6. කාමෝපපත්ති සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයෙහි කාමුප්පත්තියො යනු කාම ප්‍රතිලාභ හෝ කාම ප්‍රතිසේවනයෝය. පච්චුපට්ඨිතකාමා යනු නිරතුරු කාම, නිරතුරු අරමුණු - මිනිසුන් මෙනි. මිනිස්සු වනාහි තම සිත බැඳුණු වස්තුවෙහි (තමාගේ) බලය පවත්වති. යම්තැනක බැඳුණු සිත් ඇත්තාහු වෙත් ද සියයක් ද දහසක් ද දී ඒ කාන්තාවම ගෙනවුත් නිතර පරිභෝග (පරිහරණය) කරති (බැඳුණු සම්පත බුදිති.) ඇතැම් දෙවියෝ ද (එසේය). චාතුම්මහාරාජිකයේ පටන් දෙව්ලෝ සතරෙහි වාසය කරන දෙවිවරු බැඳුණු වස්තුවෙහිම බලය පවත්වති. මෙහිදී පංචසිඛ කථාවස්තුව නිදසුනකි. එසේම අපායට, නිරයට අයත් ඇතැම් සත්ත්වයින් හැර සෙසු අපාය සත්ත්වයෝ ද බැඳුණු වස්තුවෙහිම (තමාගේ) බලය පවත්වති. මාළුවා තමාගේ මාළුදෙන සමග ද කැසුබුවා තමාගේ කැසුබුදෙන සමගදැයි මෙසේ සියලු තිරිසන්නු ද ප්‍රේතයෝ ද විනිපාතිකයෝ ද එසේය. එහෙයින් නිරයට අයත් සත්ත්වයන් හැර සෙසු අපාය සත්ත්වයන් ගෙන තුසිත දෙවිවරු තෙක් මේ සත්ත්වයෝ පච්චුපට්ඨිත කාම ඇත්තෝ නම් වෙති. නිම්මාණරතිනො යනු තමන් මවාගත් නිර්මාණයෙහි ඇලීම ඔවුන්ට ඇත යනුවෙන් නිර්මාණරති නම් වෙති. ඔවුහු නිල් කහ ආදී වශයෙන් යම්බඳු රූපයකට කැමති වෙත්ද එවැන්නක් මවාගෙන ඇලෙති. ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේ ඉදිරියෙහි වූ මනාපකායික දෙවිවරුන් මෙනි. පරනිම්මිතවසවත්තිනො යනු අනුන් විසින් මවන ලද කාමයන්හි බලය පවත්වති යන අරුතින් පරනිර්මිත වසවර්තීහු නම් වෙති. ඔවුන්ගේ සිත දැන අන්‍යයෝ කැමති පරිදි කාම වස්තු නිර්මාණය කරති. ඔවුහු එහි බලය පවත්වති. ඔවුහු කෙසේ අනිකකුගේ සිත දනිත් ද? ඇසුරුකිරීම් වශයෙන් දනිති. යම්සේ දක්‍ෂ අරක්කැමියා අනුභව කරන රජුට යමක් යමක් රුචි වේද, ඒ ඒ දෙය දනියි. මෙසේ ස්වභාවයෙන් කැමති අරමුණ දැන එබන්දක්ම නිර්මාණය කරති. ඔවුහු එහි බලය පවත්වති. මෛථුන සේවනාදී වශයෙන් කාමයන් අනුභව කරති. ඇතැමෙක් වනාහි ‘සිනාසීම් පමණකින් ද බැලීම් පමණකින් ද වැළඳගැනීම් පමණකින් ද අත් අල්ලාගැනීම් පමණකින් ද ඔවුන්ගේ කාම කටයුත්ත ඉටුවේය’යි කියති. එය අටුවාවෙහි ‘එය වනාහි නැතැයි’ ‘ප්‍රතික්‍ෂේප කරන ලදී. කයින් ස්පර්ශ නොකරන්නහුට ඵොට්ඨබ්බ කාම කටයුත්තක් සිදු නොවේ. කාමාවචර දෙව්ලෝ හයෙහි දෙවියන්ගේ කාමයෝ ප්‍රකෘති ස්වභාවයෙන්ම යුක්ත වෙති. එය -
ඡ එතෙ කාමාවචරා සබ්බකාම සමංගිනො
සබ්බසං එකසංඛාතං ආයු භවති කිත්තක’න්ති
සබ්බසං එකසංඛාතං ආයු භවති කිත්තක’න්ති
සියලු කාමයන්ගෙන් යුක්ත වූ ඒ කාමාවචර දෙව්ලෝ හයක් ඇත. (ප්‍රකෘති ස්වභාවයෙන් යුක්තවීම් වශයෙන්) එක් ආකාර ලෙස කියන ලද දෙව්ලෝ සියල්ලේ ආයුෂ කොපමණ වේද, යනුවෙන් කියන ලදී.
