7. ධර්‍මානුධර්‍මප්‍රතිපන්න සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයෙහි - ධම්මානුධම්ම පටිපන්නස්ස යන මෙහි ධම්ම නම් නවවිධ ලෝකෝත්තර ධර්මයයි. ඒ ධර්මයේ අනුධර්මය (එනම්) ශීල විශුද්ධි ආදී පූර්වභාග ප්‍රතිපදා ධර්මයයි. ඒ ධර්මානුධර්මයට පිළිපන් ඒ ධර්මානුධර්මය ලබන්නට පිළිපදින්නා වූ (භික්‍ෂුවට) අයමනුධම්මො හොති යනු මේ සුදුසු ස්වභාවය, යෝග්‍ය ස්වභාවය වෙයි. වෙය්‍යාකරණාය යනු කීම පිණිස. ධම්මානුධම්ම පටිපන්නො යං ‘යං’ යනු කරණාර්ථයෙහි ප්‍රථමා විභක්ති වචනයයි. යම් අනුධර්මයකින් ඔහු ඒ ධර්මානුධර්මයට පිළිපන්නේ යයි කියන්නේ ද එය මනාකොට කියන්නේ නම් වෙයි. ඒ හේතුවෙන් ඔහු නුවණැත්තන් විසින් ගැරහිය යුතු නොවන්නේය යන මෙය කියන ලද්දේ වෙයි. ‘යං’ යනු ක්‍රියා පරාමර්ශනය හෝ වෙයි. එයින් මේ ධර්මයම කීම, ධර්ම විතර්කයම විතර්ක කිරිම, ඒ දෙක නැති කල්හි ඥාන උපේක්ෂාවෙන් යුක්ත වීම ධර්මානුධර්ම ප්‍රතිපන්න භික්‍ෂුවට මොහු මෙසේ යයි කීමට අනුරූප හේතු, සුදුසු කාරණයයි (දක්වයි). භාසමානො ධම්මංයෙව භාසෙය්‍ය යනු ඉදින් කථා කරන්නේ දසකථා වස්තු ධර්මයම කථා කරන්නේය. එයට ප්‍රතිවිරුද්ධ මහිච්ඡාතාදි අධර්මයක් කථා නොකරන්නේය. මේ කාරණය :
‘යම් කථාවක් කෙලෙස් කපා දැමීමට හිතද සිතේ පැහැදිලි කිරීම නම් වූ සමථ විදර්ශනාවන්ට ගැලපේද ඒකාන්තයෙන් සසරෙහි කළකිරීම පිණිස, සසරෙහි නො ඇලීම පිණිස, සසරෙහි නැවැත්ම පිණිස, සසරෙහි සංසිඳීම පිණිස, සසර ගැන විශේෂයෙන් දැනගැනීම පිණිස, කෙලෙස් නින්දෙන් තොරවීමෙන් සසරින් අවදිවීම පිණිස, නිවන පිණිස පවතී ද කෙසේද? ආසාවන් අඩු කිරීම පිළිබඳ කථා, ලද සිවුපසයෙන් සතුටුවීම පිළිබඳ කථා, කාය-චිත්ත-උපධි යන විවේක තුන පිළිබඳ කථා, දැකීම, ඇසීම, කථාකිරීම, ඇඳුම් ආදිය පරිහරණය, අත්පා ඇල්ලීම් ආදී පස්ආකාර සංසර්ගයෙන් තොරවීම පිළිබඳ කථා, වීර්යය ආරම්භ කිරීම පිළිබඳ කථා, සීලය පිළිබඳ කථා, සමාධිය පිළිබඳ කථා, ප්‍රඥාව පිළිබඳ කථා, විමුක්තිය පිළිබඳ කථා, දහනව ආකාර ප්‍රත්‍යවේක්‍ෂණය පිළිබඳ කථා නම් වූ විමුක්ති ඥාන දර්ශනය පිළිබඳ කථා, මෙබඳු කථාවන් කැමති පරිදි ලබන්නෙක් වෙයි, පහසුවෙන් ලබන්නෙක් වෙයි. බොහෝ කොට ලබන්නෙක් වෙයි.’ යනුවෙන් කියන ලදී.
කෙලෙස් කපා හරින කථා අසන්නට ලබන තැනැත්තාම එය කියන්නේය. මෙයින් කල්‍යාණ මිත්‍ර සම්පත්තිය දක්වන ලදී.
