4. පූර්වනිමිත්ත සූත්‍ර වර්ණනාව
සතරවන සූත්‍රයෙහි යදා යනු යම්කලෙක. දෙවො යනු උත්පත්ති දෙවියෙක් සම්මුති දේව, උප්පත්ති දේව, විසුද්ධිදේව යනුවෙන් දෙවිවරු තිදෙනෙකි. ඔවුන් අතුරෙන් සම්මුති දෙවිවරු නම් ක්ෂත්රිය රජවරුය. උප්පත්ති දෙවිවරු නම් චාතුම්මහාරාජිකයේ පටන් ඊට ඉහළ දෙවිවරුය. විසුද්ධි දෙවිවරු නම් ක්ෂීණාශ්රවයෝය. මෙහි වනාහි කාමාවචර දෙවියෙක් අදහස් කරන ලදී. එහෙයින් ‘දෙවො ති උප්පත්ති දෙවො’ යි කියන ලදී. දෙවකායා යනු දිව්‍ය සමූහයෙන් හෝ දිව්‍ය ස්ථානයෙන් හෝ දිව්‍ය ලෝකයෙන් හෝ යන අර්ථයි. මේ කාය ශබ්දය සමූහ-නිවාස වාචකය. චවන ධම්මො යනු මරණ ධර්මය, ආයු ගෙවීමෙන් හෝ පින නොවීමෙන් හෝ පැමිණි මරණය යන අර්ථයි.
පඤ්චස්ස පුබ්බනිමිත්තානි පාතුභවන්ති යනු පැමිණි මරණය ඇති මේ දිව්‍ය පුත්‍රයාට මරණය පිළිබඳ පෙරනිමිති පහක් උපදී හෝ ප්‍රකාශ වේ. මාලාමිලායන්ති යනු ඒ පැළඳි මල්මාලා මද්දහනෙහි අව්වට දමන ලද්දක් මෙන් මැලවූයේ පහවූ ශෝභාව ඇත්තේ වෙයි.
වත්ථානි කිලිස්සන්ති සරත් සමයෙහි පහවූ වළාකුළු ඇති අහසෙහි උදාවෙන බාල සූර්යයාට සමාන ප්‍රභා (ආලෝකය) ඇති නොයෙක් නොයෙක් වර්ණ ඇති ඔහු විසින් හැඳ පෙර වූ වස්ත්‍ර එකෙණෙහිම මඩෙහි දමා පාගන ලද ඒවා මෙන් පහවූ ප්‍රභා ඇතිව මැලවුණේ වෙයි.
කච්ඡෙහි සෙදා මුච්චන්ති යනු ඉතා පිරිසිදු ජාති මාණික්‍යයක් මෙන් ද ඉතා හොඳින් පුහුණු වූ ශිල්පියෙකු විසින් කරන ලද රන් පිළිමයක් මෙන් ද දහඩිය කුණු නැති සිරුරේ කිසිලි දෙකින් එකෙණෙහි දහඩිය දහරා ගලයි, වැගිරෙයි. හුදෙක් කිසිලිවලින් පමණක්ම නොවේ. ඔහුගේ මුලු සිරුරම දහඩිය කුණු මුදාහරියි. ඔවුන්ගේ කය පළඳනා ලද මුතුදැල් නමැති කේසරවලින් ගැවසී ගත්තාක් මෙන් වෙයි.
කායෙ දුබ්බණ්ණියං ඔක්කමති යනු පෙර ප්‍රතිසන්ධියේ (ඉපදීමේ) පටන් ඇති වූ ආනුභාවයට අනුව එක් යොදුනක් දෙයොදුනක් දොළොස් යොදුනක් තෙක් ප්‍රදේශයක ආලෝකය පතුරුවා බබලන, කැඩීම් පැලීම් ආදිය නැති කයක් වෙයි. සීත නැත. පීඩාකාරී උණුසුමක් නැත. දෙව්දුව සොළොස් හැවිරිදි තැනැත්තියක මෙන් වෙයි. දෙව්පුත් විසිහැවිරිදි කෙනෙකු මෙන් වෙයි. එකෙණෙහි ප්‍රභාව නැති තේජස් නැති කයෙහි විරූප බව ඇතිවෙයි. පිහිටයි.
සකෙ දෙවො දෙවාසනෙ නාභිරමති යනු තමාගේ දෙවඟනන් සමූහය සමග ක්‍රීඩාකරන හැසිරෙන දිව්‍යාසනයෙහි නො ඇලෙයි. සිතේ තෘප්තියක් නැත. ඔහුට මනුෂ්‍ය ගණනින් සත්දිනකින් මරණය වන්නේ යන මේ පෙරනිමිති පහළ වෙයි. හෙතෙම ඒ පෙරනිමිති ඉපදීමෙන්ම රූප සම්පත්තියෙන් තොර වන්නෙමියි බලවත් ශෝකයෙන් මැඩගත්තේ වෙයි. එහෙයින් ඔහුගේ කයෙහි මහත් දාහයක් උපදී. එහෙයින් මුළු සිරුරෙන් දහඩිය වැගිරෙයි. වඩා වැඩිකලක් නුපුරුදු දුක් ඇත්තේ එය ඉවසන්නට නොහැකිව ඇතැමෙක් දැවෙමි දැවෙමියි කියමින් හඬමින් වැලපෙමින් කිසිතැනක ආශ්වාදයක් (තෘප්තියක්) නොලබමින් කිළිපොලමින් සුසුම්ලමින් ඒ ඒ තැන ඇවිදියි. ඇතැමෙක් සිහිය පිහිටුවා කය වචන දෙකින් විකාර නොකළ ද ප්‍රිය විප්‍රයෝග දුක්ඛය නොඉවසමින් පීඩාවිඳිමින් හැසිරෙයි.
මේ පෙරනිමිති වනාහි යම්සේ සියල්ලන්ට නොව ලෝකයෙහි මහා පින් ඇති රාජ රාජ මහාමාත්යවරුන්ටම උල්කාපාත - භූමිචලන චන්ද්‍රග්‍රහණ ආදී නිමිති පහළවෙයිද එසේම මහේශාක්‍ය දෙවියන්ටම පහළවෙයි. මරණය පිළිබඳ උපන් මේ පෙරනිමිති ඇතැම් දෙවිවරු දැනගනිති. සියලු දෙවිවරු නොදැන ගනිති. එහි යමෙක් මද කුශලයකින් උපන්නේ ද හෙතෙම දැන් චුත වූයේ කොහි උපදින්නෙම්දැයි නොදනිමි කියා බිය වෙයි. මහා පින් ඇති යමෙක් වේද හෙතෙම මා විසින් බොහෝ දන් දෙන ලදී, සිල් රකින ලදී, පින් රැස්කරන ලදී. මෙයින් චුත වූ මට සුගතියම කැමති යයි කියා බිය නොවෙයි. කම්පා නොවේ. මෙසේ එළඹි පෙරනිමිති ඇති දේවතාවා රැගෙන දෙවිවරු නන්දන වනයට පිවිසෙති. සියලු දිව්‍යලෝකවල නන්දන වනයක් ඇත්තේමය.