නැතහොත් දුකෙහි හෙළයි යොදයි යන අරුතින් පාති නම් වේ. සිතය. ‘චිත්තෙන නීයති ලොකො චිත්තෙන පරිකස්සති’ ‘ලෝවැසියා සිතෙන් ගෙනයනු ලැබේ. සිතෙන් එහාට මෙහාට අදියි’ යනුවෙන් කියන ලදී. මෙය කරණකොට ඒ වැටෙන්නාගේ මිදීම වේ යන අරුතින් පාතිමොක්ඛ නම් වේ. මෙය කරණකොට අපා දුකෙහි ද සසර දුකෙහි ද වැටෙයි යන අරුතින් පාති නම් වේ. තණ්හාදි ක්ලේශයයි. ‘තණ්හා ජනෙති පුරිසං’ ‘තණ්හාව පුරුෂයා උපදවයි’ යනුවෙන් ද ‘තණ්හා දුතියො පුරිසො’ පුරුෂයා තණ්හාව දෙවැන්නියකොට ඇත්තේය’ යනුවෙන් ද කියන ලදී. ඒ සංක්ලේශ නම් වූ පාතියෙන් මිදීම වෙයි යන අරුතින් පාතිමොක්ඛ නම් වේ.
නැතහොත් මෙහි වැටෙයි යන අරුතින් පාතීනි නම් වේ. ආධ්‍යාත්මික බාහිර ආයතන හයයි. ‘ඡස්සු ලොකො සමුප්පන්නො ඡස්සු කුබ්බති සන්‍ථවං’ (ඇස ආදී) ආයතන හය හටගත් කල්හි ලොව හටගත්තේ වෙයි. ෂඩායතනයෙහි ආශ්‍රය කරයි යනුවෙන් දෙසන ලදී. ඒ ආධ්‍යාත්මික බාහිර ආයතන සය නම් වූ පාතියෙන් මිදීම යන අරුතින් පාතිමොක්ඛ නම් වේ. නැතහොත් මෙයට හෙළීම යෙදීම ඇත්තේය යන අරුතින් පාතී නම් වේ. සසරය. ඒ පාති නම් වූ සසරින් මිදීම යන අරුතින් පාතිමොක්ඛ නම් වේ. නැතහොත් සියලු ලෝකයට අධිපති භාවයෙන් ධර්මයට අධිපති වූ භාග්‍යවතුන් වහන්සේ ‘පති’ යයි කියනු ලැබෙත්. උන්වහන්සේ කරණකොට මිදෙයි යන අරුතින් මොක්ඛ නම් වේ. පති නම් වූ භාග්‍යවතුන් වහන්සේගේ මිදීම - උන්වහන්සේ විසින් පණවන ලදැයි යන අරුතින් පතිමොක්ඛ නමි. පතිමොක්ඛයම පාතිමොක්ඛ නමි. සියලු ගුණයන්ට මූලභාවයෙන් හෝ උත්තම අර්ථයෙන් ‘පති’ වූයේද එයමය කියන ලද අර්ථයෙන් ‘මොක්‍ඛ’ වූයේ ද එයම යයි ‘පතිමොක්‍ඛ’ නම් වේ. ‘පතිමොක්‍ඛ’ යම ‘පාතිමොක්‍ඛ’ නම් වේ. ‘පාතිමොක්‍ඛන්ති මුඛමෙතං පමුඛමෙතං’ යන විස්තරය කළයුතුය.
