තික නිපාතය
පඨම වර්ගය
1. අකුසල මූල සූත්‍ර වර්ණනාව
තික නිපාතයෙහි පළමු සූත්‍රයෙහි - තීණි යනු ගණන සීමා කිරීමයි. ඉමානි යනු ඉදිරිපත් කිරීමයි. (අභිමුඛ කරණය යි,) අකුසල මූලානි යනු සීමා කරන ලද ධර්ම දැක්වීමයි. එහි අකුසල ද ඒවාය. මුල් ද ඒවාය යන අරුතින් අකුසල මුල් ය. නැතහොත් අකුසලයන්ගේ හේතු අර්ථයෙන්, ප්‍රත්‍ය අර්ථයෙන් ප්‍රභව (උපදනා තැන) අර්ථයෙන්, ජනක (උපදවන) අර්ථයෙන්, සමුට්ඨාපක (උපදවන) අර්ථයෙන්, නිබ්බත්තක (උපදවන) අර්ථයෙන් ‘මුල්’ වෙයි යනුවෙන් අකුසල මුල්ය. අකුසල ධර්මයන්ගේ කරුණු යන අර්ථයි. කාරණය වනාහි යම්සේ පිහිටයි ද ඵලය මෙයින් පවතී යන අරුතින් හේතු යයි ද මෙය නිසා, මෙයින් එයි යන අරුතින් පච්චය යයි ද (පටිච්ච එතස්මා එති), මෙතැනින් උපදියි යන අරුතින් පභව යයි ද තමාගේ ඵලය උපදවයි යන අරුතින් ජනක යයි ද උපදවයි. (සමුට්ඨාපෙති) යන අරුතින් සමුට්ඨාපක යයි ද උපදවයි (තිබ්බත්තෙති) යන අරුතින් නිබ්බත්තක යයි ද කියනු ලැබේ. මෙසේ පිහිටීම් අර්ථයෙන් මූල යයි ද එහෙයින් අකුසල මූලයයි ද අකුසලයන්ගේ මනාව පිහිටි බව සිදුකරන කරුණුයයි කියන ලද්දේ වෙයි.
ඇතැමෙක් වනාහි හැල් ආදියේ හැල්බීජ මෙන් ද මැණික් ප්‍රභාවන්ගේ මැණික් වර්ණය මෙන් ද අකුසලයන්ගේ අකුසල බව ඇතිකරන සාධකය ලෝභාදීන්ගේ මූල අර්ථයයි කියති. මෙසේ ඇති කල්හි අකුසල චිත්ත සමුට්ඨාන රූපයන්හි ඒවායේ හේතු ප්‍රත්‍යභාවය නො වන්නේය. ඒවා (අකුසල් මුල්) ඒවායේ (අකුසල) අකුසල බව නො සාදයි. ප්‍රත්‍යය නොවන්නේ ද නොවෙයි. ඒ කාරණය කියන ලදී -
‘හෙතු හෙතු සම්පයුත්තකානං ධම්මානං තං සමුට්ඨානානඤ්ච රූපානං හෙතුපච්චයෙන පච්චයො’ යනුවෙන්.
අකුසල බව ඇතිකරන මූලහේතුවක් නැති බැවින් අහේතුක මෝහයේ අකුසල බව සිදු නොවන්නේය. එසේ වුවත් ලෝභාදීන්ගේ ස්වභාව සිද්ධ වූ අකුසලාදි භාවය වන්නේය. එය ඇසුරු කළ දේවලට ලෝභාදිය බැඳී ඇත. ලෝභාදියේ මෙන් අලෝභාදියේ ස්වභාව සිද්ධ වූ කුසල භාවය මෙලෙස වේ. අලෝභාදිය කුසල්ම වේ. අව්‍යාකත නොවේ. එහෙයින් සම්ප්‍රයුක්ත ධර්මයන්හි මෙන් මුල්වලද කුසලාදි භාවය සෙවිය යුතුය. කුසලභාවයට යෝනිසෝ මනසිකාරාදිය මෙන් අකුසලභාවයට අයෝනිසෝ මනසිකාරාදිය කාරණයයි ගතයුතුය. මෙසේ අකුසල බව සිදුකිරිම් වශයෙන් ලෝභාදීන්ගේ මූලාර්ථය නොගෙන මනාව පිහිටි බව සිදුකිරීම් වශයෙන් (සුප්පතිට්ඨිතභාව සාධන වසෙන) ගනු ලබන කල්හි කිසි දෝෂයක් නැත. ලබන ලද හේතුප්‍රත්‍ය ඇති ධර්මයෝ වැඩුණු මුල් ඇති ගසක් මෙන් ස්ථිරව මනාව පිහිටියාහු වෙති. හේතුරහිත ධර්මයෝ තල බිජුවල සෙවල මෙන් මනාව නොපිහිටියාහු වෙති. හේතු මුල් (ආදි) අර්ථයෙන් අකුසලයන්ට උපකාර බැවින් මුල්ය යන අරුතින් අකුසල මුල්ය. යම්හෙයකින් මූලයකින් මිදුණු අකුසල සිතක ඉපදීමක් නැති ද එහෙයින් මුල් තුනෙන් සියලු අකුසල රාශිය හාත්පසින් ගෙන දක්වන ලදැයි දතයුතුය.