ධම්ම විතක්කං යනු ධර්මයෙන් ඉවත් නොවූ නෙක්ඛම්ම විතක්කාදිය කල්පනා කරමින් ශීලාදී ප්‍රතිපදාව සම්පූර්ණ කරන්නෙමියි මතු මත්තෙහි උත්සාහ කරන්නේය. ශීලාදියට උපකාර නොවන ධර්මයන් දුරුකොට උපකාරක ධර්මයන් වැඩීම් වශයෙන් ද පිරිහෙන පැත්තට අයත් බව ඉවත් කොට පවතින පැත්තට අයත් බවෙහි ද නොසිට දියුණුවන පැත්තට ද විදර්ශනාව පැත්තට ද පැමිණවීම් වශයෙන් පැවති නොයෙක් ප්‍රභේද ඇති ඒ විතර්කය දතයුතුය. නො අධම්ම විතක්කං යනු කාම විතර්කයක් කල්පනා නොකරන්නේය යන අර්ථයි. තදුභයං වා පන යනු අනුන්ට අනුග්‍රහ පිණිස යම් මේ ධර්මය කීමක් කියන ලද ද තමාට අනුග්‍රහ පිණිස ධර්මය ගැන කල්පනා කිරීමද කියන ලදී. නැතහොත් ඒ දෙකම අභිනිවජ්ජෙත්‍වා නොපිළිපැද, නොකොට. උපෙක්‍ඛකො යනු එසේ ප්‍රතිපත්තියෙහි උදාසීන වූයේ සමථ විදර්ශනා භාවනාවම වඩමින් වාසය කරන්නේය. සමථ ප්‍රතිපත්තියෙහි හෝ උපේක්‍ෂාවෙන් යුක්ත වූවෙක් වී විදර්ශනාවෙහිම කටයුතු කරමින් වාසය කරන්නේය. විදර්ශනාවට උත්සාහවත් කරවා එහි ද සංස්කාර උපේක්‍ෂා ඥාන වශයෙන් උපේක්‍ෂාවෙන් යුක්ත වූවෙක් වී විදර්ශනා ඥානය මාර්ගයෙන් ගැලපෙන තුරු එය බලවත්ව සූරව ප්‍රසන්නව උසුලයි ද එසේ සිහි නුවණින් වාසය කරන්නේය.
ගාථාවන්හි - මොහුට සමථ-විදර්ශනා ධර්මය සිත් ඇලවිය යුතු අර්ථයෙන් ආරාමය වේ. ඒ අරුතින් ධම්මාරාමො වෙයි. ඒ ධර්මයෙහිම ඇලුණේය යන අරුතින් ධම්මරතො වෙයි. නැවත නැවත ඒ ධර්මයම සිතන හෙයින් ධම්මං අනුවිචින්තයං වෙයි. ඒ ධර්මය ආවර්ජනය කරන්නේ මෙනෙහි කරන්නේ යන අර්ථයි. අනුස්සරං යනු ඒ ධර්මයම මතු මත්තෙහි භාවනා වශයෙන් සිහිකරන්නේ. නැතහොත් විමුත්තායතන ශීර්ෂයෙහි සිට අනුන්ට දේශනා කිරීම් වශයෙන් ශීලාදි ධර්මය සිත් ඇලවිය යුතු අර්ථයෙන් මොහුට ආරාමයයි යන අරුතින් ‘ධම්මාරාමො’ වෙයි. එසේම ඒ ධර්මයෙහි ඇලුණේය යන අරුතින් ‘ධම්මරතො’ නම් වෙයි. ඒ ශීලාදී ධර්මයන්ගේ පැවැත්ම සොයමින් කාම විතර්කාදියට අවස්ථාවක් නොදී නෙක්ඛම්ම සංකප්ප ආදී ධර්මයම සිතන හෙයින් ‘ධම්මං අනුවිචින්තයං’ වෙයි. ඒ දෙකම හෝ ඕළාරික වශයෙන් පිළිගනිමින් මධ්‍යස්ථ වී සමථ විදර්ශනා ධර්මයම මතුමත්තෙහි භාවනා වශයෙන් සිහිකරමින් - වැඩීම් වශයෙන් පවත්වමින්. සද්ධම්මා යනු ප්‍රභේද වශයෙන් තිස්හතක් වූ බෝධිපාක්‍ෂික ධර්මයෙන් ද නවවිධ ලෝකෝත්තර ධර්මයෙන්ද න පරිහායති නොපිරිහෙයි. නොබෝ කලකින්ම ඒ ධර්මය අවබෝධ කරයි යන අර්ථයි.