7. කාමයෝග සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයෙහි කාමයොග යුත්තො යනු පංචකාමගුණික රාගය කාමයෝගයයි. එයින් යුක්ත වූ = (කාම යෝග යුත්ත) කාමරාගයෙන් යුක්ත වූ පුද්ගලයා. සහමුලින් සිඳ නොදැමූ කාමරාගයට මෙය වචනයකි. රූප අරූප භවයන්හි ඡන්‍දරාගය භවයෝගයයි. එසේම ධ්‍යානයට ඇති ආශාව ද ශාස්වත දෘෂ්ටිය සමග යෙදුණු රාගය ද වෙයි. එයින් යුක්ත වූ = භවයොගයුත්තො පහනොවූ භවරාගය ඇති පුද්ගලයා යන අර්ථයි. ආගාමී යනු බඹලොව සිටියත් පිළිසිඳ ගැනීම් වශයෙන් මේ මිනිස්ලොවට පැමිණෙන ස්වභාවය ඇත්තේ. එහෙයින්ම ආගන්තා ඉත්‍ථත්තං යනුවෙන් වදාළහ. මිනිසත් බව නමැති ඉත්‍ථභාවයට පැමිණෙන ස්වභාව ඇත්තේ, මිනිසුන් අතර උපදින ස්වභාවය ඇත්තේය යන අර්ථයි. මෙහි ඒකාන්තයෙන් කාමරාගය මිනිස්ලොවට පැමිණෙන කාරණයයි. කාමරාගයෙන් යුක්ත යමෙක් ඇද්ද ඔහු ඒකාන්තයෙන් භවරාගයෙන්ද යුක්ත වූයේ වෙයි යනුවෙන් දැක්වීම පිණිස ‘කාමයොග යුත්තො භික්‍ඛවෙ භවයොග යුත්තො’ යනුවෙන් දෙකම එක්කොට දේශනා කරන ලදී.
කාමයොග විසංයුත්තො යන මෙහි අශුභ ධ්‍යානය ද කාමරාගයෙන් වෙන්වීමය. එය පාදකකොට ලබන ලද අනාගාමි මාර්ගය ඒකාන්තයෙන්ම කාමරාගයෙන් වෙන්වීම නම් වෙයි. එහෙයින් තුන්වන මාර්ග ඵලයෙහි සිටියා වූ ආර්ය පුද්ගලයා කාමයෝග විසංයුත්තෝ යනුවෙන් කියන ලදී. යම්හෙයකින් වනාහි රූප අරූප භවයන්හි ඡන්‍දරාගය අනාගාමි මාර්ගයෙන් පහනොවේද එහෙයින් හෙතෙම පහ නො වූ භවයෝග ඇති බැවින් භව යොග යුත්තො යනුවෙන් කියන ලදී. අනාගාමි යනු පිළිසිඳ ගැනීම් වශයෙන් කාමලෝකයට නොපැමිණෙන්නාය. කාමරාගයෙන් වෙන්වීම් වශයෙන්ම ඉතිරි නොකොට ඔරම්භගිය සංයෝජන මුලිනුපුටා දැමීමත් සමග අධ්‍යාත්ම සංයෝජන ඇති බව සිද්ධවීමෙන් මිනිස්ලොවට නො පැමිණෙන්නේ වෙයි. ආපසු නොඑන ස්වභාව ඇත්තේ එහිදී පිරිනිවෙයි. ඉතිරි නැතිවම යමෙකුගේ භවරාගය පහවූයේ වේද ඔහුගේ අවිද්‍යා යෝග ආදී ඉතිරි කෙලෙස් ද ඒ හා එක්ව ඇති බැවින් පහවූයේම වෙයි. ඒ සම්පූර්ණයෙන් ගෙවීගිය භවසංයෝජන ඇති තැනැත්තා අරහං ඛීණාසවො අරහත් යයි ද ක්‍ෂීණාශ්‍රව යයි ද කියනු ලැබේ. එහෙයින් ‘කාමයොග විසංයුත්තො භික්‍ඛවෙ භවයොග විසංයුත්තො අරහං හොති ඛීණාසවො ‘මහණෙනි, කාම යෝගයෙන් වෙන් වූ, භව යෝගයෙන් වෙන්වූ පුද්ගල තෙමේ අරහත් වූ ක්‍ෂීණාශ්‍රවයෙක් වෙයි යනුවෙන් දේශනා කරන ලදී. මෙහි ද චතුර්ථ ධ්‍යානයේ සුඛ-දුක්ඛ-සෝමනස්ස-දෝමනස්ස ප්‍රහාණය මෙන් ද තුන්වන මාර්ගයේ දිට්ඨි-විචිකිච්ඡා-සීලබ්බත පරාමාස සංයෝජන ගෙවීයාම මෙන් ද සතරවන මාර්ගයේ ගුණ කීම පිණිස කාමරාගයෙන් වෙන්වූ ආනාගාමි පුද්ගලයා කියන ලදැයි දතයුතුය. පළමු පදයෙන් සෝවාන් සකදාගාමීන් සමග සියලු පෘථග්ජනයා ගන්නා ලදී. දෙවන පදයෙන් වනාහි සියලු අනාගාමීහුද තෙවන පදයෙන් රහතන් වහන්සේදැයි රහත්බව කුළුගැන්වීමෙන් දේශනාව නිමකළහ.
