සිවුවන වර්ගය
1. විතර්‍ක සූත්‍ර වර්ණනාව
සතරවන වර්ගයේ පළමු සුත්‍රයෙහි අකුසලා විතක්කා යනු අදක්‍ෂ බැවින් උපන් විතර්ක, මිථ්‍යා විතර්ක යන අර්ථයි. අනවඤ්ඤත්ති පටිසංයුත්තො යන මෙහි ‘අනවඤ්ඤත්ති’ යනු අනුන්ගෙන් අවඥාවක් නැති බව තමා ගැන පිළිකුල් නොකරන බව, නින්ද නො ලබන බව, ‘අහෝ, අන් අය මට අවමන් නොකරන්නාහු නම් යනුවෙන් මෙසේ පැවති කැමැත්තෙන් යුක්ත වූ, ඒ අවඥාවක් නැති බව පිළිබඳව යෙදුනා වූ, මිශ්‍ර වූ හෝ එය නිමිති කොට පැවති විතරකය අනවඤ්ඤත්ති පටිසංයුත්ත විතර්කයයි. එහෙයින් අනිත් ගිහියෝ ද පැවිද්දෝ ද කෙසේ නම් මා පහත්කොට නො පිළිගන්නාහුදැයි යනුවෙන් සම්භාවනා (ගරුකිරීම) ලබාගැනීමේ කැමැත්තෙන් ආසාවෙහි පිහිටා පැවති විතර්කයට මේ වචනයකි. ලාභ-සක්කාර-සිලොක පටිසංයුත්තො යනු සිවුරු ආදිය ලැබීම ද සත්කාරය ද කීර්ති ශබ්දය ද අරමුණුකිරීම් වශයෙන් යෙදුණු පරානුද්දයතා පටිසංයුත්තො යනු අනුන් කෙරෙහි ඇති දයානුකම්පාවේ මුවාවෙන් (ප්‍රතිරූපයෙන්) උපන් ගේහසිත ප්‍රේමයෙන් යුක්තවූ.
‘සංසට්ඨො විහරති රාජූහි රාජමහා මච්චෙහි බ්‍රාහ්මණෙහි ගහපතිකෙහි තිත්‍ථියෙහි තිත්‍ථිය සාවකෙහි - සහනන්‍දී, සහසෝකී, සුඛිතෙසු සුඛිතො දුක්‍ඛිතෙසු දුක්‍ඛිතො, උප්පන්තෙසු කිච්චකරණීයෙසු අත්තනො වොයාගං ආපජ්ජිතා’ ‘රජවරුන් සමග, රජමහ ඇමතියන් සමග, බමුණන් සමග, ගෘහපතියන් සමග, තීර්ථකයන් සමග, තීර්ථක ශ්‍රාවකයන් සමග ඇලීගැලී වාසය කරයි. ඔවුන් සමග සතුටු වෙයි. ඔවුන් සමග ශෝක වෙයි. ප්‍රීතිමත් අවස්ථාවලදී ප්‍රීතිවෙයි. දුක් සහගත අවස්ථාවලදී දුක්වෙයි. වැඩකටයුතු ඇතිකල්හි තමා ඒවායෙහි යෙදෙයි’ යන මෙය ඒ සඳහා කියන ලදී.
ගාථාවන්හි - අනුන්ගෙන් අවඥා නොලබනු කැමති බවෙන් යුක්ත වූ පුද්ගලයා අනවඤ්ඤත්ති සංයුත්තො නම් වෙයි. මොහුගේ ගෞරවය ලාභසත්කාර කෙරෙහිය ධර්මය කෙරෙහි නොවේ යන අරුතින් ලාභසක්කාර ගාරවො නම් වෙයි. සැපදුක් දෙකෙහි දී (තමා) සමග වන්නාහු යන අරුතින් අමච්චා නම් වෙයි. මිතුරන් සමාන උපස්ථායකයෝ, ගෙහසිත ප්‍රේම වශයෙන් ඔවුන් සමග සතුටුවන ස්වභාවය ඇත්තේ සහනන්‍දී අමච්චෙහි නම් වෙයි. මෙයින් අනුන් කෙරෙහි ඇති දයානුකම්පාවේ මුවාවෙන් උපන් ගේහසිත ප්‍රේමයෙන් යුක්ත වූ විතර්කය දක්වයි. ආරා සංයොජනක්‍ඛයා යනු මේ විතර්ක තුනෙන් මැඩගත්තා වූ පුද්ගලයා සංයෝජනයන් දුරුකිරීම වූ අර්හත්වයෙන් දුරෙහිය. ඔහුට ඒ අර්හත්වය දුලභය යන අර්ථයි.
