8. අන්ධකරණ සූත්ර වර්ණනාව
අටවන සූත්රයෙහි - අකුසල විතක්කා යනු අදක්ෂකමින් උපන් විතර්ක. ‘අන්ධකරණා’ යනාදියෙහි යමෙකුට (අකුසල විතර්ක) තමාම උපදීද එය ඇති සැටියෙන් දැකීම වැළැක්වීමෙන් අන්ධ කරන්නේය යන අරුතින් අන්ධකරණා නමි. නුවණ නමැති ඇස ඇති නොකරන්නේය යන අරුතින් අචක්ඛුකරණා නමි. අනුවණ ඇති කරන්නේය යන අරුතින් අඤ්ඤාණ කරණා නමි. පඤ්ඤානිරොධිකා යනු ප්රඥා තුන නොපැවතීම සිදුකරමින් නිරුද්ධ වේ යන අරුතින් පඤ්ඤා නිරෝධිකා නමි. අයහපත් ප්රතිඵල ගෙනදෙන බැවින් දුක් නම් වූ විඝාත පක්ෂයෙහි පවතී යන අරුතින් විඝාත පක්ඛිකා නමි. කෙලෙසුන්ගේ නිවීමට නො පමුණුවයි යන අරුතින් අනිබ්බාණ සංවත්තනිකා නමි.
කාම විතක්කො යනු කාමය සම්බන්ධ වූ විතර්කය. එය කෙලෙස් කාම සහිතව වස්තුකාමයෙහි පවතී. ව්යාපාදය සම්බන්ධ වූ විතර්කය බ්යාපාද විතක්කො ව්යාපාද විතර්කයයි. හිංසාව සම්බන්ධ වූ විතර්කය විහිංසා විතක්කො විහිංසා විතර්කයයි. මේ දෙක සත්ත්වයන් කෙරෙහි ද සංස්කාර කෙරෙහි ද උපදී. කාම විතර්කය වනාහි ප්රියමනාප සත්ත්වයන් ගැන හෝ සංස්කාරයන් ගැන හෝ කල්පනා කරන්නාට උපදියි. ව්යාපාද විතර්කය අප්රිය අමනාප සත්ත්වයන් කෙරෙහි හෝ සංස්කාර කෙරෙහි හෝ කිපී බලන කාලයේ පටන් (එය) නැසෙනතුරු උපදී. විහිංසා විතර්කය සංස්කාර කෙරෙහි නූපදී. දුකට පැමිණවිය යුතු සංස්කාරයක් නම් නැත. මේ සත්ත්වයෝ නැසෙත්වා හෝ මැරෙත්වා හෝ සිඳෙත්වා හෝ විනාශ වෙත්වා හෝ නොවෙත්වා යනුවෙන් සිතන කල්හි සත්ත්වයන් කෙරෙහි උපදී.
මේවාම කාම සංකල්පනාදියයි. අර්ථ වශයෙන් වනාහි කාම විතර්කාදීන්ගේ ද කාම සංකල්පනාදීන්ගේ ද වෙන් කිරීමක් නැත. එය සම්බන්ධ වූ සඤ්ඤා ආදිය කාමසඤ්ඤා ආදියයි.
‘කාමය සම්බන්ධ වූ තර්කයක් විතර්කයක් මිථ්යා සංකල්පයක් වේද මෙය කාමධාතුවයි කියනු ලැබේ. සියලුම අකුසල ධර්ම කාමධාතුය. ව්යාපාදය සම්බන්ධ වූ තර්කයක් විතර්කයත් මිථ්යා සංකල්පයක් වේද මෙය ව්යාපාද ධාතුවයි කියනු ලැබේ. නව ආඝාත වස්තු කෙරෙහි සිතේ ක්රෝධයක් (ආඝාතයක්) හැපීමක් වේද සිතේ අසතුටු බවක් වේද මෙය ව්යාපාද ධාතුවයි කියනු ලැබේ. විහිංසාව සම්බන්ධ වූ තර්කයක් විතර්කයක් මිථ්යා සංකල්පයක් වේද මෙය විහිංසා ධාතුවයි කියනු ලැබේ. මෙලොව ඇතැම් පුද්ගලයෙක් අතින් හෝ පස් කැටයකින් හෝ දණ්ඩකින් හෝ ආයුධයකින් හෝ වැලකින් හෝ අනිත් අනිත් දෙයකින් හෝ සත්ත්වයන් වෙහෙසයි ද මෙය විහිංසා ධාතුවයි කියනු ලැබේ.’ යනුවෙන් පාළියෙහි ආ බැවින් කාමධාතු ආදීන්ගේ විශේෂයක් ලැබේ.
