5. බහුජනහිත සූත්ර වර්ණනාව
පස්වන සූත්රයෙහි - ලොකෙ යන මෙහි සත්ත්වලෝකය, සංස්කාර ලෝකය, අවකාශ ලෝකයයි ලෝක තුනකි. ඒවා අතරින් පරම්පරා වශයෙන් පවත්නා වූ ඉන්ද්රියබද්ධ වූ රූප ධර්මයන්ගේ ද අරූප ධර්මයන්ගේ ද රූප අරූප ධර්මයන්ගේ ද සමූහය සත්ත්වලෝකයයි. පෘථිවිය පර්වත ආදී ප්රභේද ඇත්තේ අවකාශ ලෝකයයි. ඒ ලෝක දෙකෙහිම ස්කන්ධයන් සංස්කාර ලෝකයයි. ඒවා අතරින් සත්ත්ව ලෝකය මෙහි අදහස් කරන ලදී. එහෙයින් ‘ලොකෙ’ යනු සත්ත්ව ලෝකයෙහි. එහි ද දෙව්ලොවෙහි නොවේ. බඹලොවෙහි නොවේ. මිනිස්ලොවෙහිය. අනිත් සක්වළක ඇති මිනිස්ලොවක ද නොවේ. මේ සක්වළෙහිමය. එහිද හැමතැනම නොවේ. නැගෙනහිර දිශාවෙහි කජංගල නම් නියම්ගම ඇත. එයට පසු මහාසාලා නියම්ගමය. ඉන් එහා ප්රත්යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. ගිනිකොන දිශාවෙන් සල්ලවතී නම් නදිය ඇත. ඉන් එහා ප්රත්යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. දකුණු දිශාවෙහි සේතකණ්ණික නම් නියම්ගම ඇත. ඉන් එහා ප්රත්යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. බටහිර දිශාවෙහි ථූන නම් බමුණුගම ඇත. ඉන් එහා ප්රත්යන්ත ජනපද ඇත. ඉන් මෙහා ඇතුළත. උතුරු දිශාවෙහි උසීරද්ධජ නම් පර්වතය ඇත. ඉන් එහා ප්රත්යන්ත ජනපද ඇත. ඉන් මෙහා මැද යනුවෙන් සීමා කරන ලද දිගින් යොදුන් තුන්සියයක් වූ පළලින් යොදුන් දෙසිය පණහක් වූ වටේට යොදුන් නවසියයක් වූ මධ්යම දේශයෙහි තථාගතයන් වහන්සේ උපදිති. හුදෙක් තථාගතයන් වහන්සේ පමණක්ම නොවේ. පසේබුදුවරු අග්රශ්රාවකයන් වහන්සේලා, අසූමහා ශ්රාවකයන් වහන්සේලා බුද්ධමාතාව, බුද්ධ පියා, සක්විති රජවරු, අනිකුත් සාරබවට පත් බ්රාහ්මණ ගෘහපතීහු ද මෙහිම උපදිති. මෙහි වනාහි තථාගත වාරයෙහිම සියලු තැන් වශයෙන් මේ ක්රමය ලැබේ. අන් වාරවල එක් කොටසක් වශයෙන් ලැබේ.
උප්පජ්ජමානා උප්පජ්ජන්ති යන මේ වචන දෙකම නිම නොකළ (අඩාළ) වචනමය. උපදින්නාහු බහුජන හිත පිණිස උපදිති. අනිත් කරුණකින් නොවේ යයි මෙසේ මෙහි අර්ථය දතයුතුය. මෙබඳු වූ මෙහි ලක්ෂණය අනිත් ශබ්ද ලක්ෂණයකින් වලක්වන්නට නොහැකිය.
