3. සඞ්ඝාටිකර්ණ සූත්‍ර වර්ණනාව
තුන්වන සූත්‍රයෙහි සංඝාටිකණ්ණෙ යනු සිවුරෙහි කෙළවර. ගහෙත්‍වා අල්ලාගෙන. අනුබන්‍ධො අස්ස අනුගමනය කරන්නේ වේද, මහණෙනි, මේ සසුනෙහි ඇතැම් භික්‍ෂුවක් තමාගේ අතින් මා විසින් පොරවන ලද සුගතමහා සිවුරෙහි කෙළවර අල්ලන්නාක් මෙන් මා අනුව යන්නේ ද මෙසේ මට වඩාත් සමීපව වාසය කරන්නේය යන මෙය කියන ලදී. පාදෙ පාදං නික්‍ඛිපන්තො යනු යන්නා වූ මගේ පියවරෙහි පියවර තැබූ තැන (මවිසින්) පා එසවූ සැණින් තමාගේ පාදය තබමින් කරුණු දෙකින්ම සිටීම ගමන ආදියෙහි (මා) අත නොහැර හැමකල්හි මා සමීපයෙහිම වාසය කරන්නේය යන මේ අදහස් දක්වයි. සෙ ආරකාව මය්හං අහඤ්ච තස්ස යනු ඒ භික්‍ෂුව මා විසින් කියන ලද ප්‍රතිපදාව නොපුරන්නේ මගේ දුරෙහිම වේ. (මගෙන් ඈත් වූයේම වෙයි.) මම ද ඔහුගේ දුරෙහිම වෙමි. (මම ද ඔහුගෙන් ඈත් වූයේම වෙමි. මෙයින් මසැසින් තථාගතයන් වහන්සේ දැකීම, රූපකාය ඇතුළත් කිරීම කරුණක් නොවේ. නුවණැසින්ම දැකීම, ධර්මකාය ඇතුළත් කිරීම ප්‍රමාණයයි දක්වයි. එහෙයින් ‘ධම්මං හි සො භික්‍ඛවෙ භික්‍ඛු නපස්සති, ධම්මං අපස්සන්තො න මං පස්සති’ ‘මහණෙනි, ඒ භික්‍ෂුව ධර්මය නොදකී. ධර්මය නො දකින්නේ මා නොදකී’ යනුවෙන් වදාළහ. එහි ධම්මො ධර්මය නම් නවවිධ ලෝකෝත්තර ධර්මයයි. එය ද අභිධ්‍යාදියෙන් දූෂිත වූ සිතෙන් දක්නට නොහැකිය. එහෙයින් ධර්මය නොදැකීමෙන් ධර්මකාය නො දකී.
එහෙයින් ‘කින්තෙ වක්කලි ඉමිනා පූතිකායෙන දිට්ඨෙන, යො ඛො වක්කලි ධම්මං පස්සති, සො මං පස්සති, යො මං පස්සති, සො ධම්මං පස්සති’ ‘වක්කලි, මේ කුණු කය දැකීමෙන් ඔබට කවර ප්‍රයෝජනයක් ද, වක්කලි යමෙක් ධර්මය දකී ද, ඔහු මා දකී. යමෙක් මා දකී ද, ඔහු ධර්මය දකී’ යනුවෙන්ද
‘ධම්මභූතො බ්‍රහ්මභූතො’ ‘ධර්මභූත බ්‍රහ්මභූත’ යනුවෙන් ද
‘ධම්මකායො ඉතිපි, බ්‍රහ්මකායො ඉතිපි’ ධර්මකාය යි ද, බ්‍රහ්ම කාය යි ද යනාදිය කියන ලදී.
යොජන සතෙ යනු යොදුන් සියයක් පෙදෙසෙහි, යොදුන් සියයක් මත්තෙහි යන අර්ථයි. ඉතිරිය කියන ලද ආකාරයට විරුද්ධ ආකාරයෙන් දතයුතුය. ආර්ය මාර්ගය ලැබීම් වශයෙන් ඔහුගේ අභිධ්‍යාව බහුල කොට නැති බව ආදිය දතයුතුය.
