8. කල්යාණශිල සූත්ර වර්ණනාව
අටවන සූත්රයෙහි - කල්යාණ සීලො යනු සුන්දර සිල් ඇත්තා වූ, සමෘද්ධිමත් සිල් ඇත්තා වූ, පිරිපුන් සිල් ඇත්තා වූ. එහි සීලය සම්පූර්ණ වීම, සීල විපත්තියෙහි ආදීනව මැනවින් දැකීමෙන් ද සීල සම්පත්තියෙහි අනුසස් දැකීමෙන්දැයි කරුණු දෙකකින් සිදුවෙයි. මෙහි වනාහි සියලු බන්ධන (කෙලෙස්) වලින් මිදුණු සියලු ආකාරයෙන් පරිපූර්ණ මාර්ග ශීලයේ ද ඵල ශීලයේ ද වශයෙන් කල්යාණ බව දතයුතුය. කල්යාණ ධම්මො යන්නෙන් සියලු බෝධිපාක්ෂික ධර්ම අදහස් කරන ලදී. එහෙයින් ඔහුට කල්යාණ වූ සතිපට්ඨානාදී බෝධිපාක්ෂික ධර්ම ඇත්තේය යන අරුතින් කල්යාණ ධම්මො නම් වෙයි.
කල්යාණ පඤ්ඤො යනු ද මාර්ගඵල ප්රඥා වශයෙන්ම කල්යාණ ප්රඥා ඇත්තා වූ. ලෝකෝත්තර ශීලාදී ධර්මම වෙනස්නොවන ස්වභාව ඇති බැවින් ඒකාන්ත කල්යාණ නම් වෙයි. කිසියම් කෙනෙක් වනාහි ‘චතුපාරිශුද්ධි ශීල වශයෙන් කල්යාණ සීලය, විදර්ශනා මාර්ග ධර්ම කල්යාණ ධර්මය, මාර්ගඵල ප්රඥා වශයෙන් කල්යාණ ප්රඥාව’ යයි කියති. ඇතැමෙක් ‘ඒවා අශෛක්ෂ වූ ම ශීල-සමාධි-ප්රඥා යයි කියති. අන් පිරිසක් ‘සෝවාන්, සකදාගාමි අයගේ මාර්ගඵල ශීලය කල්යාණ ශීලය නම් වේ. එහෙයින් ‘කල්යාණසීලො’ යන මෙයින් සෝවාන් පුද්ගලයා ද සකදාගාමි පුද්ගලයා ද ගන්නා ලද්දාහුම වෙති. ඔවුහු ශීලයන් සම්පූර්ණ කරන්නේ නම් වෙති. අනාගාමී මාර්ගඵල ධර්ම ද අග්රමාර්ග ධර්ම ද කල්යාණ ධර්ම නම් වේ. එහි බෝධිපාක්ෂික ධර්ම භාවනාවෙන් පරිපූර්ණ බවට යයි. එහෙයින් ‘කල්යාණධම්මො’ යන මෙයින් තුන්වන මාර්ගස්ථයාගේ පටන් ආර්යයෝ තිදෙනා ගන්නා ලද්දාහු වෙති. ප්රඥාවේ මුදුන් පැමිණීමෙන් අග්රඵලයෙහි ප්රඥාව කල්යාණ ප්රඥා නම් වේ. එහෙයින් ප්රඥාවෙන් විපුලත්වයට පත් රහතන්වහන්සේ ‘කල්යාණපඤ්ඤො’ යයි කියන ලදී. මෙසේම පුද්ගලයෝ ගන්නා ලද්දාහු වෙති’යි කියති. මේ විස්තරයෙන් ඇති ප්රයෝජනය කුමක් ද? ‘අග්ර වූ මාර්ගඵල ධර්ම මෙහි කල්යාණ ශීලාදියයි කියන ලදී’ යන මෙය අපගේ රුචියයි. මේ ධර්ම විභාගයෙන් පුද්ගල විභාගයයි. ධර්ම විභාගයක් නොවේ.
කෙවලී යන මෙහි - කිසිවක් සමග මිශ්ර නොවූ බැවින් සියලු සංඛතවලින් නිදහස් වූ නිවනට ‘කෙවල’ යයි කියනු ලැබේ. එය ලබාගත් බැවින් රහතන් වහන්සේ ‘කෙවලී’ නම් වෙති. නැතහොත්, ප්රහාණයේ ද භාවනාවේ ද පරිපූර්ණත්වයෙන් ද අවසන් නිවැරදි ධර්ම පරිපූර්ණත්වයෙන් ද කල්යාණ අර්ථයෙන් ද නො ගෙවෙන අශෛක්ෂ සැප ඇති බැවින් ද අර්හත්වය කේවලය. ඒ අර්හත්වය ලැබීමෙන් ක්ෂිණාශ්රවයන් වහන්සේ කේවලීය. මාර්ග බ්රහ්මචරිය වාසය වැස නිමකොට සිටියේ යන අරුතින් වුසිතවා නම් වේ. උතුම් වූ අග්ර වූ අශෛක්ෂ ධර්මවලින් යුක්ත බැවින් උත්තමපුරිසො යයි කියනු ලැබේ.
