2. ජීවිකා සූත්ර වර්ණනාව
දෙවන සූත්රය කරුණක් ඇතිවිම් වශයෙන් දේශනා කරන ලදී. එක් කාලයක භාග්යවතුන් වහන්සේ කිඹුල්වත නිග්රෝධාරාමයෙහි වැඩවාසය කරන කල්හි භික්ෂූහු ආගන්තුක භික්ෂූන්ට සෙනසුන් පනවමින් පාත්රා සිවුරු තැන්පත් කරමින් සිටින කල්හි සාමණේරයෝ ද සංඝයාගේ (සිවුරු පිරිකර ආදී) ලාභ බෙදන ස්ථානයෙහි දී පැමිණි නොපැමිණි භික්ෂූන්ගේ ලාභ ගනිමින් උස්හඬින් මහා හඬින් කථාකරන්නෝ වූහ. එය අසා භාග්යවතුන් වහන්සේ භික්ෂූන් නෙරපූහ. ඒ සියල්ලෝම මේ ධර්ම විනයට අලුත පැමිණි නවකයෝය. මහා බ්රහ්මයා එය දැන අවුත් ස්වාමීනි, භාග්යවතුන් වහන්සේ භික්ෂු සංඝයා පිළිගනිත්වා. ඒ නෙරපූ භික්ෂූන් සඳහා සමාව දෙන ලෙස යාඥා කළේය. භාග්යවතුන් වහන්සේ ඔහුට අවකාශ දුන්හ. ඉක්බිති බ්රහ්මයා භාග්යවතුන් වහන්සේ විසින් මම කරන ලද අවකාශ ඇත්තේ වෙමියි සිතා භාග්යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට නික්මුණේය. ඉක්බිති භාග්යවතුන් වහන්සේ භික්ෂු සංඝයා ආපසු පැමිණේවායි ආනන්ද ස්ථවිරයන් වහන්සේ ඒ බව දැක්වූහ. ඉක්බිති ඒ භික්ෂූහු ආනන්ද ස්ථවිරයන් වහන්සේ විසින් කැඳවන ලද්දාහු භාග්යවතුන් වහන්සේ වෙත පැමිණ තැතිගත් ස්වභාවය ඇතිව එකත්පසෙක හිඳගත්හ. භාග්යවතුන් වහන්සේ උන්වහන්සේලාට ගැලපෙන දේශනාවක් විමසමින් මොවුහු ආමිෂ හේතුවෙන් නෙරපූහ. පිණ්ඩියාලෝප ධර්ම දේශනාව ඔවුන්ට ගැලපේ යයි සිතා ‘අන්තමිදං භික්ඛවෙ’ යන මේ දේශනාව දේශනා කළහ.
එහි මේ අන්ත ශබ්දය ‘සන්ති භික්ඛවෙ එකෙ සමණ බ්රාහ්මණා පුබ්බන්තකප්පිකා පුබ්බන්තානුදිට්ඨිනො’ ‘මහණෙනි, පූර්වාන්ත කල්පික වූ (අතීත ආත්මභාව සංඛ්යාත ඉක්මගිය ස්කන්ධ පරම්පරා කොටස තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් වරදවා ගත්) ඒ අතීත ස්කන්ධ පරම්පරා කොටස අනුව පහළ කොටගත් දෘෂ්ටි ඇති සමහර මහණ බමුණු කෙනෙක් ඇත්තාහ.’ යනාදියෙහි කොට්ඨාස අර්ථයෙහි ආයේය. ‘අන්තමකාසි දුක්ඛස්ස’ ‘දුක් කෙළවර කළේය’, ‘අන්තවා අයං ලොකො පරිවටුමො’ ‘මේ ලෝකය අන්තයක් ඇති එකකි, හාත්පසින්ම වටය’ යනාදියෙහි වෙන්කිරීම් (පරිච්ඡේද ) අර්ථයෙහි ආයේය. ‘හරිතන්තං වා පථන්තං වා සෙලන්තං වා’ ‘හරිත (වන) කෙළවර හෝ මාර්ගය කෙළවර හෝ ගල් පර්වතය කෙළවර හෝ යනාදියෙහි සීමා අර්ථයෙහි ආයේය. ‘අන්තං අන්තගුණං’ ‘බඩවැල, කුඩා බඩවැල’ යනාදියෙහි ශරීර අවයව යන අර්ථයෙහි ආයේය. ‘චරන්ති හෙකෙ පරිවාර ඡන්නා අන්තො අසුද්ධා බහි සොභමානා’ ‘ඇතැමෙක් පිරිවරින් වැසී ඇතුළතින් අපිරිසිදුව පිටතින් ශෝභමානව හැසිරෙත්’ යනාදියෙහි සිත යන අර්ථයෙහි ආයේය. ‘අප්පෙකච්චානි උප්පලානි වා පදුමානි වා පුණ්ඩරීකානි වා උදකෙ ජාතානි උදකෙ සංවඩ්ඪානි උදකානුග්ගතානි අන්තො නිමුග්ගපොසිනී’ ‘ඇතැම් උපුල් හෝ රත්පියුම් හෝ සුදුපියුම් හෝ වේද, ජලයෙහි හටගත්තා වූ ජලයෙහි වැඩුණා වූ ජලයෙන් උඩට නොනැගුණා වූ ජලයෙහි ගැලී පෝෂණය වන්නා වූ යනාදියෙහි අභ්යන්තර අර්ථයෙහි ආයේය.