පුත්තපසුං යනු පුතුන් ද සිවුපාවුන් ද, මෙහි ‘පුත්ත’ ශබ්දයෙන් බිරිඳ ආදියත් ‘පසු’ ශබ්දයෙන් අශ්වයන්-ගවයන් කෙත්-වතු ආදියත් ඇතුළත් කරන ලදී. විවාහෙ යනු විවාහ කරවීමෙහි, මෙයින් ආවාහයත් ගන්නා ලදී. සංගහානි යනු ලබාගැනීමයි. පිරිකර ලබාගැනීම යන අර්ථයයි. සන්‍ථවාදී යනුවෙන් ද කියති. මිතුරන් ඇසුරුකිරීම යන අර්ථයයි. හැමතන්හි ‘හිත්‍වා’ යනු සම්බන්ධයි. භබ්බො සො තාදිසො භික්‍ඛූ යනු ඒ භික්‍ෂුව කියන ලද සියලු කෙලෙස් දුරුකොට ශාස්තෲන් වහන්සේ දේශනා කරන ලද යහපත් ප්‍රතිපත්තියෙන් දැකිය යුතු බැවින් එබඳු වූ, සසර භය දකින්නේය යන අරුතින් භික්ඛු නම් වේ. උත්තමං සම්බොධිං අර්හත්වයට පත්වන්නට සුදුසුය.
පළමු සූත්‍රයයි.
2. සත්කාර සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයෙහි - සක්කාරෙන යනු සත්කාරයට හේතු වූ දෙයින්. නැතහොත් ‘සක්කාරෙන’ යනු සත්කාර හේතුවෙන් හෝ සත්කාරයට හේතු වූ මුල් කාරණයෙන්. සත්කාරය නිසා මෙලොව ඇතැම් පුද්ගලයෝ ලාමක අදහස් ඇත්තාහු, ආසාවෙන් යුක්ත වූවාහු කැමති හැසිරීමෙහි සිට සත්කාර උපදවන්නෙමුයි නොයෙක් ආකාර නුසුදුසු වැරදි සෙවීම්වලට පැමිණ මෙලොවින් චුත වූවාහු අපායවල උපදිති. අන් අය කැමති පරිදි සත්කාර ලබා එය නිමිතිකොට මානයට - මදයට මසුරුකමට ආදී වශයෙන් ප්‍රමාදයට පැමිණ මෙලොවින් චුත වූවාහු අපායවල උපදිති. ‘සක්කාරෙන අභිභූතා පරියාදින්න චිත්තා’ යන්න ඒ සඳහා කියන ලදී. එහි අභිභූතා යනු මැඩගත්. පරියාදින්නචිත්තා යනු ක්‍ෂය කර ගන්නා ලද සිත් ඇති, කැමති හැසිරීමෙන් ද මාන-මද ආදියෙන් ද ක්‍ෂයවීමට පත්කරන ලද කුසල සිත් ඇති. නැතහොත් ‘පරියාදින්නචිත්තා’ යනු හාත්පසින් ඇදගන්නා ලද සිත් ඇති, කියන ලද ආකාර ඇති අකුසල කොටසින් කුසල සිතේ හටගැනීම නොවේ ද එසේ හාත්පසින් ගන්නා ලද චිත්ත සන්තාන ඇති යන අර්ථයි. අසක්කාරෙන යනු තමා කෙරෙහි පවතින අසත්කාර හේතුවෙන් හෝ අසත්කාරයට හේතුවන මුල් කාරණය වන මාන ආදියෙන් අනුන් විසින් පිළිකුල් කොට පරිභවකොට සක්කාරෙන අසක්කාරෙන ච යනු යම්කිසි පුද්ගලයන් විසින් පවත්වන ලද සත්කාරයෙන් ද යම්කිසි පුද්ගලයන් විසින් පවත්වන ලද අසත්කාරයෙන් ද, යම්කිසි පුද්ගලයන් විසින් පළමුව සත්කාර කරන ලද්දාහු වී ඔවුන් විසින්ම ශ්‍රද්ධාව නැති බව ආදිය දැන පසුව සත්කාර නොකරන ලද්දාහු වෙති. එබඳු අය සඳහා ‘සක්කාරෙන ච අසක්කාරෙන ච’ යනුවෙන් කියන ලදී.
එහි සත්කාරයෙන් මැඩගත් දෙව්දත් ආදී අය නිදසුන් ලෙස දැක්විය යුතුය. මේ කාරණය
ඵලං වෙ කදලිං හන්ති ඵලං වෙළුං ඵලං නළං
සක්කාරො කාපුරිසං හන්ති ගබ්හො අස්සතරිං යථා
සක්කාරො කාපුරිසං හන්ති ගබ්හො අස්සතරිං යථා
‘යම්සේ (කෙසෙල් කැන නම් වූ) ඵලය කෙසෙල්ගස නසයි ද ඵලය උණගස නසයි ද ඵලය බටගස නසයි ද (වෙළඹගේ) ගබ වෙළඹ නසයි ද එම සත්කාරය නරක පුරුෂයා නසයි.’