සීලවා යන මෙහි කුමන අරුතකින් ශීල නම් වේද? ශීලන අර්ථයෙන් ශීලය නම් වේ. මේ ශීලනය නම් කුමක් ද? එක්තැන් කිරීමයි. සුසීල වශයෙන් කාය කර්මාදීන්ගේ නොවිසිරුණු බව යන අර්ථයි. නැතහොත් උපධාරණයයි (දරණුවයි), ධ්යනාදී කුශල ධර්මයන්ට පිහිටීම් වශයෙන් ආධාර බව යන අර්ථයි. එහෙයින් හික්මෙයි යන අරුතින් ශීල නම් වේ. (සීලති, සීලෙතීති වා සීලං), පළමුව මේ ශබ්ද ලක්ෂණ න්යයෙන් ශීලයේ අර්ථය යි. අන් පිරිසක් ශීර්ෂය (ප්රධාන) යන අර්ථය ශීල අර්ථ යයි ද (සිරට්ඨො, සීලට්ඨො), ශීතල යන අර්ථය ශීල අර්ථයයි ද (සීතලට්ඨො, සීලට්ඨො), ශාන්ත අර්ථය ශීල අර්ථයයි ද (සිවට්ඨො, සීලට්ඨො) නිරුක්ති න්යයෙන් අර්ථ වර්ණනා කරති. ඒ මේ ශීලය, පරිපූර්ණ වශයෙන් හෝ අතිශය වශයෙන් හෝ මොහුට ඇත්තේය යන අරුතින් සීලවා නම් වේ. චතුපාරිශුද්ධි ශීල වශයෙන් ශීලයෙන් යුක්ත තැනැත්තා යන අර්ථයයි. එහි යම් ප්රධාන ශීලයක් වේද එය විස්තර කොට දැක්වීමට ‘පාතිමොක්ඛ සංවර සංවුතො’ යනාදිය දෙසන ලදැයි ඇතැම් ආචාර්යවරුන්ගේ අදහසයි.
අන් පිරිසක් - උභයාර්ථය (මෙලොව පරලොව ප්රයෝජන පිණිස) ප්රාතිමෝක්ෂ සංවරය භාග්යවතුන් වහන්සේ විසින් දෙසන ලදැයි කියති. ප්රාතිමෝක්ෂ සංවරයම ශීලයයි. අන්තැන්හි ඉන්ද්රිය සංවරය, දොරටු සය රැකීම් පමණමය. ආජීව පාරිශුද්ධිය, දැහැමින් ප්රත්ය ඉපදවීම් මාත්රයමය. ප්රත්ය සන්නිශ්රිතය, ලබන ලද ප්රත්යයන් ප්රයෝජනය මේ යයි නුවණින් සලකා පරිභෝග කිරීම් මාත්රයමය. නිෂ්පර්යායයෙන් (වෙනස් නොකළ හැකි ආකාරයෙන්) ප්රාතිමෝක්ෂ සංවරයම ශීලයයි. යමෙකුගේ ඒ ශීලය බිඳුනේ වේද, හෙතෙම හිස කැපූ පුරුෂයෙකු මෙන් අත් පා සෙසු කොටස් රකින්නේ යයි නොකිව යුතුය. යමෙකුගේ ශීලය නිරෝගි ද හෙතෙම නො කපන ලද හිස ඇති පුරුෂයෙකු වැනිය. ඔහු ඒවා නැවත ප්රකෘතිමත් කොට රකින්නට හැකිවෙයි. එහෙයින් ‘සීලවා’ යන මෙයින් ප්රාතිමෝක්ෂ ශීලයම පෙන්වා දී එය විස්තර කරන්නට ‘පාතිමොක්ඛ සංවර සංවුතො’ යනාදිය දෙසන ලදී.
එහි පාතිමොක්ඛං යනු ශික්ෂාපද ශීලයයි. යමෙක් ඒ ශීලය රකීද ඒ ශීලය තෙමේ සිල් රකින පුද්ගලයා අපායාදී දුක්වලින් නිදහස් කරයි, මුදයි යන අරුතින් පාතිමොක්ඛ නම් වේ. සංවරණය සංවරයයි. කය වචන දෙකින් නො ඉක්මවීමය. ප්රාතිමෝක්ෂයම සංවරය යන අරුතින් ප්රාතිමෝක්ෂ සංවරයයි. ඒ ශීලයෙන් ආවරණය වූයේ වසන ලද කය වචන ඇත්තේ යන අරුතින් පාතිමොක්ඛ සංවර සංවුතො නම් වේ. මේ ඒ ශීලයෙහි ඔහුගේ පිහිටි බව දැක්වීමයි. විහරති යනු එයට අනුරූප විහරණයෙන් යුක්ත බව දැක්වීමයි. ආචාරගොචරසම්පන්නො යනු යටින් ප්රාතිමෝක්ෂ සංවරයටත් ඉහළින් විශේෂයන්ගේ යෙදීමටත් උපකාරක ධර්ම දැක්වීමයි. අනුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවි යනු ප්රාතිමෝක්ෂ ශීලයෙන් ඉවත්නොවන ස්වභාවය දැක්වීමයි. සමාදාය යනු ඉතිරි නොකොටම ශික්ෂා පදයන්ගේ ගැනීම දැක්වීමයි. සික්ඛති යනු ශික්ෂාවෙන් යුක්ත බව දැක්වීමයි. සික්ඛාපදෙසු යනු හික්මිය යුතු කරුණු දැක්වීමයි.