4. අග්නි සූත්‍ර වර්ණනාව
සතරවන සූත්‍රයෙහි - දවන අර්ථයෙන් ගින්න (අග්ගි) නම් වේ. රාගයම ගින්න වූයේ රාගග්ගි නම් වේ. රාගය උපදිමින් සත්ත්වයන් දවයි. එහෙයින් ගින්න (අග්ගි) යි කියනු ලැබේ. අනිත් (දෝස-මෝහ) දෙකෙහි ද මේ ක්‍රමයමයි. එහි යම් සේ ගින්න යම් ඉන්ධනයක් නිසා උපදී ද ඒ ඉන්ධනය දවයි. මහත් දැවීමක් ද වෙයි. එසේම ඒ රාගාදිය ද යම් සන්තානය තමාම උපන්නේ ඒ සන්තානය දවයි. මහත් දැන්වීමක් ද වෙයි. නිවීමට අපහසු වෙයි. ඒ (රාග-දෝස-මෝහ) අතරින් රාග දාහයෙන් තැවුණු හදවත් ඇති කැමති ලාභ නොලැබීමේ දුකෙන් මරණයට පත් වූ සත්ත්වයන්ගේ ප්‍රමාණයක් නැත. පළමුව මේ රෝගය පිළිබඳ දවන බවයි. (රාගයේ දැවීමයි). දෝසය පිළිබඳ දැවීමෙන් විශේෂයෙන් මනෝපදෝසික දෙවියෝ ද මෝහය පිළිබඳ දැවීමෙන් ඛිඩ්ඩාපදෝසික දෙවිවරු ද නිදසුන්ය. මෝහ වශයෙන් වනාහි ඔවුන්ගේ සිහිමුළාවීම වෙයි. එහෙයින් ක්‍රීඩා වශයෙන් ආහාර ගන්නා වේලාව ඉක්මවන්නාහු කලුරිය කරති. පළමුව මේ රාගාදියේ මෙලොව දවන ස්වභාවයයි. පරලොව වනාහි නිරය ආදියෙහි ඉපිද තැවීම් වශයෙන් වඩාත් දරුණු වූයේ ද ඉවසීමට අපහසු වූයේ ද වෙයි. මේ අර්ථයම ආදිත්ත පරියායෙන් ද පැහැදිලි කළ යුතුය.
ගාථාවන්හි කාමෙසු මුච්ඡිතෙ යනු වස්තුකාමයන්හි කාමයට වැටීම් වශයෙන් මුළාවට බාල බවට ප්‍රමාදයට වැරදි හැසිරීමට පැමිණියා වූ. ඛ්යාපන්නෙ දුෂ්ට සිත් ඇත්තේ. දහති යනුවෙන් සම්බන්ධ වේ. නරෙ පාණාතිපාතිනො යන මෙය ද්වේෂ ගින්න පිළිබඳවය. අරියධම්මෙ අකොවිදෙ යනු යමෙක් ස්කන්ධ ආයතනාදියෙහි සියලු ආකාරයෙන් ඉගෙනීමෙන් විමසීමෙන් මෙනෙහි කිරීම් රහිත ආර්ය ධර්මය පිළිබඳ අදක්ෂ වූවාහු ද ඔවුහු මුළාවෙන් මැඩගත්තාහු විශේෂයෙන් මුළාවට පත්වූවාහු නම් වෙතියි කියන ලදී. එතෙ අග්ගි අජානන්තා යනු මේ රාග ගිනි ආදිය මෙලොවෙහිදී ද පරලොවෙහිදී ද දවන්නේය යනුවෙන් නොදන්නා වූ. පිරිසිඳ අවබෝධ කිරීම් වශයෙන් ද (පරිඤ්ඤාභිසමය වශයෙන්) ප්රහාණය අවබෝධ කිරීම් වශයෙන් ද (පහාණාභිසමය වසෙන) අවබෝධ නොකරන්නා වූ. සක්කායාභිරතා යනු සක්කාය නම් වූ පංච උපාදානස්කන්ධයෙහි තණ්හා-දිට්ඨි-මාන යන සතුටට හේතුවන කරුණුවලින් ඇලුණු. වඩ්ඪයන්ති යනු නැවත නැවත ඉපදීමෙන් වඩති, රැස්කරති. නිරයං යනු අටවැදෑරුම් මහා නිරය සොළොස් (16) වැදෑරුම් උස්සද නිරය යන සියල්ලම නිරයයි. තිරච්ඡානඤ්ච යොනියො යනු තිරිසන් යෝනිය ද අසුරං යනු අසුරකය. පෙත්තිවිසයඤ්ච ප්‍රේත ලෝකය ද වඩ්ඪයන්ති යනුවෙන් සම්බන්ධ වෙයි.
