3. දෙවශබ්ද සූත්‍ර වර්ණනාව
තුන්වන සූත්‍රයෙහි දෙවෙසු යනු අරූපාවචර දෙවියන් ද අසඤ්ඤ දෙවියන් ද හැර අනිත් උත්පත්ති දෙවියන් අතර. දෙවසද්දා යනු දෙවියන්ගේ ප්‍රීතිය පළකරන ශබ්ද. නිච්ඡරන්ති යනු ඔවුනොවුන් අල්ලාප සල්ලාප වශයෙන් පවත්වති. සමයාසමයං උපාදාය යනු කලින් කල සලකා බලා මේ අදහස කියන ලද්දේ වෙයි. යම්කලෙක සිටියා වූ ඒ දෙවියෝ ඒ කාලයට පැමිණ ඔහු දකින්නාහ, එතැන් පටන් ඒ සපැමිණි කාලයට අවුත්. ‘සමයං සමයං උපාදාය’ යනුවෙන් ද ඇතැමෙක් කියති. ඒ වචනවල ඇත්තේ ඒ ඒ කාලය සලකා යන අර්ථයි.
යස්මිං සමයෙ යනු යම්කලෙක්හි (එනම්) ‘අට්ඨිකංඛලූපමා කාමා’ ‘කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තෝය’ යනාදියෙන් ද ‘සම්බාධො ඝරාවාසො’ ‘ගිහිගෙයි වාසය බාධා සහිතය’ යනාදියෙන් ද කාමයන්හි ද ගිහිගෙයි වාසයෙහි ද ආදීනව (දොස්) ද එයට විරුද්ධ පක්ෂයෙන් කාමයන්ගෙන් නික්මීමේ අනුසස් ද මැනවින් දක්නා ලද්දේ වේද ඒ කාලයෙහි. එකල්හි ඒකාන්තයෙන් පැවිද්ද පිණිස ඔහුගේ සිත නැමෙයි. අරියසාවකො යනු ආර්ය වූ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්රාවකයා, ශ්‍රාවකභාවයට එළඹෙනු කැමති තැනැත්තා නැතහොත් නොවරදවාම ආර්ය ශ්‍රාවකයෙක් වන තැනැත්තා, අන්තිම භවික ශ්‍රාවක වූ බෝධිසත්ත්වයා සඳහා මේ ආරම්භයයි. කෙසමස්සුං ඔහාරෙත්වා යනු කෙසේද රැවුල් ද බූගා දමා, ඉවත්කොට. කාසායානි වත්ථානි අච්ඡාදෙත්වා යනු කහටින් සායම් පෙවූ බැවින් කාසායානි කසාවත්, බඹසර හැසිරෙන්නවුන්ට සුදුසු වස්ත්‍ර හැඳ පොරවා. අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය චෙතෙති යනු ගිහිගෙයින් නික්ම අනගාරික පැවිද්දට පත්වන්නෙමියි පැවිද්ද පිණිස සිතයි, කල්පනා කරයි, පැවිදි වෙයි යන අර්ථයි. මෙහි ගිහිගෙට (ගිහි ජීවිතයට = අගාරයට) යහපත් වූ ගොවිතැන් වෙළඳාම් ආදී කටයුතු ‘අගාරි’ යයි කියනු ලැබේ. එය ද පැවිද්දෙහි නැත. එහෙයින් පැවිද්ද ‘අනගාරිය’යි දතයුතුය.
මාරෙන යනු කෙලෙස් මාරයා සමග. සංගාමාය චෙතෙති යනු යුද පිණිස සිතක් උපදවයි. මාරයා පරාජය කිරීමට යුද ඇඳුම් ඇඳගනී. යම් හෙයකින් මෙසේ පිළපදින පුද්ගලයාට දේවපුත්ත මාරයා ද අනතුරු කිරීම පිණිස උපක්‍රම කරයි. එහෙයින් ‘මාරෙන’ යන මෙහි දේවපුත්‍ර මාරයා සමග ද යන අර්ථය දතයුතුය. මේ මාරයා ඔහුගේ බලාපොරොත්තු විනාශ කරන්නේමය. යම්හෙයකින් පැවිදි වූ දිනයේ පටන් හෝ හිස රැවුල් බෑමේ පටන් හෝ සිල් සමාදන් වෙමින් පිරිසිදු කරමින් සමථ විදර්ශනාවන්හි ක්‍රියා කරමින් සුදුසු පරිදි තදංග ප්‍රහාණ, විෂ්කම්භන ප්රහාණයන්ගේ වශයෙන් ක්ලේශ මාරයා හෙළාදමයි. ප්‍රහාරයක් නැති බැවින් යුද්ධ කිරීමක් නම් නැත. එහෙයින් ‘මාරෙන සද්ධිං සංගාමාය චෙතෙති’ ‘මාරයා සමග යුද පිණිස සිතයි’ යනුවෙන් කියන ලදී.