ගාථාවන්හි උභයං යනු දෙකින්ම, කාමරාගයෙන් ද, භවරාගයෙන්ද යුක්ත වූ යන අර්ථයි. සත්තා ගච්ඡන්ති සංසාරං යනු පෘථග්ජනයෝ සෝවාන් වූවෝ සකදාගාමී වූවෝ යන මේ ත්‍රිවිධ සත්ත්වයෝ කාමරාග, භවරාග පහනොකළ බැවින් සසරට යති. එහෙයින්ම ජාතිමරණ ගාමිනො ජාතියට මරණයට යන්නෝ වෙති. මෙහි ඒකබීජී, කෝලංකෝල, සත්තක්ඛත්තුපරම යන සෝවාන් වූ තිදෙනා අතරින් සත්තක්ඛත්තුපරම පුද්ගලයා සියල්ලට වඩා මෘදුය. හෙතෙම අටවන භවයක් නො උපදවයි. තමාගේ වෙන්කරන ලද ජාති වශයෙන් සැරිසරයි. අනිත් තැනැත්තා ද එසේය. සකදාගාමීන් අතරින් යම් පුද්ගලයෙක් මේ මිනිස්ලොවදී සකදාගාමි මාර්ගයට පැමිණ දෙව්ලොව ඉපිද නැවත මෙහි උපදී ද හෙතෙම වෙන්කරන ලද ජාති වශයෙන් සැරිසරයි. සකදාගාමි වූ යම් කෙනෙක් මිශ්‍ර ක්‍රමයෙන් තොරව ඒ ඒ තන්හි දෙවියන් අතරෙහිම හෝ මිනිසුන් අතරෙහිම හෝ උපදිත් ද ඔවුහු ඉහළ මාලිගය ලැබීම පිණිස (ශ්‍රද්ධාදී) ඉන්‍ද්‍රියයන් මෝරා යනතුරු නැවත නැවත ඉපදීම් වශයෙන් සැරිසරත්මය. පෘථග්ජනයන් ගැන කිවයුත්තක්ම නැත. සියලු භව සංයෝජනයන් ගෙවී නැති බැවිනි. එහෙයින් -
කාමයොගෙන සංයුත්තා භවයොගෙන චූභයං
සත්තා ගච්ඡන්ති සංසාරං ජාතිමරණගාමිනො
‘කාම යෝගයෙන් ද භවයෝගයෙන් ද යන දෙපරිද්දෙන්ම යුක්ත වූ සත්ත්වයෝ ජාතියට මරණයට යන්නාහු සසරට යති’ යනුවෙන් දේශනා කරන ලදී.
කාමෙ පහනත්‍වාන යනු කාමරාග නම් වූ ක්ලේශකාමයන් අනාගාමි මාර්ගයෙන් දුරුකොට. ඡින්නසංසයා යනු මුලිනුපුටා දැමූ සැක ඇත්තාහු, එය ද සෝතාපත්ති මාර්ගයෙන්මය. සතරවන මාර්ගයේ ගුණ කීම පිණිස මෙසේ දේශනා කරන ලදී. රහතන් වහන්සේ වනාහි මෙහි ඡින්නසංසයා යනුවෙන් අදහස් කරන ලදහ. එහෙයින්ම ඛීණමානපුනබ්භවා යනුවෙන් වදාළහ. සියලු ආකාරයෙන් ගෙවුණු නවවිධ මානය ද මතු පුනර්භවය ද ඔවුන්ට ඇත්තේය යන අරුතින් ඛීණමාන පුනබ්භව නම් වෙති. මෙහි මානය ගැනීමෙන් ඒ හා එක්ව ඇති බැවින් හෝ ලක්‍ෂණ වශයෙන් හෝ සතරවන මාර්ගයෙන් දුරුකළ යුතු සියලු කෙලෙස් ගන්නා ලද්දේ වෙයි. ගෙවුණු මානය ඇති බැවින් ද සවුපාදිසේස නිර්වාණධාතුව කියන ලද්දේ වෙයි. ගෙවුණු පුනර්භවය ඇති බැවින් අනුපාදිසේස නිබ්බාණ ධාතුව කියන ලද්දේ වෙයි. සෙස්ස පහසුවෙන් දත හැක්කේමය.