ඒ අකුසල මුල් ස්වරූප වශයෙන් දක්වන්නට ලොභො අකුසල මූලං ආදිය කියන ලදී. එහිදී ලෝභාදියෙහි යමක් කිවයුතු නම් එය මුලින් කියන ලද්දේමය. එහි වනාහි තුන්වන (අනාගාමි) මාර්ගයෙන් විනාශ කළයුතු ලෝභාදිය ආයේය. මෙහි වනාහි ඉතිරි නැතිව සියල්ල ආයේය. මෙයම විශේෂය යි.
ගාථාවෙහි පාපචෙතසං යනු අකුසල ධර්ම යෙදීමෙන් ලාමක සිත. හිංසන්ති යනු තමාගේ පැවතීම් මොහොතෙහි ද මතු විපාක දෙන මොහොතෙහි ද බාධා කරත්. අත්තසම්භූතා යනු තමා කෙරෙහි හටගත්තා වූ තචසාරං යනු ගණ්ඨිතය, උණගස යන අර්ථයි. සමඵලං යනු තමාගේ ඵලය, මෙය කියන ලද්දේ වෙයි. කිහිරි-ඇට්ටේරිය මෙන් ඇතුළත හරයක් නැතිව පිට හරයක් ඇති බැවින් තචසාර යනුවෙන් ලබන ලද නම් ඇති උණ ආදිය යම්සේ තමාගෙන් උණ ගසින්) උපන් ඵලයම තමා (උණගස) විනාශ කරයි ද (උණගසින් උපන්ඵලය උණගස විනාශ කරන්නේ යම්සේ ද) එසේ සීලාදි සාරයක් නැති ලාමක සිතක් ඇති පුද්ගලයා තමා තුළ උපන්නා වූ ම ලෝභාදිය (තමාව) විනාශ කරයි.
පළමු සූත්‍රයයි.
2. ධාතු සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයෙහි ධාතුයො යනු තමාගේ ඵලය ද ස්වභාවය ද දරණ අර්ථයෙන් ධාතු නමි. මෙහි ඵලය උපදවන යමක් වේද එය තමාගේ ඵලය ද ස්වභාවය ද අනික ස්වභාවයම දරණ අර්ථයෙන් ද ධාතු නමි. රූපධාතු යනු රූප භවයයි. ධාතුව පැමිණි තැන භවයෙන් පිරිසිඳිය යුතුය. (සීමා කළ යුතුය.) භවය පැමිණි තැන ධාතුවෙන් පිරිසිඳිය යුතුය. මෙහි භවයෙන් පිරිසිඳීම (පරිච්ඡේදය) කියන ලදී. එහෙයින් -
‘කතමෙ ධම්මා රූපාවචරා? හෙට්ඨතො බ්‍රහ්මලොකං පරියන්තං කරිත්‍වා උපරිතො අකනිට්ඨෙ දෙවෙ අන්තො කරිත්‍වා එත්‍ථාවචරා එත්‍ථ පරියාපන්නා ඛන්‍ධධාතු ආයතනා, ඉමෙ ධම්මා රූපාවචරා’ ‘කවර ධර්ම රූපාවචර ද? යටින් බඹලොව සීමාකොට උඩින් අකනිටා දෙවියන් ඇතුලු කොට මෙහි හැසිරෙන මෙහි ඇතුළත් ස්කන්ධ ධාතු-ආයතන යන මේ ධර්ම රූපාවචරය’ යි
මෙසේ කියන ලද රූපාවචර ධර්ම රූපධාතු ය. අරූපධාතු යනු අරූප භවයයි. මෙහි ද භාවයෙන් පිරිසිඳීම කියන ලදී.
‘කතමෙ ධම්මා අරූපාවචරා? හෙට්ඨතො ආකාසානඤ්චායතනූපගෙ දෙවෙ අන්තො කරිත්‍වා උපරිතො නෙවසඤ්ඤා නාසඤ්ඤායතනූපගෙ දෙවෙ අන්තො කරිත්‍වා එත්‍ථාවචරා එත්‍ථ පරියාපන්නා ඛන්‍ධ ධාතු ආයතනා, ඉමෙ ධම්මා අරූපාවචරා’ ‘කවර ධර්ම අරූපාවචරද? යටින් ආකාසානඤ්චායතනයට එළඹි දෙවියන් ඇතුලුකොට උඩින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයට එළඹි දෙවියන් ඇතුලුකොට මෙහි හැසිරෙන මෙහි ඇතුළත් ස්කන්ධ-ධාතු-ආයතන යන මේ ධර්ම අරූපාවචරය’යි
මෙසේ කියන ලද අරූපාවචර ධර්ම අරූපධාතුය. නිරොධ ධාතු යනුවෙන් නිවන දතයුතුය.