ගාථාවන්හි යෙ චඤ්ඤෙ යනු කියන ලද ආකාර ඇති දෙවියන් සමග අනිකුත් කාමභෝගී යම් මිනිස්සු වෙත් ද අපායට එළඹි ඇතැමෙක් වෙත්ද ඒ සියල්ලෝම. ඉත්‍ථභාවඤ්ඤථාභාවං ලබන ලද මේ ආත්මභාවයද උත්පත්ති භවන්තර නම් වූ මෙයින් මතු අනික් ආත්ම භාවදැයි (මේ ආත්මයත් මතු ආත්මයත්) යන දෙආකාර සංසාරය. නාතිවත්තරෙ නො ඉක්මවත්. සබ්බෙ පරිච්චජෙ කාමෙ යනු දිව්‍ය ආදි ප්‍රභේද ඇති සියලු කාමයන් වන වස්තුකාමයන් ද ක්ලේශ කාමයන් ද දුරුකරන්නේය. ක්ලේශකාමයන් අනාගාමි මාර්ගයෙන් දුරුකරමින්ම වස්තුකාමයන් දුරු කරයි. පියරූප සාතරූපගධිතං යනු ප්‍රිය වූ රූපාදිය කෙරෙහි ඇතිවන සුඛ වේදනා ආස්වාදයෙන් ගිජු වූ. ඡෙත්‍වා සොතං දුරච්චයං අනිත් ශ්‍රෝත (සැඩ දියපහර) වලට වඩා ඉක්මවීමට අපහසු වූ තණ්හා සැඩපහර අර්හත් මාර්ගයෙන් සහමුලින් සිඳ. ඉතිරිය මුලින් කියන ලද ක්‍රමයෙන්මය.
හයවන සුත්‍රයයි.
7. කාමයෝග සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයෙහි කාමයොග යුත්තො යනු පංචකාමගුණික රාගය කාමයෝගයයි. එයින් යුක්ත වූ = (කාම යෝග යුත්ත) කාමරාගයෙන් යුක්ත වූ පුද්ගලයා. සහමුලින් සිඳ නොදැමූ කාමරාගයට මෙය වචනයකි. රූප අරූප භවයන්හි ඡන්‍දරාගය භවයෝගයයි. එසේම ධ්‍යානයට ඇති ආශාව ද ශාස්වත දෘෂ්ටිය සමග යෙදුණු රාගය ද වෙයි. එයින් යුක්ත වූ = භවයොගයුත්තො පහනොවූ භවරාගය ඇති පුද්ගලයා යන අර්ථයි. ආගාමී යනු බඹලොව සිටියත් පිළිසිඳ ගැනීම් වශයෙන් මේ මිනිස්ලොවට පැමිණෙන ස්වභාවය ඇත්තේ. එහෙයින්ම ආගන්තා ඉත්‍ථත්තං යනුවෙන් වදාළහ. මිනිසත් බව නමැති ඉත්‍ථභාවයට පැමිණෙන ස්වභාව ඇත්තේ, මිනිසුන් අතර උපදින ස්වභාවය ඇත්තේය යන අර්ථයි. මෙහි ඒකාන්තයෙන් කාමරාගය මිනිස්ලොවට පැමිණෙන කාරණයයි. කාමරාගයෙන් යුක්ත යමෙක් ඇද්ද ඔහු ඒකාන්තයෙන් භවරාගයෙන්ද යුක්ත වූයේ වෙයි යනුවෙන් දැක්වීම පිණිස ‘කාමයොග යුත්තො භික්‍ඛවෙ භවයොග යුත්තො’ යනුවෙන් දෙකම එක්කොට දේශනා කරන ලදී.
