නට සුදුසුය යන අර්ථයි. ‘යාජයොගො’ යනු ද පාඨයකි. එහි මහා දානයට ‘යාජ’ යයි කියනු ලැබේ. යිට්ඨං (මහා දානය) යන අර්ථයි. මෙහි වනාහි ධර්මදානය දතයුතුය. මහා දානයෙහි නියුක්ත වූයේ යන අරුතින් යාජයොග නම් වේ. සදා යනු හැමදා, නිතර පවත්වන සද්ධර්ම මහාදානය යන අර්ථයි.
නැතහොත්, යාජ නම් වූ දානය සමග යොදවති යන අරුතින් රාජයොග නම් වේ. ත්‍රිවිධ දානයයි කියන ලද යාජයෙන් සත්ත්වයන් සුදුසු පරිදි යොදවති. ඒ දානයෙහි යොදවති යන අර්ථයි. ‘යාජයොගො සත්තං’ යනු ද පාඨයකි. පයත පාණී යනු පිරිසිදු අත් ඇත්තා වූ, යමෙක් දන්දීමෙහි ඇලුනේ ආමිසදානය දෙමින් සකස්කොට සියතින් දන් දීමට හැමදා සෝදන ලද අත් ඇත්තේම වෙයිද හෙතෙම පයතපාණී යයි කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ ද ධර්මදානයෙහි ඇලුනේ සකස්කොට හැමකල්හි ධර්ම දානයෙහි යෙදුනාහු යයි සලකා ‘පයතපාණී’ යනුවෙන් කියන ලදී. ‘සදා පයතපාණී’ යනුවෙන් ‘සදා’ යන පදය ද මේ සමග යෙදිය යුතුය. ශාස්තෲන් වහන්සේ බෙදීමක් නැතිව වෙනෙය්‍ය ලෝකයාට (හික්මවීමට සුදුසු අයට) සද්ධර්ම දානය හැමදා හැමකල්හි පවත්වමින් එහි යෙදුනු තැනැත්තෙක් වී වාසය කරති.
වෙනත් ක්‍රමයක් : භාවනාව යෝගයයි කියනු ලැබේ. ‘යොගා වෙ ජායතෙ භූරී’ ‘යෝගයෙන් ප්‍රඥාව උපදී’ යයි එහෙයින් කීය. ‘යාජයොගො’ යනු යාජ භාවනාවට පරිත්‍යාග භාවනාවට අනුයුක්ත වූ (යෙදුණු) යන අර්ථයි. භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පෙර බෝසත් කාලයේම කරුණාවෙන් උත්සාහ කරන ලද්දේ සියලු ආකාරයෙන් දානය වර්ධනය කරමින් එහි උසස් අයුරින් කෙළවරට පැමිණි තැනැත්තෙක්ව අභිසම්බෝධියට පැමිණියහ. බුදු වී ද ත්‍රිවිධ දානය විශේෂ වශයෙන් ධර්ම දානය වැඩූහ. අන්‍යයන් ද එහි යෙදවූහ. එසේ උන්වහන්සේ වෙනෙය්‍ය යාචකයන් (හික්මවීමට සුදුසු අය) අතුරෙන් කෙනෙකුට සරණ දුන්හ. කෙනෙකුට පන්සිල් ද කෙනෙකුට දසසිල් ද කෙනෙකුට සිවු පිරිසිදු සිල් ද කෙනෙකුට ධුත ධර්ම ද කෙනෙකුට සතර ඥානයන් ද කෙනෙකුට අටසමවත් ද කෙනෙකුට පංච අභිඤ්ඤා ද සතර මාර්ග ද සතර සාමඤ්ඤ ඵල ද ත්‍රිවිද්‍යාව ද සිවුපිළිසිඹියා දැයි මෙබඳු ලෞකික ලෝකොත්තර භේද ඇති ගුණ ධනය ධර්මදාන වශයෙන් අදහස් කළ පරිදි දෙමින් එසේ දෙන්නැයි අනුන් ද යොදවමින් පරිත්‍යාග භාවනාව වැඩූහ. එහෙයින් පරිත්‍යාග භාවනාවට අනුයුක්ත වූ යනුවෙන් කියන ලදී.