වෙනත් ක්‍රමයක්: රූපය සහිත රූපය හා බැඳුණු ධර්ම ප්‍රවෘත්තිය (දහම් පැවැත්ම) රූපධාතුවය. (එනම්) පංචවෝකාර භවය ද ඒකවෝකාර භවය ද වේ. එයින් සියලු කාමභවයද රූප භවය ද එක්තැන් කරන ලද්දේ වෙයි. රූපය නැති ධර්ම ප්‍රවෘත්තිය අරූපධාතුවය. චතුවෝකාර භවයයි. එයින් අරූපභවය එක්තැන් කරන ලද්දේ වෙයි. මෙසේ පද දෙකින් භව තුනත් සියලු සංසාර පැවැත්මත් දක්වන ලදී. තෙවන පදයෙන් අසංඛත ධාතුවම සංග්‍රහ කරන ලදී. මෙහි මාර්ගඵල තක විනිම්මුත්ත (කාම-රූප-අරූප යන තුනෙන් මිදුණු) ධර්ම නමි. ඇතැමෙක් වනාහි ‘රූපධාතු’ යනුවෙන් රූප ස්වභාව ධර්ම ද ‘අරූප ධාතු’ යනුවෙන් අරූප ස්වභාව ධර්ම ද යන පද දෙකෙන් ඉතිරි නොකොට පංචස්කන්ධය ගන්නා ලදැයි ද රූප තණ්හාවට විෂය වන ධර්ම ‘රූපධාතු’ යයි ද අරූප තණ්හාවට විෂය වන ධර්ම අරූප ධාතුයයිද කියති. ඒ සියල්ල මෙහි අදහස් කරන ලදී. එහෙයින් කියන ලද අයුරින්ම අර්ථය දතයුතුය.
ගාථාවන්හි රූපධාතුං පරිඤ්ඤාය යනු රූපය හා බැඳුණු ධර්ම ප්‍රවෘත්තිය ඤාත පරිඤ්ඤා යනාදී පරිඤ්ඤා තුනෙන් පිරිසිඳ දැන අරූපෙසු අසණ්ඨිතා යනු අරූපාවචර ධර්මයන්හි භවරාග වශයෙන් ද භව දිට්ඨි වශයෙන් ද නොපිහිටියා වූ ඇසුරු නොකළා වූ නොඇලුණා වූ. ‘අරූපෙසු අසන්‍ධිතා’ යනුවෙන් ද කියති. ඒ අර්ථයමයි. මෙපමණකින් ත්‍රෛභූමික ධර්මයන්ගේ පිරිසිඳ දැනීම කියන ලදී. නිරොධෙ යෙ විමුච්චන්ති යනු යමෙක් නිවන අරමුණු වූ අග්‍ර මාර්ග-ඵල වශයෙන් සමුච්ඡේද-පටිප්පස්සද්ධි වලින් ඉතිරි නොකොට කෙලෙසුන් කෙරෙන් මිදෙත් ද, තෙ ජනා මච්චුහායිනො යනු ඒ ගෙවා දැමූ ආශ්‍රව ඇති අය මරණය ඉක්මවූවාහුය.
මෙසේ (කාම-රූප-අරූප යන) ධාතු තුන ඉක්මවීමෙන් නිවන් අවබෝධය දක්වා මේ ප්‍රතිපදාව ද ම විසින් ගිය මාර්ගය ද ඔබලාට දේශනා කළ මාර්ගය ද වෙයි යනුවෙන් එහි ඔවුන්ගේ උත්සාහය උපදවමින් දෙවන ගාථාව වදාළහ. එහි කායෙන නාම කයින් මාර්ගඵලවලින්. ඵුස්සිත්‍වා යනු පැමිණ. නිරූපධිං යනු ස්කන්ධාදී සියලු උපධි නැති. උපධිප්පටිනිස්සග්ගං යනු ඒ උපධීන්ගේම දුරුකිරීම් කාරණය, මාර්ග ඥානයෙන් නිවන ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් සියලු උපධි දුරුකරන ලද්දාහු වෙති යන අරුතින් එය (මාර්ග ඥානය) ඒවා (උපධීන්) දුරුකරන කාරණයයි. සච්ඡිකත්‍වා යනු කලින් කල ඵලසමාපත්තියට සමවැදීමෙන් තමා ප්‍රත්‍යක්‍ෂ කොට. අනාසවො සම්මා සම්බුද්ධො යනු අනාශ්‍රව වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසොකං විරජං ශෝක නැති කෙලෙස් දූවිලි නැති ඒ නිර්වාණ පදයම දේශනා කරති. එහෙයින් එය අවබෝධ කිරීම පිණිස උත්සාහ කළ යුතුය.