සත්තන්නං යනු කොටස් වශයෙන් සතක්. ප්‍රභේද වශයෙන් ඒවා වනාහි තිස්හතක් වෙයි. කෙසේද? ‘සතර සතිපට්ඨාන, සතර සම්‍යක්පධාන, සතර සෘද්ධිපාද, පංච ඉන්ද්රිය, පංචබල, සත්තබොජ්ඣංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය’ යනුයි. මෙසේ ප්‍රභේද වශයෙන් තිස්හත් ආකාර ද සතිපට්ඨානාදී කොටස් වශයෙන් හතක්ම වේ යයි ‘සත්තන්නං’ යනුවෙන් කියන ලදී. බොධිපක්ඛියානං යනු අවබෝධ කරන අර්ථයෙන් බෝධි යනුවෙන් ලබන ලද නම් ඇති ආර්ය පුද්ගලයාගේ මාර්ගඥානයට හෝ (බෝධි) පක්ෂයෙහි වූයේ = බෝධිපක්ඛියානං, බෝධි කොටසෙහි වූ යන අර්ථයි. ‘බෝධි පක්ඛිකානං’ යනු ද පාඨයකි. බෝධි පක්ෂයෙහි ඇති හෝ බෝධි පක්ෂයෙහි යෙදුනා වූ යන අර්ථයි. භාවනානුයොග මනුයුත්තො යනු විදර්ශනාවට උත්සාහකොට ආර්යමාර්ග භාවනාවෙහි යෙදුනේ. විදර්ශනා කරන මොහොතෙහි සතිපට්ඨානාදිය පරියායෙන් (අප්‍රධාන වශයෙන්) බෝධිපක්ඛිය නමි. (සෝවාන් ආදී) මාර්ගයට පත්වන මොහොතෙහි ඒවා වනාහි නිප්පරියායෙන් (ප්‍රධාන වශයෙන්) බෝධිපක්ඛිය නම් වෙයි.
ආසවානං ඛයා යනු කාම ආසව ආදී සියලු ආශ්‍රවයන්ගේ ගෙවීයාමෙන්, ආශ්‍රවයන් ගෙවුණු කල්හි සියලු කෙලෙස් ගෙවුනේම වෙයි. එයින් අර්හත් මාර්ගය කියන ලද්දේ වෙයි. අනාසවං යනු ආශ්‍රව රහිත. චෙතො විමුත්තිං පඤ්ඤා විමුත්තිං යන මෙහි ‘චෙතො’ යන වචනයෙන් අර්හත්ඵල සමාධිය ද පඤ්ඤා යන වචනයෙන් එය (ඒ සමාධිය) සමග යෙදුණු ප්‍රඥාව ද කියන ලදී. එහි සමාධිය රාගයෙන් මිදුණු බැවින් චෙතො විමුක්ති යයි ද ප්‍රඥාව අවිද්‍යාවෙන් මිදුණු බැවින් පඤ්ඤා විමුත්ති යයි ද දතයුතුය. භාග්‍යවතුන් වහන්සේ විසින් -
‘යො හිස්ස භික්ඛවෙ සමාධි, තදස්ස සමාධින්ද්රියං, යා හිස්ස භික්ඛවෙ පඤ්ඤා, තදස්ස පඤ්ඤින්ද්රියං. ඉති ඛො භික්ඛවෙ රාග විරාගා චෙතො විමුත්ති, අවිජ්ජා විරාගා පඤ්ඤා විමුත්ති’ ‘මහණෙනි. ඔහුගේ යම් සමාධියක් ඇද්ද එය ඔහුගේ සමාධින්ද්රියයි. මහණෙනි, ඔහුගේ යම් ප්‍රඥාවක් ඇද්ද එය ඔහුගේ පඤ්ඤින්ද්රියයි. මහණෙනි, මෙසේ රාගයේ නො ඇල්මෙන් චෙතො විමුත්තිය ද අවිද්‍යාවේ නො ඇලීමෙන් පඤ්ඤා විමුත්තිය ද වේ.