එහි සබ්බ සංගාහික කථා, අසම්භින්න කථා යනුවෙන් කථා දෙකක් ඇත. එහි කාමධාතුව ගත්කල්හි අනිත් දෙකම ගනු ලැබුවා නම් වෙයි. එයින් වෙන්කොට මේ ව්යාපාද ධාතුවය මේ විහිංසා ධාතුවයයි දක්වයි. මේ සබ්බ සංගාහිකා නම් වේ. කාමධාතුව දේශනා කරන භාග්යවතුන් වහන්සේ ව්යාපාද ධාතුව ව්යාපාද ධාතු ස්ථානයෙහි ද විහිංසා ධාතුව විහිංසා ධාතු ස්ථානයෙහි ද තබා ඉතිරිය කාමධාතු නම් වේ යයි දෙසූහු ද මේ අසම්භින්න (අමිශ්ර) කථා නම් වේ.
යහපත් (කුශල) පැත්තෙහිදී (අකුශල පැත්තෙහි) කියන ලද ආකාරයට විරුද්ධ අයුරින් අර්ථය දතයුතුය. නෙක්ඛම්මය සම්බන්ධ වූ විතර්කය නෙක්ඛම්ම විතක්කො නෙක්ඛම්ම විතර්කයයි. එය අශුභ භාවනාවේ මුල් අවස්ථාවේදී කාමාවචර වෙයි. අශුභ ධ්යානයෙහි දී රූපාවචර වෙයි. ඒ ධ්යානය පදනම්කොට මාර්ග ඵල උපන් කාලයෙහි ලෝකෝත්තර වෙයි. අව්යාපාදය සම්බන්ධ වූ විතර්කය අඛ්යාපාද විතක්කො අවවාද විතර්කයයි. එය මෛත්රී භාවනාවේ මුල් අවස්ථාවෙහි කාමාවචර වෙයි. මෛත්රී ධ්යානයෙහි දී රූපාවචර වෙයි. ඒ ධ්යානය පදනම්කොට මාර්ගඵල උපන් කාලයෙහි ලෝකෝත්තර වෙයි. අවිහිංසාව සම්බන්ධ විපාකය අවිහිංසා විතක්කො අවිහිංසා විතර්කයයි. එය කරුණා භාවනාවෙහි මුල් අවස්ථාව කාමාවචරය. කරුණා ධ්යානයෙහි දී රූපාවචරය. ඒ ධ්යානය පාදකකොට මාර්ගඵල උපන් කල්හි ලෝකෝත්තරය. අලෝභය ශීර්ෂය (ප්රධාන) වනවිට අනිත් දෙක ඒ අනුව යන්නේ වෙයි. මෛත්රිය ශීර්ෂය වනවිට අනිත් දෙක ඒ අනුව යන්නේ වෙයි. කරුණාව ශීර්ෂය වනවිට අනිත් දෙක ඒ අනුව යන්නේ වෙයි.
මේවාම නෙක්ඛම්ම සංකප්පාදියයි. අර්ථ වශයෙන් නෙක්ඛම්ම විතක්කාදීන්ගේ ද නෙක්ඛම්ම සංකප්පාදීන්ගේ ද වෙන් කිරීමක් නැත. එය සම්බන්ධ වූ සඤ්ඤා ආදිය නෙක්ඛම්ම සඤ්ඤාදියයි.
‘නෙක්ඛම්මය සම්බන්ධ වූ තර්කයක් විතර්කයක් සංකල්පයක් වේද මෙය නෙක්ඛම්ම ධාතුවයි කියනු ලැබේ. සියලුම කුශලධර්ම නෙක්ඛම්ම ධාතුවය. අව්යාපාදය සම්බන්ධ වූ තර්කයක් විතර්කයක් සංකල්පයක් වේද මෙය අව්යාපාද ධාතුවය. සත්ත්වයන් කෙරෙහි මෛත්රියක් මෛත්රී කිරීමක් මෙතී චේතෝ විමුක්තියක් වේද මේ අව්යාපාද ධාතුවයි කියනු ලැබේ. අවිහිංසාව සම්බන්ධ තර්කයක් විතරකයක් සංකල්පයක් වේද මෙය අවිහිංසා ධාතුවයි කියනු ලැබේ. සත්ත්වයන් කෙරෙහි කරුණාවක් කරුණා කිරීමක් කරුණා චේතෝ විමුක්තියක් වේද මේ අවිහිංසා ධාතුවයි කියනු ලැබේ.’ යනුවෙන් පාළියෙහි ආ බැවින් නෙක්ඛම්ම ධාතු ආදීන්ගේ විශේෂයක් ලැබේ. මෙහි ද සබ්බ සංගාහික අසම්භින්න යන කථාදෙ කියන ලද අයුරින්ම දතයුතුය. සෙස්ස පහසුවෙන් දතහැකි වේමය.