ගාථාවන්හි මහිච්ඡො කාමයන්හි බහුල රාගය ඇති බැවින් මහත් ආසා ඇත්තේ. විඝාතවා දූෂිත වූ සිත් ඇති බැවින් සත්ත්වයන් කෙරෙහි ක්‍රෝධ වශයෙන් ද මහත් ආසා ඇති බැවින් ආසා කරන දේවල් නොලැබීමෙන් ද දූෂිත සිත් ඇත්තේ. එජානුගො යනු ඒජා නම් වූ තණ්හාවේ දාසයකු මෙන් වී එයට අනුව යන්නේ, රාගාදී කෙලෙස් දාහයෙන් මැඩගැනීමෙන් අනිබ්බුතො නො නිවුණා වූ. රූපාදී කාමයන් පිළිබඳ කැමති වීමෙන් ගිද්ධො ගිජු වූ. පස්ස යාවඤ්ච ආරකා යනු තණ්හාව නැති, නිවුණු, ආසාව නැති සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවකාශ වශයෙන් සමීපයෙහි සිටිමින් මහිච්ඡ වූ විඝාත වූ ඒජානුග වූ අනිබ්බුත වූ ගිජු වූ බාල පෘථග්ජනයා ධර්ම ස්වභාව වශයෙන් යම් පමණ දුරක සිටී ද ඔහුගේ ඒ දුර බව බලන්න, කීමට ද පහසු නැත යන අර්ථයි. මේ කාරණය :
නභඤ්ච දූරෙ පඨවී ච දූරෙ පාරං සමුද්දස්ස තථාහු දූරෙ
තතො හවෙ දූරතරං වදන්ති සතඤ්ච ධම්මො අසතඤ්ච රාජා
‘මහරජ, අහස ද දුර වේ. පොළොව ද දුර වේ. (අහසට පොළොව දුරය) සමුද්‍රයෙහි (මෙගොඩට) පරතෙර ද දුරෙහි පිහිටියේය. සත්පුරුෂයන්ගේ ධර්මය හා අසත්පුරුෂයන්ගේ ධර්මය අතර ඊටත් වඩා දුරයයි කියති යනුවෙන් කියන ලදී.
ධම්මම්භිඤ්ඤාය යනු චතුරාර්ය සත්‍ය ධර්මය, අභිඥාවෙන් දැන, ඥාත-තීරණ පිරිසිඳ දැනීම්වලින් සුදුසු පරිදි පූර්ව භාගයෙහි දැනගෙන. ධම්මමඤ්ඤාය යනු ඒ ධර්මයම පසුකලෙක මාර්ග ඤාණයෙන් පිරිසිඳ දැනීම් වශයෙන් සීමාවන් ඇති අයුරින් දැනගෙන. පණ්ඩිතො යනු ප්‍රතිවෙධ බහුශ්‍රැත භාවයෙන් පණ්ඩිත වූ. රහදොව නිවාතෙ ච සුළං නොහමන තැන ඇති විලක් මෙන්. අනෙජො කෙලෙස් චලන නැත්තේ සංසිඳෙයි. යම්සේ ඒ විල සුළං නැති තැන වාතයෙන් පහර නොලබන්නේ සන්සිඳුනේම වේද එසේම මොහු ද හැම ආකාරයෙන්ම සන්සිඳුනු කෙලෙස් ඇත්තේ කෙලෙස් චලන ඇත්තේ අර්හත් ඵල සමාධියෙන් වූපසම්මති හැමකල්හි උපශාන්ත ස්වභාවය ඇත්තේම වෙයි. අනෙජො යනු ඔහු මෙසේ තණ්හාව නැති ස්වභාවය ඇත්තේ රහත් වූයේ තණ්හාව නැති ස්වභාවය ඇති සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවකාශ වශයෙන් දුර සිටියත් ධර්ම ස්වභාව වශයෙන් නුදුරෙහිමය, සමීපයෙහිමය.
තෙවන සූත්‍රයයි.
4. අග්නි සූත්‍ර වර්ණනාව
සතරවන සූත්‍රයෙහි - දවන අර්ථයෙන් ගින්න (අග්ගි) නම් වේ. රාගයම ගින්න වූයේ රාගග්ගි නම් වේ. රාගය උපදිමින් සත්ත්වයන් දවයි. එහෙයින් ගින්න (අග්ගි) යි කියනු ලැබේ. අනිත් (දෝස-මෝහ) දෙකෙහි ද මේ ක්‍රමයමයි. එහි යම් සේ ගින්න යම් ඉන්ධනයක් නිසා උපදී ද ඒ ඉන්ධනය දවයි. මහත් දැවීමක් ද වෙයි. එසේම ඒ රාගාදිය ද යම් සන්තානය තමාම උපන්නේ ඒ සන්තානය දවයි. මහත් දැන්වීමක් ද වෙයි. නිවීමට අපහසු වෙයි. ඒ (රාග-දෝස-මෝහ) අතරින් රාග දාහයෙන් තැවුණු හදවත් ඇති කැමති ලාභ නොලැබීමේ දුකෙන් මරණයට පත් වූ සත්ත්වයන්ගේ ප්‍රමාණයක් නැත. පළමුව මේ රෝගය පිළිබඳ දවන බවයි. (රාගයේ දැවීමයි). දෝසය පිළිබඳ දැවීමෙන් විශේෂයෙන් මනෝපදෝසික දෙවියෝ ද මෝහය පිළිබඳ දැවීමෙන් ඛිඩ්ඩාපදෝසික දෙවිවරු ද නිදසුන්ය. මෝහ වශයෙන් වනාහි ඔවුන්ගේ සිහිමුළාවීම වෙයි. එහෙයින් ක්‍රීඩා වශයෙන් ආහාර ගන්නා වේලාව ඉක්මවන්නාහු කලුරිය කරති. පළමුව මේ රාගාදියේ මෙලොව දවන ස්වභාවයයි. පරලොව වනාහි නිරය ආදියෙහි ඉපිද තැවීම් වශයෙන් වඩාත් දරුණු වූයේ ද ඉවසීමට අපහසු වූයේ ද වෙයි. මේ අර්ථයම ආදිත්ත පරියායෙන් ද පැහැදිලි කළ යුතුය.