කාමයොග විසංයුත්තො යන මෙහි අශුභ ධ්‍යානය ද කාමරාගයෙන් වෙන්වීමය. එය පාදකකොට ලබන ලද අනාගාමි මාර්ගය ඒකාන්තයෙන්ම කාමරාගයෙන් වෙන්වීම නම් වෙයි. එහෙයින් තුන්වන මාර්ග ඵලයෙහි සිටියා වූ ආර්ය පුද්ගලයා කාමයෝග විසංයුත්තෝ යනුවෙන් කියන ලදී. යම්හෙයකින් වනාහි රූප අරූප භවයන්හි ඡන්‍දරාගය අනාගාමි මාර්ගයෙන් පහනොවේද එහෙයින් හෙතෙම පහ නො වූ භවයෝග ඇති බැවින් භව යොග යුත්තො යනුවෙන් කියන ලදී. අනාගාමි යනු පිළිසිඳ ගැනීම් වශයෙන් කාමලෝකයට නොපැමිණෙන්නාය. කාමරාගයෙන් වෙන්වීම් වශයෙන්ම ඉතිරි නොකොට ඔරම්භගිය සංයෝජන මුලිනුපුටා දැමීමත් සමග අධ්‍යාත්ම සංයෝජන ඇති බව සිද්ධවීමෙන් මිනිස්ලොවට නො පැමිණෙන්නේ වෙයි. ආපසු නොඑන ස්වභාව ඇත්තේ එහිදී පිරිනිවෙයි. ඉතිරි නැතිවම යමෙකුගේ භවරාගය පහවූයේ වේද ඔහුගේ අවිද්‍යා යෝග ආදී ඉතිරි කෙලෙස් ද ඒ හා එක්ව ඇති බැවින් පහවූයේම වෙයි. ඒ සම්පූර්ණයෙන් ගෙවීගිය භවසංයෝජන ඇති තැනැත්තා අරහං ඛීණාසවො අරහත් යයි ද ක්‍ෂීණාශ්‍රව යයි ද කියනු ලැබේ. එහෙයින් ‘කාමයොග විසංයුත්තො භික්‍ඛවෙ භවයොග විසංයුත්තො අරහං හොති ඛීණාසවො ‘මහණෙනි, කාම යෝගයෙන් වෙන් වූ, භව යෝගයෙන් වෙන්වූ පුද්ගල තෙමේ අරහත් වූ ක්‍ෂීණාශ්‍රවයෙක් වෙයි යනුවෙන් දේශනා කරන ලදී. මෙහි ද චතුර්ථ ධ්‍යානයේ සුඛ-දුක්ඛ-සෝමනස්ස-දෝමනස්ස ප්‍රහාණය මෙන් ද තුන්වන මාර්ගයේ දිට්ඨි-විචිකිච්ඡා-සීලබ්බත පරාමාස සංයෝජන ගෙවීයාම මෙන් ද සතරවන මාර්ගයේ ගුණ කීම පිණිස කාමරාගයෙන් වෙන්වූ ආනාගාමි පුද්ගලයා කියන ලදැයි දතයුතුය. පළමු පදයෙන් සෝවාන් සකදාගාමීන් සමග සියලු පෘථග්ජනයා ගන්නා ලදී. දෙවන පදයෙන් වනාහි සියලු අනාගාමීහුද තෙවන පදයෙන් රහතන් වහන්සේදැයි රහත්බව කුළුගැන්වීමෙන් දේශනාව නිමකළහ.