5. උපපරීක්ෂා සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයෙහි තථා තථා යනු ඒ ඒ ආකාරයෙන් උප්පරික්‍ඛෙය්‍ය යනු විමසන්නේ හෝ කිරා බලන්නේය. යථා යථාස්ස උප්පරික්‍ඛතො යනු යම් යම් අයුරකින් විමසා බලන්නා වූ මේ භික්‍ෂුවගේ. බහිද්ධාචස්ස විඤ්ඤාණං අවික්‍ඛිත්තං අවිසටං යනු බාහිර රූපාදී අරමුණෙහි උපදින විසිරීම නැති බැවින් වික්‍ෂිප්ත නොවූ, සන්සිඳුනා වූ - එහෙයින්ම නොවිසිර පවතින්නේ වෙයි. එයින් ‘මහණෙනි, යම් යම් අයුරකින් සංස්කාර ධර්මයන් විමසා බලන්නා වූ ආරම්භ කරන ලද විදර්ශනාව ඇති මේ භික්‍ෂුවට මුලදී සන්සුන් වූ ආකාරය සැලකීම් වශයෙන් සමථ නිමිත්ත ගෙන, සකස්කොට නිරතුරුව විමසුම් නුවණ පවත්වන්නා වූ තමාගේ විදසුන් සිත කමටහනෙන් බාහිර රූපාදී අරමුණක ඉපදීමක් නොවන්නේද ඉතා දැඩිව ඇරඹූ වීර්යය ඇති බැවින් උද්ධච්ච (විසිරීම්) පක්‍ෂයෙහි නොවන්නේ ද, ඒ ඒ ආකාරයෙන් භික්‍ෂුව විමසා බලන්නේය, කිරා බලන්නේය’ යන මෙය කියන ලදී.
අජඣත්තං අසණ්ඨිතං යනු යම්හෙයකින් මඳ වූ වීර්යය ඇති කල්හි සමාධිය බලවත් බැවින් කුසීතකමෙන් මැඩපැවැත්වීමෙන් ‘අජ්ඣත්තං’ ගෝචර අධ්‍යාත්මය නම් වූ කර්මස්ථාන අරමුණෙහි හැකිලීම් වශයෙන් සිටි බැවින් සිටියේ නම් වෙයි. වීර්යය සම ලෙස යෙදීමෙන් නොසිටියේ නම් වෙයි. වීථියට පිළිපන්නේ වෙයි. එහෙයින් යම් යම් අයුරකින් විමසා බලන්නා වූ ඔහුගේ සිත අධ්‍යාත්මය නම් වූ කමටහන් අරමුණෙහි නොපිහිටියේ වන්නේ ද වීථියට පිළිපන්නේ වන්නේ ද ඒ ඒ ආකාරයෙන් විමසන්නේය. අනුපාදාය න පරිතස්සෙය්‍ය යනු යම් යම් අයුරකින් විමසා බලන්නා වූ මේ භික්‍ෂුවගේ ‘මේ තෙමේ මම වෙමි. මේ තෙමේ මගේ ආත්මය වෙති’යි තෘෂ්ණා දෘෂ්ටි ගැනීම් වශයෙන් රූපාදිය අතුරෙන් කිසි සංස්කාරයක් නොගෙන එහෙයින්ම තෘෂ්ණා දෘෂ්ටි ගැනීම් වශයෙන් තැති ගැනීමක් නොවන්නේය. ඒ ඒ අයුරින් විමසන්නේය යනු සම්බන්ධයි. කෙසේ විමසන්නා වූ භික්‍ෂුවට මේ තුන් ආකාරය ඇතිවන්නේද? උද්ධච්ච පක්‍ෂයට අයත් ධර්ම ද කුසීත පක්‍ෂයට අයත් ධර්ම ද දුරුකරමින් වීර්යය සමව යොදා, කල් ඇතිවම විදර්ශනාවට අයත් උපක්ලේශවලින් සිත පිරිසිදුකොට, යම්සේ මැනවින් විදර්ශනා ඥානයට විදර්ශනා වීථියට බැසගනියි ද, එසේ විමසන්නා වූ භික්‍ෂුවට.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ චතුස්සත්‍ය කර්මස්ථානික භික්‍ෂුවගේ පිළිවෙළින් ප්‍රතිපදා ඥාන දර්ශන විශුද්ධිය පිණිස අරඹන ලද ඉතා දැඩි වීර්යය, ඉතා ලිහිල් වීර්යය යන විදර්ශනා උපක්ලේශවලින් සිත පිරිසිදු කරන උපාය දක්වා දැන් එසේ පිරිසිදු කරන ලද විදර්ශනා ඥානය ඇති කල්හි නොබෝ කලකින්ම විදර්ශනාව මාර්ගයෙන් ගළපා සියලු සසරදුක් ඉක්මවීම පිණිස පවතීයයි දක්වමින් ‘බහිද්ධා චස්ස භික්‍ඛවෙ විඤ්ඤාණං’ යනාදිය වදාළහ. එය කියන ලද අයුරින්මය. ‘ආයතිං ජාති ජරා-මරණ දුක්‍ඛ සමුදය සම්භවො න හොති’ ‘මත්තෙහි ජාති-ජරා-මරණ යන දුක් හටගැන්මක් නොවේ’ යනුවෙන් යමක් කියන ලද ද මේ එහි අර්ථයයි: මෙසේ විදර්ශනාව මාර්ගයෙන් ගළපා මාර්ග පිළිවෙළින් අග්‍ර මාර්ගයෙන් ඉතිරි නොකොට කෙලෙස් ගෙවා දැමූ කල්හි මතු අනාගතයෙහි ජාතිය ජරාව මරණය යන සියලු සසර දුක් හටගැනීම (සමුදය) නම් වූ ඉපදීම (සම්භවය) නොවෙයි. නැතහොත් ජාතිය නම් වූ දුක්ඛ සමුදය ද ජරාමරණ නම් වූ දුක්ඛ සම්භවය ද නොවෙයි.
