පඤ්චම වර්ගය
1. අග්‍රප්‍රසාද සූත්‍ර වර්ණනාව
පස්වන වර්ගයෙහි පළමු සූත්‍රයෙහි අග්ගප්පසාදා යන මෙහි මේ අග ශබ්දය ආදි (මුල), කෝටි (කෙළවර අග), කොට්ඨාස (කොටස) සෙට්ඨ (ශ්‍රේෂ්ඨ) යන අර්ථවල දක්නා ලැබේ. එය එසේමය. ‘අජ්ජතග්ගෙ සම්ම දොවාරික ආවරාමි ද්වාරං නිගණ්ඨානං නිගණ්ඨිනං’ ‘යහළු දොරටුපාලය, අද සිට (අද මුල්කොට) නිගණ්ඨයන්ටත් නිගණ්ඨීයන්ටත් දොර වසමි’ ‘අජ්ජතග්ගෙ පාණුපෙතං සරණං ගතං’ ‘අද සිට දිවිහිම්කොට සරණ ගිය’ ආදියෙහි මුල යන අර්ථයෙහි දක්නා ලැබේ. ‘තෙනෙව අංගුලග්ගෙන තං අංගුලග්ගං පරාමසෙය්‍ය’ ‘ඒ ඇඟිලි අගින්ම ඒ ඇඟිලි අග ස්පර්ශ කරන්නේ ද ‘උච්ඡගං වෙලග්ගං’ උක්ගස් කෙළවර, උණගස් කෙළවර ආදියෙහි කෙළවර යන අර්ථයෙහි දක්නා ලැබේ. ‘අම්බිලග්ගං වා මධුරග්ගං වා තිත්තකග්ගං වා අනුජානාමි භික්‍ඛවෙ විහාරග්ගෙන වා පරිවෙණග්ගෙන වා භාජෙතුං’ ‘මහණෙනි, ඇඹුල් කොටස හෝ මිහිරි කොටස හෝ තිත්ත කොටස හෝ විහාර ගණනින් හෝ පිරිවෙන් ගණනින් බෙදන්නට අනුදනිමි යනාදියෙහි කොටස යන අර්ථයෙහි ද ‘අයං ඉමෙසං චතුන්නං පුග්ගලානං අග්ගො ච සෙට්ඨො ච උත්තමො ච පවරො ච’ පුද්ගලයන් සතරදෙනා අතරින් මොහු අග්‍ර ද ශ්‍රේෂ්ඨ ද උතුම් ද ප්‍රවර ද ‘අග්ගොහමස්මි ලොකස්ස’ ‘මම ලෝකයට අග්‍ර වෙමි’ යනාදියෙහි ශ්‍රේෂ්ඨ යන අර්ථයෙහි ද දක්නා ලැබේ. මෙහි ද ඒ මේ අග්ග ශබ්දය ශ්‍රේෂ්ඨ අර්ථයෙහිම යයි දතයුතුය. අග්‍ර වූ දේවල් කෙරෙහි ශ්‍රේෂ්ඨ වූ දේවල් කෙරෙහි ප්‍රසාදයෝ හෝ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ ප්‍රසාදයෝ = අග්ගප්පසාදා යන අර්ථයි.
(අග්‍ර වූ දේවල් කෙරෙහි යන) මුල් අර්ථයෙහිද අග්ග ශබ්දයෙන් බුද්ධාදී රත්නත්‍රය කියනු ලැබේ. ඒවා අතරින් පළමු කොට භාග්‍යවතුන් වහන්සේ අසමාන අර්ථයෙන්ද ගුණ විශිෂ්ට අර්ථයෙන් ද අසමසම අර්ථයෙන් ද අග්‍රයහ. උන්වහන්සේ මහාභිනීහාරය (බුදුබව පැතීම) ද දසපාරමිතාවන් පිරිමද මුල්කොට ඒ බෝධිසම්භාර ගුණවලින් මෙන්ම බුදුගුණවලින්ද සෙසු ජනයන් සමග අසමාන වූවාහුයි අසමාන අර්ථයෙන් අග්‍රයහ. මහාකරුණාදී යම් ගුණධර්ම ඇද්ද ඒවා සෙසු සත්ත්වයන්ගේ ගුණයන්ට වඩා විශිෂ්ටයයි ගුණවිශිෂ්ට අර්ථයෙන් ද සියලු සත්ත්වයන්ට උතුම් බැවින් අග්‍රයහ. කලින් වැඩසිටි සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සියලු සත්ත්වයන් සමග අසමානයහ. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා සමග මේ (ගෞතම) සම්මා සම්බුදුරජාණන් වහන්සේම රූපකාය ගුණවලින් මෙන්ම ධර්මකාය ගුණවලින් ද සමාන වෙතියි අසමසම අර්ථයෙන් ද අග්‍රයහ. එසේම දුර්ලභ වශයෙන් පහළවන බැවින් ද අසිරිමත් මිනිස්බවක් ඇති බැවින් ද බොහෝ ජනයාට හිතසුව ගෙන දෙන හෙයින්ද දෙවැන්නෙක් නැති සහායකයෙක් නැති (අදුතිය - අසහාය) බැවින් ද භාග්‍යවතුන් වහන්සේ ලෝකයෙහි අග්‍රයහයි කියනු ලැබේ. ඒ බව මෙසේ වදාළහ.