සත්වන සූත්‍රයයි.
8. කල්‍යාණශිල සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයෙහි - කල්‍යාණ සීලො යනු සුන්දර සිල් ඇත්තා වූ, සමෘද්ධිමත් සිල් ඇත්තා වූ, පිරිපුන් සිල් ඇත්තා වූ. එහි සීලය සම්පූර්ණ වීම, සීල විපත්තියෙහි ආදීනව මැනවින් දැකීමෙන් ද සීල සම්පත්තියෙහි අනුසස් දැකීමෙන්දැයි කරුණු දෙකකින් සිදුවෙයි. මෙහි වනාහි සියලු බන්‍ධන (කෙලෙස්) වලින් මිදුණු සියලු ආකාරයෙන් පරිපූර්ණ මාර්ග ශීලයේ ද ඵල ශීලයේ ද වශයෙන් කල්‍යාණ බව දතයුතුය. කල්‍යාණ ධම්මො යන්නෙන් සියලු බෝධිපාක්‍ෂික ධර්ම අදහස් කරන ලදී. එහෙයින් ඔහුට කල්‍යාණ වූ සතිපට්ඨානාදී බෝධිපාක්‍ෂික ධර්ම ඇත්තේය යන අරුතින් කල්‍යාණ ධම්මො නම් වෙයි.
කල්‍යාණ පඤ්ඤො යනු ද මාර්ගඵල ප්‍රඥා වශයෙන්ම කල්‍යාණ ප්‍රඥා ඇත්තා වූ. ලෝකෝත්තර ශීලාදී ධර්මම වෙනස්නොවන ස්වභාව ඇති බැවින් ඒකාන්ත කල්‍යාණ නම් වෙයි. කිසියම් කෙනෙක් වනාහි ‘චතුපාරිශුද්ධි ශීල වශයෙන් කල්‍යාණ සීලය, විදර්ශනා මාර්ග ධර්ම කල්‍යාණ ධර්මය, මාර්ගඵල ප්‍රඥා වශයෙන් කල්‍යාණ ප්‍රඥාව’ යයි කියති. ඇතැමෙක් ‘ඒවා අශෛක්‍ෂ වූ ම ශීල-සමාධි-ප්‍රඥා යයි කියති. අන් පිරිසක් ‘සෝවාන්, සකදාගාමි අයගේ මාර්ගඵල ශීලය කල්‍යාණ ශීලය නම් වේ. එහෙයින් ‘කල්‍යාණසීලො’ යන මෙයින් සෝවාන් පුද්ගලයා ද සකදාගාමි පුද්ගලයා ද ගන්නා ලද්දාහුම වෙති. ඔවුහු ශීලයන් සම්පූර්ණ කරන්නේ නම් වෙති. අනාගාමී මාර්ගඵල ධර්ම ද අග්‍රමාර්ග ධර්ම ද කල්‍යාණ ධර්ම නම් වේ. එහි බෝධිපාක්‍ෂික ධර්ම භාවනාවෙන් පරිපූර්ණ බවට යයි. එහෙයින් ‘කල්‍යාණධම්මො’ යන මෙයින් තුන්වන මාර්ගස්ථයාගේ පටන් ආර්යයෝ තිදෙනා ගන්නා ලද්දාහු වෙති. ප්‍රඥාවේ මුදුන් පැමිණීමෙන් අග්‍රඵලයෙහි ප්‍රඥාව කල්‍යාණ ප්‍රඥා නම් වේ. එහෙයින් ප්‍රඥාවෙන් විපුලත්වයට පත් රහතන්වහන්සේ ‘කල්‍යාණපඤ්ඤො’ යයි කියන ලදී. මෙසේම පුද්ගලයෝ ගන්නා ලද්දාහු වෙති’යි කියති. මේ විස්තරයෙන් ඇති ප්‍රයෝජනය කුමක් ද? ‘අග්‍ර වූ මාර්ගඵල ධර්ම මෙහි කල්‍යාණ ශීලාදියයි කියන ලදී’ යන මෙය අපගේ රුචියයි. මේ ධර්ම විභාගයෙන් පුද්ගල විභාගයයි. ධර්ම විභාගයක් නොවේ.