මිගානං කොත්ථුකො අන්තො පක්ඛීනං පන වායසො
එරණ්ඩො අන්තො රුක්ඛානං තයො අන්තා සමාගතා
එරණ්ඩො අන්තො රුක්ඛානං තයො අන්තා සමාගතා
‘සිවුපාවුන් අතරින් සිවලා ලාමකය. පක්ෂීන් අතරින් කපුටා ලාමකය. ගස් අතරින් එරඬු ගස ලාමකය. ලාමක වූ තුනක් එක්රැස් විය.’
යනාදියෙහි ලාමක අර්ථයෙහි ආයේය. මෙහිද ලාමක අර්ථයෙහිම දතයුතුය. එහෙයින් අන්තමිදං භික්ඛවෙ ජීවිකානං යනු මහණෙනි, ජීවත්වීම සඳහා කරන ක්රියාවන් අතරින් මෙය (පිඩුසිඟීම) අන්තය, පශ්චිමය, ලාමකය, සියල්ලට පහත් ජීවිතය යන අර්ථයි. යදිදං පිණ්ඩොල්යං යනු යම් මේ පිණ්ඩපාතය සොයා යාමෙන් භික්ෂාව සොයා හැසිරීමෙන් ජීවිකාව කරන්නවුන්ගේ ජිවිතය. මේ වනාහි මෙහි පදාර්ථයයි: පිඬු පිණිස හැසිරෙයි යන අරුතින් පිණ්ඩොල නම් වේ. (පිණ්ඩාය උලතීති = පිණ්ඩොලො) පිඬුසිඟා යන්නහුගේ ක්රියාව පිණ්ඩොල නම් වේ. පිණ්ඩ පරියේෂණයෙන් කරන ජීවිකාව යන අර්ථයි.
අභිසාපො යනු ආක්රෝශයයි. කිපුණු මිනිස්සු තමාගේ සතුරාට රෙදි කැබැල්ලක් හැඳ කබලක් ගත් අත් ඇතිව පිඬු (ආහාර) සොයමින් හැසිරෙන්නෙහි යයි ආක්රෝශ කරති. නැතහොත් ඔබට නොකළයුතු දෙයක් ඇද්ද? ඒ ඔබ මෙසේ බලයෙන් හා වීර්යයෙන් යුක්ත වූයේ හිරි ඔතප් දුරුකොට පාත්රයක් ගත් අත් ඇතිව දිළිඳු වූ (පහත් වූ) පිඬු සිඟීමෙහි හැසිරෙන්නෙහි යයි මෙසේත් ආක්රෝශ කරත්මය. තඤ්ච ඛො එතං යනු ඒ මේ ආක්රෝශයට සමාන පිඬුසිඟා හැසිරීම. කුලපුත්තා උපෙන්ති අත්ථවසිකා යනු මගේ ශාසනයෙහි ජාති (උපතින්) කුලපුත්රයෝ ද ආචාර (මනා හැසිරිමෙන්) කුලපුත්රයෝ ද, ‘අත්ථවසිකා’ (ලෞකික ලෝකෝත්තර අර්ථ සිද්ධිය නමැති) කාරණයට වසඟ වූ කුලපුත්රයෝ කරුණක් නිසා එළඹෙත්.
‘රාජාභිනීතා’ යනාදියෙහි රජු සන්තක දේ අනුභවකොට රජු විසින් බන්ධනාගාර ගතකරවන ලද යමෙක් (ඉන්) පලාගොස් පැවිදි වෙත් ද ඔවුහු රජු විසින් බන්ධනාගාරයට පමුණුවන ලද්දෝ රාජාභිනීතා නම් වෙති. යමෙක් වනාහි සොරුන් විසින් වනයෙහි දී අල්ලාගෙන ඔවුන් අතරින් ඇතැමෙකු මරනු ලබන කල්හි ඇතැමෙක් ස්වාමීනි, අපි ඔබලා විසින් මුදාහරින ලදුව ගෘහවාසය නොකොට (ගිහි ජීවිතය ගත නොකොට) පැවිදි වන්නෙමු. ඒ ඒ තැනදී යම් යම් බුද්ධපූජාදී පිනක් කරන්නෙමු ද ඒ ඒ තැන සිට ඔබලාට පින් අනුමෝදන් කරන්නෙමුයි කියා සොරුන් විසින් මුදාහරින ලද්දාහු පැවිදි වෙති. ඔවුහු චොරාභිනීතා නම් වෙති. සොරුන් විසින් මැරිය යුතු තැනැත්තා නෙරපා හැරිය බැවිනි. යමෙක් වනාහි ණය ගෙන ආපසු දීමට නොහැකි වන්නාහු පලාගොස් පැවිදි වෙති. ඔවුහු ඉණට්ඨා නම් වෙති. ‘තඤ්ච ඛො එතං පිණ්ඩොල්යං කුලපුත්තා මම සාසනෙ නෙව රාජාභිනීතා -පෙ- න ආජීවපකතා උපෙන්ති, අපි ච ඛො ඔතිණ්ණමහා ජාතියා -පෙ පඤ්ඤායෙථා ති උපෙන්ති’ යනු පද සම්බන්ධයයි.