‘මහණෙනි, එක් පුද්ගලයෙකුගේ පහළවීම ලෝකයෙහි දුර්ලභය. කවර එක් පුද්ගලයෙකුගේ ද? තථාගත අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේය.
“මහණෙනි, ලෝකයෙහි එක් පුද්ගලයෙක් ඉපදීමට සමත් වූයේ ආශ්චර්යමත් මනුෂ්‍යයෙක්ව උපන්නේ වෙයි. (ලෝකයෙහි එක් අසිරිමත් පුද්ගලයෙක් උපන්නේය.)
‘මහණෙනි, එක් පුද්ගලයෙක් ලෝකයෙහි ඉපදීමට සමත් වූයේ බොහෝ දෙනාට -පෙ- උපන්නේ වෙයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේය.
‘මහණෙනි, එක් පුද්ගලයෙක් ලෝකයෙහි ඉපදීමට සමත් වූයේ (වෙනත් සර්වඥ බුදු කෙනෙකුගේ ඉපදීමක් නැති හෙයින්) අද්විතීයව (බුදු සිරුරට හෝ අවබෝධ කළ ධර්මයට හෝ සමාන වූවක් නැති හෙයින්) අසහායව (බුදු සිරුරට සමාන වෙනත් ප්‍රතිමාවක් නැති හෙයින්) අප්‍රතිමාව (බුදුසිරුරට සමාන බාහිර කිසිවෙක් නැති හෙයින්) අප්‍රතිසමව (බුද්ධ දේශිත ධර්මය වෙනත් අයුරකින් දේශනා කිරීමට සමත් වූවෙක් නැති හෙයින්) අප්‍රතිභාගව (මම බුදුකෙනෙක් වෙමියි කීමට සමත් අනිකකු නැති හෙයින්) අප්‍රති පුද්ගලව, (අන් කිසිවෙකුටත් සමාන නැති හෙයින්) අසමව, (පැරණි බුදුවරුන් හා සමාන හෙයින්) අසමසමව දෙපා ඇති අයට අග්‍රව උපන්නේ වෙයි. කවර එක් පුද්ගලයෙක් ද? තථාගත අරහත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේය.
ධර්මය ද සංඝයා ද අනිත් ධර්ම හා සංඝයා සමග අසමාන අර්ථයෙන් ද විශිෂ්ට ගුණ ඇති බැවින් ද දුර්ලභ පහළවීම් ආදියෙන් ද අග්‍රය. එය එසේය. ඒ බුද්ධ දේශනාවේ ස්වාක්ඛාතාදී ගුණ විශේෂයන්ට බුද්ධශ්‍රාවක සංඝයාගේ සුපටිපන්නතාදී ගුණ විශේෂයන්ට සමාන වූ හෝ ස්වල්පයක් පහත් වූ හෝ අනිත් ධර්මයක්, සංඝයා කෙනෙක් නැත්තේය. ඊට වඩා ශ්‍රේෂ්ඨ වූවක් කොයින්ද? තෙමේම අනිත් ගුණයන්ට වඩා විශිෂ්ට ගුණ ඇති බැවින් ශ්‍රේෂ්ඨය. එසේම ඒවා දුර්ලභ ඉපදීම, අසිරිමත් බව, බොහෝ ජනයාට හිතසැප ගෙනදීම, අද්විතීය, අසහාය ආදී ස්වභාවයෙන් ද ශ්‍රේෂ්ඨය. යම් කරුණකින් භාග්‍යවතුන් වහන්සේ දුර්ලභව පහළවන සේක් ද ඒ කරුණෙන් ධර්මය ද සංඝයා ද දුර්ලභව පහළ වෙයි. අසිරිමත් බව ආදියෙහි ද මේ ක්‍රමයමයි. මෙසේ අග්‍ර වූ ශ්‍රේෂ්ඨ වූ උත්තම වූ ප්‍රවර වූ ගුණ විශිෂ්ට වූ රත්නත්‍රය කෙරෙහි ප්‍රසාදයෝ = අග්ගප්පසාදා අග්‍ර ප්‍රසාදයෝයි.