ගාථාවෙහි සත්තසංගප්පහීනස්ස යනු තණ්හා සංග, දිට්ඨි සංග, මානසංග, කෝධ සංග, අවිජ්ජා සංග, කිලෙස සංග, දුශ්චරිත සංග යන මේ සත් සංග ප්‍රහීණ බැවින් සත්සංග ප්‍රහීණ කළා වූ. ඇතැමෙක් වනාහි ‘අනුසය හතම සංග හතය’යි කියති. නෙත්ති ඡින්නස්ස යනු සිඳ දමන ලද භව නෙත්ති (තණ්හාව) ඇති. වික්‍ඛීණො ජාති සංසාරො යනු නැවත නැවත ඉපදීම් වශයෙන් පැවති, ඉපදීමට හේතුව වූ බැවින් ද ඉපදීම (ජාතිය) වූ සසර යන අරුතින් ජාති සංසාරයයි. එය භව නෙත්තිය සිඳ දැමීමෙන් ක්‍ෂීණ වූයේ වෙයි. එහෙයින්ම ඔහුට පුනර්භවයක් නැත.
පස්වන සූත්‍රයයි.
6. කාමෝපපත්ති සූත්‍ර වර්ණනාව
සයවන සූත්‍රයෙහි කාමුප්පත්තියො යනු කාම ප්‍රතිලාභ හෝ කාම ප්‍රතිසේවනයෝය. පච්චුපට්ඨිතකාමා යනු නිරතුරු කාම, නිරතුරු අරමුණු - මිනිසුන් මෙනි. මිනිස්සු වනාහි තම සිත බැඳුණු වස්තුවෙහි (තමාගේ) බලය පවත්වති. යම්තැනක බැඳුණු සිත් ඇත්තාහු වෙත් ද සියයක් ද දහසක් ද දී ඒ කාන්තාවම ගෙනවුත් නිතර පරිභෝග (පරිහරණය) කරති (බැඳුණු සම්පත බුදිති.) ඇතැම් දෙවියෝ ද (එසේය). චාතුම්මහාරාජිකයේ පටන් දෙව්ලෝ සතරෙහි වාසය කරන දෙවිවරු බැඳුණු වස්තුවෙහිම බලය පවත්වති. මෙහිදී පංචසිඛ කථාවස්තුව නිදසුනකි. එසේම අපායට, නිරයට අයත් ඇතැම් සත්ත්වයින් හැර සෙසු අපාය සත්ත්වයෝ ද බැඳුණු වස්තුවෙහිම (තමාගේ) බලය පවත්වති. මාළුවා තමාගේ මාළුදෙන සමග ද කැසුබුවා තමාගේ කැසුබුදෙන සමගදැයි මෙසේ සියලු තිරිසන්නු ද ප්‍රේතයෝ ද විනිපාතිකයෝ ද එසේය. එහෙයින් නිරයට අයත් සත්ත්වයන් හැර සෙසු අපාය සත්ත්වයන් ගෙන තුසිත දෙවිවරු තෙක් මේ සත්ත්වයෝ පච්චුපට්ඨිත කාම ඇත්තෝ නම් වෙති. නිම්මාණරතිනො යනු තමන් මවාගත් නිර්මාණයෙහි ඇලීම ඔවුන්ට ඇත යනුවෙන් නිර්මාණරති නම් වෙති. ඔවුහු නිල් කහ ආදී වශයෙන් යම්බඳු රූපයකට කැමති වෙත්ද එවැන්නක් මවාගෙන ඇලෙති. ආයුෂ්මත් අනුරුද්ධ තෙරුන් වහන්සේ ඉදිරියෙහි වූ මනාපකායික දෙවිවරුන් මෙනි. පරනිම්මිතවසවත්තිනො යනු අනුන් විසින් මවන ලද කාමයන්හි බලය පවත්වති යන අරුතින් පරනිර්මිත වසවර්තීහු නම් වෙති. ඔවුන්ගේ සිත දැන අන්‍යයෝ කැමති පරිදි කාම වස්තු නිර්මාණය කරති. ඔවුහු එහි බලය පවත්වති. ඔවුහු කෙසේ අනිකකුගේ සිත දනිත් ද? ඇසුරුකිරීම් වශයෙන් දනිති. යම්සේ දක්‍ෂ අරක්කැමියා අනුභව කරන රජුට යමක් යමක් රුචි වේද, ඒ ඒ දෙය දනියි. මෙසේ ස්වභාවයෙන් කැමති අරමුණ දැන එබන්දක්ම නිර්මාණය කරති. ඔවුහු එහි බලය පවත්වති. මෛථුන සේවනාදී වශයෙන් කාමයන් අනුභව කරති. ඇතැමෙක් වනාහි ‘සිනාසීම් පමණකින් ද බැලීම් පමණකින් ද වැළඳගැනීම් පමණකින් ද අත් අල්ලාගැනීම් පමණකින් ද ඔවුන්ගේ කාම කටයුත්ත ඉටුවේය’යි කියති. එය අටුවාවෙහි ‘එය වනාහි නැතැයි’ ‘ප්‍රතික්‍ෂේප කරන ලදී. කයින් ස්පර්ශ නොකරන්නහුට ඵොට්ඨබ්බ කාම කටයුත්තක් සිදු නොවේ. කාමාවචර දෙව්ලෝ හයෙහි දෙවියන්ගේ කාමයෝ ප්‍රකෘති ස්වභාවයෙන්ම යුක්ත වෙති. එය -