නැතහොත් ප යනු ආකාරයයි. අති යනු අච්චන්ත (අතිශයින් අධික) යන අර්ථයෙහි නිපාතයයි. එහෙයින් ආකාරවලින් අතිශයින් නිදහස් වෙයි යන අරුතින් පාතිමොක්ඛ නම් වේ. මේ ශීලය වනාහි තමා තදංග වශයෙන් ද සමාධි සහිත වූයේ විෂ්කම්භන වශයෙන් ද ප්‍රඥා සහිත වූයේ සමුච්ඡේද වශයෙන් ද අතිශයින් නිදහස් වෙයි. මිදෙයි යන අරුතින් පාතිමොක්ඛ නම් වේ. වෙන් වෙන් වූ මෝක්‍ෂය හෝ පතිමොක්ඛ නම් වේ. ඒ ඒ ඉක්මවිය යුතු දෝෂයෙන් වෙන් වූ මෝක්‍ෂය යන අර්ථයයි. පතිමොක්ඛයම පාතිමොක්ඛ වේ. නැතහොත් මොක්ඛ යනු නිවනයි. ඒ මෝක්‍ෂයට ප්‍රමුඛ වූයේ ප්‍රතිබිම්බය වූයේ පතිමොක්ඛයයි. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය වනාහි හිරුට අරුණ උදාවීම මෙන් නිවනේ උදාව වූයේ ඊට සමාන වූයේ වෙයි. සුදුසු පරිදි කෙලෙස් නිවන හෙයින් පතිමොක්ඛ නම් වේ. පතිමොක්ඛයම පාතිමොක්ඛ වේ. එසේ නැතහොත් මෝක්‍ෂය වෙත පවතී. මෝක්‍ෂයට අභිමුඛ වේ යන අර්ථයෙන් පාතිමොක්ඛ නමි. පාතිමොක්ඛයම ප්‍රාතිමොක්ඛයයි. මෙසේ පළමුව මෙහිදී පාතිමොක්ඛ ශබ්දයේ අර්ථය දතයුතුය.
මෙය කරණකොට හික්මවයි වසාදමයි යන අරුතින් සංවර නම් වේ. ප්‍රාතිමෝක්‍ෂයම සංවරය වූයේ ප්‍රාතිමෝක්‍ෂ සංවරයයි. අර්ථ වශයෙන් වනාහි ඉක්මවිය යුතු ඒ ඒ ශික්‍ෂාපදවලින් වැලකී සිටීම ද චේතනා ද වේ. ඒ ප්‍රාතිමෝක්‍ෂ සංවරයෙන් යුක්ත වූයේ සමන්නාගත වූයේ ‘පාතිමොක්‍ඛ සංවර සංවුතො’යි කියන ලදී. මේ කාරණය විභංගයෙහි දී -
‘ඉමිනා පාතිමොක්‍ඛ සංවරෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො සම්පන්නො සමන්තාගතො, තෙන වුච්චති පාතිමොක්‍ඛ සංවර සංවුතො’යි කියන ලදී.
විහරති යනු ඉරියව් පැවැත්වීමෙන් වාසය කරයි, ඉරියව් පවත්වයි පවතී. ආචාරගොචර සම්පන්නො යනු උණදඬු දීම ආදී මිථ්‍යාජීවය ද කයේ අසංවර ආදියද නොකිරීමෙන් සියලු ආකාරයෙන් අනාචාරය දුරුකොට කායික නොඉක්මවීම වාචසික නොඉක්මවීම යයි මෙසේ කියන ලද භික්‍ෂුවට ගැලපෙන ආචාර සම්පත්තියෙන් ද වෛශ්‍යාවන් හැසිරෙන තැන් ආදි නුසුදුසු තැන් දුරුකොට පිඩුසිඟා යෑම් ආදී කරුණකට එළඹීමට සුදුසු තැන් නම් වූ ගෝචරයෙන් ද යුක්ත බැවින් ආචාර ගෝචර සම්පන්න වූ.
තවද : යම් භික්‍ෂුවක් ශාස්තෲන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත වූයේ සබ්‍රහ්මචාරින් කෙරෙහි (එක්ව බඹසර හැසිරෙන්නවුන් කෙරෙහි) ගෞරව සහිත වූයේ හිරිඔතප් දෙකින් යුක්ත වූයේ හොඳින් අඳනය අඳින ලද්දේ හොඳින් සිවුර පොරවන ලද්දේ පැහැදීම් ඇතිකරන ලෙස ඉදිරියට යාමෙන් ආපසු ඒමෙන් ඉදිරිපස බැලීමෙන් වටපිට බැලීමෙන් අත්පා දිගහැරිමෙන් හැකිලීමෙන් යටහෙළු ඇස් ඇත්තේ මනා ඉරියව් පැවැත්මෙන් යුක්ත වූයේ සිහිනුවණින් යුක්ත වූයේ අල්පේච්ඡ වූයේ, ලද දෙයින් සතුටු වූයේ, අතිශය විවේකයෙන් යුක්ත වූයේ පිරිස් සමග සම්බන්ධ නොවූයේ, ආභිසමාචාරික සිල් සකස්කොට කරන්නේ ගරුකිරීම් බහුලකොට ඇත්තේ වාසය කරයි ද මෙය ආචාර ගෝචර සම්පන්න යයි කියනු ලැබේ.