දෙවන අර්ථයෙහි වනාහි කියන ලද ආකාර ඇති අග්‍ර වූ බුද්ධාදිය කෙරෙහි උපන් අග්‍ර වූ ප්‍රසාදයෝ අග්‍ර ප්‍රසාදයෝයි. ආර්යමාර්ගයෙන් ආවා වූ යම් නොසෙල්වෙන ප්‍රසාද කෙනෙක් ඇද්ද ඒකාන්තයෙන් ඒ ප්‍රසාදයෝ අග්‍ර වූ ප්‍රසාදයෝ යන අරුතින් අග්‍රප්‍රසාද නම් වෙති. ඒ බව ‘ඉධ භික්‍ඛවෙ අරියසාවකො බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො හොති’ ‘මහණෙනි, මේ සසුනෙහි ආර්යශ්‍රාවක තෙමේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසෙල්වෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි’ යනාදිය මෙසේ වදාළහ. අග්‍ර වූ විපාක ඇති බැවින් ද ඒවා අග්‍රප්‍රසාද නම් වේ. ‘අග්ගෙ ඛො පන පසන්නානං අග්ගො විපාකො’ යනුවෙන් එය දේශනා කරන ලදී.
යාවතා යනු යම්තාක්. සත්තා යනු ප්‍රාණීහු. අපදා යනු පා නැති. ද්විපදා යනු දෙපා ඇති. ඉතිරි පද දෙකෙහි ද මේ ක්‍රමයමයි. වා ශබ්දය සමුච්චය (එක්කිරීම්) අර්ථ ඇත්තේ වෙයි. විකල්ප (සියල්ල ඇතුළත් නැති) අර්ථ ඇත්තේ නොවෙයි. ‘අනුප්පන්නො වූ කාමාසවො උප්පජ්ජති උප්පන්නො වා කාමාසවො පවඩ්ඪති’ යන්න මෙනි. මෙහි අනුප්පන්නො ච උප්පන්නො ච (නූපන්නා වූ ද උපන්නා වූ ද) යන අර්ථ ඇත්තේය. ‘භූතානං වා සත්තානං ඨිතියා සම්භවෙසීනං වා අනුග්ගහාය’ යන්න මෙනි. මෙහි භූතානං ච සම්භවෙසීනං ච (ඉපදීම අවසන් කළ සත්ත්වයෝද මතු ඉපදීම සොයන සත්ත්වයෝ ද) යන අර්ථ ඇත්තේය. ‘අග්ගිතො වා උදකතො වා මිථුභෙදතො වා’ යන්න මෙනි. මෙහි අග්ගිතො ව උදකතො ච මිථුභෙදතො ච (ගින්නෙන් ද ජලයෙන් ද මිත්‍රභේදයෙන් ද) යන අර්ථ ඇත්තේය. මෙසේ අපදා වා -පෙ- අග්ග මක්‍ඛායති යන මෙහි ද අපදා ච ද්විපදා ච යනුවෙන් සම්පිණ්ඩන වශයෙන් අර්ථය දතයුතුයි. එහෙයින් ‘සමුච්චයත්‍ථො වා සද්දො න විකප්පත්‍ථො’යි කියන ලදී.
රූපිනො යනු රූපය ඇත්තා වූ. රූපය නැත්තා වූ යන අරුතින් අරූපිනො වෙයි. සඤ්ඤිනො යනු සඤ්ඤාව ඇත්තා වූ. සඤ්ඤාව නැත්තා වූ යන අරුතින් අසඤ්ඤිනො වෙයි. නෙවසඤ්ඤානාසඤ්ඤිනො නම් භවාග්‍රයට ඇතුළත් වූ. මෙපමණකින් ධර්මරාජයන් වූ බුදුරජාණන් වහන්සේ කාමභවය, රූපභවය, අරූපභවය, ඒකවෝකාරභවය, චතුවෝකාර භවය, පංචවොකාර භවය, සඤ්ඤීභවය, අසඤ්ඤීහවය, නෙවසඤ්ඤී නාසඤ්ඤී භවය යන නව ආකාර භවයෙහි සත්ත්වයන් ඉතිරි නොකොට ගෙන දැක්වූහ. මෙහි රූපය ගැනීමෙන් කාමභවය ද රූප භවය ද පංචවෝකාර භවය ද ඒකවෝකාර භවය ද දක්වන ලදී. අරූපය ගැනීමෙන් අරූපභවය ද චතුවෝකාර භවය ද දක්වන ලදී. සඤ්ඤීභව ආදිය වනාහි ස්වරූප වශයෙන්ම දක්වන ලදී. අපදා (පා නැති) ආදිය ගැනීමෙන් කාමභව පංචවොකාර භව සඤ්ඤීභවයන්ගේ එක් කොටසක් දක්වන ලදී.