මෙපමණකින් රාග ගිනි ආදියේ මෙළොව ද පරලොව ද දවන ස්වභාවය දැක්වීම් වශයෙන් සසර දක්වා ඒවා නිවීමෙන් නිවන දක්වන්නට ‘යෙ ච රත්තින්දිවා’ යනාදිය දේශනා කරන ලදී. එහි යුත්තා යනු භාවනාවෙහි යෙදීම් වශයෙන් යෙදුනාහු. කොතැන්හිද? සම්මා සම්බුද්ධසාසනෙ සම්මා සම්බුදු සසුනෙහිය. එයින් අනිත් සසුනක රාග ගිනි ආදිය නිවීම නැති බව දක්වයි. එසේ අනිකකට පොදු නොවන ඒවා නිවන ආකාරය වූ අශුභ කර්මස්ථානය කෙටියෙන් දක්වමින් -
තෙ නිබ්බාපෙන්ති රාගග්ගිං නිච්චං අසුභසඤ්ඤිනො
දොසග්ගිං පන මෙත්තාය නිබ්බාපෙන්ති නරුත්තමා
මොහග්ගිං පන පඤ්ඤාය යායං නිබ්බෙධගාමිනී’ති
දොසග්ගිං පන මෙත්තාය නිබ්බාපෙන්ති නරුත්තමා
මොහග්ගිං පන පඤ්ඤාය යායං නිබ්බෙධගාමිනී’ති
‘නිතර අශුභ සංඥා ඇති ඔවුහු රාග ගින්න නිවති. ඒ නරෝත්තමයෝ මෛත්‍රී භාවනාවෙන් ද්වේෂ ගින්න ද යම් මේ කෙලෙස් කඳු විනිවිද යන ප්‍රඥාවක් වේ නම් ඒ ප්‍රඥාවෙන් මෝහ ගින්න ද නිවති’
යනුවෙන් වදාළහ. එහි අසුභ සඤ්ඤිනො යනු දෙතිස් ආකාර වශයෙන් ද උද්ධුමාතක (ඉදිමුණු මළසිරුර) වශයෙන් ද අශුභ භාවනාවෙහි යෙදීමෙන් අශුභ සංඥා ඇති. මෙත්තාය යනු ‘ඔහු මෛත්‍රීසහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි’ යනුවෙන් කියන ලද මෛත්‍රී භාවනාවෙන්. මෙහිදී අශුභ ධ්‍යානය ද පාදකකොට උපදවන ලද අනාගාමි මාර්ගයෙන් රාග දෝස ගිනි නිවීම දතයුතුය. පඤ්ඤාය යනු විදර්ශනා ප්‍රඥාව සහිත මාර්ග ප්‍රඥාවෙන්. එහෙයින්ම ‘යා යං නිබ්බෙධගාමිනී’ යනුවෙන් වදාළහ. ඒ ප්‍රඥාව වනාහි කෙළෙස් කන්ද විනිවිද යයි පවතියි යන අරුතින් නිබ්බෙධගාමිනී යි කියනු ලැබේ. අසෙසං පරිනිබ්බන්ති යනු අර්හත් මාර්ගයෙන් ඉතිරි නොකොට රාග ගිනි ආදිය නිබ්බාපෙත්වා නිවා සවුපාදිසේස නිබ්බාණ ධාතුවෙහි සිටියාහු ප්‍රඥා විපුලත්වයට පැමිණීමෙන් නිපකා නිපද වූවාහු කලින්ම සම්‍යක්ප්‍රධාන වීර්යයෙන් සියලු ආකාරයෙන් කුසීතකම මනාව ප්‍රහීණ වූ බැවින් ඵලසමාපත්තියට සමවැදීමෙන් ද පසුබට නොවූ බැවින් ද රත්තින්දිව මතන්දිතා රෑ දාවල් දෙක්හි මැලි නොවූ. අවසාන සිත නිරුද්ධ වීමෙන් අනුපාදිසේස නිබ්බාණ ධාතුවෙන් අසෙසං පරිනිබ්බති ඉතිරි නොකොට පිරිනිවෙති. එයින් ද අසෙසං ඉතිරි නැතිව වට්ටදුක්ඛං අච්චගූං සසර දුක ඉක්මවූවාහුය.