‘පයතපාණී’ යනු ‘ආයතපාණී’ හෝ වෙයි. අතට පත් යමක් දීමට එන්න ගන්නැයි දිගු කළ අත් ඇති කෙනෙකු මෙන් ගුරුමුෂ්ටි නොතබා සද්ධර්ම දානයෙහි යෙදුණේ යන අර්ථයි. නැතහොත් ‘පයතපාණී’ යනු උත්සාහවත් වූ අත් ඇත්තේ, ආමිස දානය දීමට උත්සාහවත් වූ අත් ඇති කෙනෙකු මෙන් ධර්මදානයෙහි කරන ලද උත්සාහ ඇත්තේ යන අර්ථයි. අන්තිම දෙහධරො යනු බ්‍රහ්මචරිය වාසයෙන් බ්‍රාහ්මණ කරණ ධර්ම සම්පූර්ණ කිරීමෙන් අවසන් ආත්මභාවය දරන්න වූ. බ්‍රහ්මචරිය වාසය නැති තැනැත්තාට වනාහි වසල කරණ ධර්මයන් දුරු නොකිරීමෙන් වසල ආදී නම් ඇත්තේ යාම් ඊම් වශයෙන් මව්කුස පිළිසිඳ ගැනීමක් වන්නේය. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ අධික ලෙස බඹසර හැසිරීමෙන් තමන්ගේ බ්‍රාහ්මණ භාවය දක්වති. අනුත්තරො භිසක්කො සල්ලකත්තො යනු පිළියම් කිරීමට අපහසු වූ සංසාර දුක්ඛ රෝගයට පිළියම් කිරිම් වශයෙන් උතුම් වූ වෛද්‍යවරයෙක්, අන් අය විසින් උදුරා දැමීමට නොහැකි රාගාදී උල් කැපීම් වශයෙන් සහමුලින් උදුරාදැමීම් වශයෙන් උතුම් වූ සල්ලකන්තන (උල් කපා දමන) වෛද්‍යවරයෙක්. මෙයින් නිෂ්පර්යාය වශයෙන් (අන් ක්‍රමයක් නොමැති ආකාරයෙන්) තමා තුළ පිහිටි බ්‍රාහ්මණ කරණ ධර්මයන් අන්‍යයන්ගේ සිත් තුළ පිහිටුවමින් අන්‍යයන් ද බමුණන් බවට පත්කිරීම වදාළහ.
තස්ස මෙ තුම්හෙ පුත්තා යනු මහණෙනි, ඔබලා එබඳු වූ මගේ පුත්‍රයෝ වන්න. ඔරසා යනු හෘදයට සම්බන්ධ වූ. යම් සේ සත්ත්වයන් (දරුවන්) අතරින් ඖරස පුත්‍රයෝ විශේෂයෙන් පියා සතු වස්තුවට කොටස්කරුවෝ වෙත් ද එසේම ඒ ආර්ය පුද්ගලයෝ ද සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ දහම් ඇසීම අවසානයෙහි ආර්ය ජාතියෙහි උපන්නාහු උන්වහන්සේ සතු විමුක්ති සුඛයට ද ආර්ය ධර්ම රත්නයටද ඒකාන්තයෙන් කොටස්කරුවන් වන බැවින් ඔරස නම් වෙති. නැතහොත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාවේ ආනුභාවයෙන් ආර්යභූමියට බැසගන්නා වූ ද බැසගත්තා වූ ද ආර්ය ශ්‍රාවකයෝ ශාස්තෲන් වහන්සේගේ ළයෙහි උත්සාහයෙන් උපන් අභිජාති ඇති බැවින් නිෂ්පර්යාය වශයෙන් ඖරස පුත්‍රයෝ යයි කිය යුතු බවට සුදුසුය. එය එසේමය. භාග්‍යවතුන් වහන්සේ විසින් ආසය-අනුසය චරියා-අධිමුත්ති ආදිය බැලීමෙන් වරදට අනුව සිතීමෙන් ද හදවතෙහි තබා වරදින් වළක්වා නිවරදෙහි පිහිටුවීමෙන් ශීලාදී ධර්ම නමැති ශරීර පෝෂණයෙන් සංවර්ධනය කරන ලද අය වෙත් ද (ඔවුහු ඖරස පුත්‍රයයි කීමට සුදුසුය)
මුඛතො ජාතා යනු මුඛයෙන් උපන් ධර්ම දේශනාවෙන් ආර්ය ජාතියෙහි උපන් බැවින් මුඛයෙන් උපන්නාහු, නැතහොත් අන්‍යයන්ට සාධාරණ (පොදු) නැති බැවින් සියලු කුශල ධර්මයන්ට ප්‍රධාන හෙයින් විශේෂයෙන් ප්‍රමුඛ වීම් (ප්‍රාතිමොක්ඛ) වශයෙන් හෝ වුට්ඨානගාමිනී විපස්සනා සංඛ්‍යාත විමොක්‍ෂ මුඛ වශයෙන් හෝ ආර්යමාර්ග ජාතියෙහි උපන්නාහුය යන අරුතින් මුඛයෙන් උපන්නාහු, ශික්‍ෂාත්‍රයෙහි සංග්‍රහ වූ ශාසන ධර්මයෙහි හෝ ආර්යමාර්ග ධර්මයෙහි හෝ උපන්නාහුය යන අරුතින් ධම්මජා, ඒ ධර්මයෙන්ම නිර්මාණය කරන ලද්දාහු මවන ලද්දාහු යන අරුතින් ධම්මනිම්මිතා සති-ධම්මවිචය ආදි ධර්මයට දායාද වූ අරුතින් ධම්මදායාදා ලාභසත්කාර ආදී ආමිෂයට දායාද නොවූ යන අරුතින් නො ආමිසදායාදා ධර්මයට දායාද වූ ආමිෂයට දායාද නොවූ (මගේ පුත්‍රයෝ) වව් යන අර්ථයි.