තවද උපදිමින් (උප්පජ්ජමානා) යනුවෙන් ද උපදිති (උප්පජ්ජන්ති) යනුවෙන් ද උපන් (උප්පන්නා) යනුවෙන්දැයි මේ ප්රභේදය දතයුතුය. තථාගතයන් වහන්සේ වනාහි මහාභිනීහාරය (මහා ප්රාර්ථනාව) කරමින්, බුදුබව ඇතිකරන ධර්ම සොයමින්, පාරමී පුරමින්, පස්මහ තෑගි පරිත්යාග කරමින්, ඤාතත්ථචර්යාව, ලෝකාර්ථ චර්යාව, බුද්ධි චර්යාව මුදුන් පමුණුවමින්, පාරමී පුරා තුසිත භවනයෙහි සිටිමින් එයින් බැස අවසන් භවයෙහි පිළිසිඳ ගනිමින්, ගිහි ජීවිතය ගතකරමින්, අබිනික්මන් කරමින්, මහත් වූ වීර්යය වඩමින්, මෝරාගිය ඤාණය ඇත්තාහු බෝමැඩට නැගී මාර බලය විනාශ කරමින්, ප්රථම යාමයෙහි පූර්වේනිවාසය සිහිකරමින්, මධ්යම යාමයෙහි දිවැස පිරිසිදු කරමින්, පශ්චිම යාමයෙහි පටිච්ච සමුප්පාදයෙහි නුවණ යොදවා නොයෙක් ආකාරයෙන් සියලු සංස්කාර විමසා බලා සෝවාන් මාර්ගය අවබෝධ කරමින්, අනාගාමි ඵලය ප්රත්යක්ෂ කරනතාක් උපදිමින් (උප්පජ්ජමානො) නම් වෙයි. අර්හත් මාර්ග ක්ෂණයෙහි උපදී (උප්පජ්ජති) නම් වෙයි. අර්හත් ඵලය ලබන ක්ෂණයෙහි වනාහි උපන්නේ (උප්පන්නො) නම් වෙයි. ශ්රාවකයන්ට මෙන් පිළිවෙළින් ඍද්ධිවිධ ඥාන ආදිය උපදවන කාර්යයක් බුදුවරුන්ට නැත. අර්හත් මාර්ගයත් සමගම බුදුගුණ රාශි සියල්ල පැමිණියේ වෙයි. එහෙයින් උන්වහන්සේලා උපන් සියලු කටයුතු ඇති බැවින් අර්හත්ඵලය ලබන මොහොතෙහි උපන්නාහු (උපන්න) නම් වෙති. මෙහි අර්හත්ඵලය ලබන මොහොත සඳහා උපදිත් (උප්පජ්ජන්ති) යනුවෙන් කියන ලදී. උපන්නාහු වෙති යන මෙය මෙහි අර්ථයි.
ක්ෂීණාශ්රව ශ්රාවකයා ද ශ්රාවක බෝධියට හේතු වූ පින් රැස් කරමින් පූර්වයෝග පූර්ව චර්යා ගත පච්චාගත (යාමේදී - ආපසු ඒමේදී පුරන) වත පුරමින් අන්තිම භවයෙහි උපදින්නේ අනුපිළිවෙළින් නුවණැති බවට පැමිණ සසර ආදීනව දැක පැවිදිවීමට සිතමින් පැවිද්ද මුදුන්පමුණුවා ශීලාදිය සම්පූර්ණ කරමින් ධුතංග සමාදන්ව පවතිමින් (සිටිමින්) නිදි වැරීමෙහි යෙදෙමින් ධ්යාන උපදවමින් විදර්ශනාව පටන්ගෙන පහළම (සෝවාන්) මාර්ගය ලබන්නේ ද ‘උපදිමින්’ නම් වෙයි. අර්හත් මාර්ග ක්ෂණයෙහි දී උපදී නම් වෙයි. අර්හත් ඵලය ලබන ක්ෂණයෙහි ‘උපන්නේ’ නම් වෙයි. ශෙයා වනාහි පෙර කටයුතු පටනීමේ සිට ගොත්රභූ ඥානය තෙක් උපදිමින් නම් වෙයි. පළමු මාර්ග ක්ෂණයෙහි ‘උපදී’ නම් වෙයි. පළමු ඵලය (සෝවාන් ඵලය) ලැබුණු තැන් පටන් උපන්නේ නම් වෙයි. මෙපමණකින් “තයො මෙ භික්ඛවෙ පුගගලා ලොකෙ උප්පජ්ජමානා උප්පජ්ජන්ති” යන පදවල අර්ථය කියන ලද්දේ වෙයි.
දැන් ‘බහුජන හිතාය’ යනාදියෙහි බහුජන හිතාය යනු මහජනයාගේ හිත (යහපත) පිණිස. බහුජනසුඛාය යනු මහජනයාගේ සැප පිණිස. ලොකානුකම්පාය යනු සත්ත්වලෝකයට අනුකම්පා පිණිස. කුමන සත්ත්ව ලෝකයාට ද? යමෙක් තථාගතයන් වහන්ගේ ධර්මය අසා ධර්මය අවබෝධ කරයි ද අමාපැන් පානය කරයි ද ඒ සත්ත්ව ලෝකයට (අනුකම්පා පිණිස). භාග්යවතුන් වහන්සේගේ ධම්මචක්කප්පවත්තන සූත්ර දේශනාවෙන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ ප්රමුඛ දහඅට කෝටියක් බ්රහ්මයෝ ධර්මය අවබෝධ කළහ. මෙසේ සුභද්ද පරිබ්රාජකයාගේ හික්මීම තෙක් ධර්මය අවබෝධ කළ සත්ත්වයන්ගේ ගණනක් නැත. මහා සමය සූත්ර දේශනාව, මහාමංගල සූත්ර දේශනාව, චුල්ල රාහුලෝවාද සූත්ර දේශනාව, සමචිත්ත සූත්ර දේශනාව යන මේ ස්ථාන සතරෙහි දී ධර්මය අවබෝධ කළ සත්ත්වයන්ගේ සීමාවක් නැත.
මෙසේ මේ අප්රමාණ වූ සත්ත්වලෝකයට අනුකම්පා පිණිස, ශ්රාවක රහතන් වහන්සේගේ ද ශෛක්ෂයාගේ ද උපත ලෝකානුකම්පාව පිණිසය. ධර්ම සේනාපති ආදී රහතන් වහන්සේලා විසින් ද ධර්ම භාණ්ඩාගාරික ආදී තෙරුන්වහන්සේලා විසින් ද දේශනා කරන ලද දේශනාවලින් ධර්මය අවබෝධයට පත් සත්ත්වයන්ගේ වශයෙන් ද පසුකල මහා මහින්ද ආදී තෙරුන්වහන්සේලා විසින් ද දේශනා කරන ලද දේශනාවලින් අවබෝධ කරන ලද සත්යයන්ගේ (සත්ත්වයන්ගේ) වශයෙන් අද තෙක් ද මෙයින් පසු අනාගතයෙහි ද ශාසනය නිසා ස්වර්ග-මෝක්ෂ මාර්ගයන්හි පිහිටන්නගේ වශයෙන් ද මේ අර්ථය දතයුතුය.
තවද ‘බහුජන හිතාය’ යනු බොහෝ ජනයාට හිත පිණිස උන්වහන්සේලාගේ ප්රඥා සම්පත්තිය කරණකොට මෙලොව පරලොව හිත පිණිස උපදේශකයාය. ‘බහුජන සුඛාය’ යනු බොහෝ ජනයාට සැප පිණිස - ත්යාග සම්පත්තිය කරණකොට උපකරණ සැප සම්පත් දායකයාය. ‘ලොකානුකම්පාය’ යනු ලෝකයාට අනුකම්පා පිණිස - මෛත්රී කරුණා සම්පත්තිය කරණකොට මව්පියන් මෙන් ලෝකයාගේ ආරක්ෂකයෝය. ගෝපිතයෝ ය. අත්ථාය හිතාය සුඛාය දෙවමනුස්සානං, යන මෙහි දෙව් මිනිසුන් ගැනීමෙන් සුදුසු (භබ්බ) පුද්ගලයන් හික්මවීමට සුදුසු (වෙනෙය්ය) සත්ත්වයන්ම ගෙන පළමු වාරයෙහි දී ඔවුන්ගේ නිවන් - මග - ඵල ලැබීම පිණිස තථාගතයන් වහන්සේගේ උපත දක්වන ලදී. දෙවන තෙවන වාරවලදී වනාහි රහතන් වහන්සේගේ ද ශෛක්ෂයාගේ ද වශයෙන් යෙදිය යුතුය. එහි ‘අත්ථාය’ යනු මේ පරම අර්ථය වූ නිවන පිණිසයයි කියන ලද්දේ වෙයි. ‘හිතාය’ යනු එයට පමුණුවන මාර්ගය පිණිස යයි කියන ලද්දේ වෙයි. නිවනට පමුණුවන මාර්ගයට වඩා උතුම් යහපතක් නම් නැත. ‘සුඛාය’ යනු ඵල සමාපත්ති සැප පිණිසයයි ඊට වඩා උසස් සැපයක් නැති බැවින් කියන ලද්දේ වෙයි. මේ කාරණය ‘අයං සමාධි පච්චුප්පන්න සුඛො ඩෙව ආයතිඤ්ච සුඛ විපාකො’ ‘මේ සමාධිය වත්මනෙහි සැප ද මතු සැප විපාක ද (වෙයි).