2. සත්කාර සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයෙහි - සක්කාරෙන යනු සත්කාරයට හේතු වූ දෙයින්. නැතහොත් ‘සක්කාරෙන’ යනු සත්කාර හේතුවෙන් හෝ සත්කාරයට හේතු වූ මුල් කාරණයෙන්. සත්කාරය නිසා මෙලොව ඇතැම් පුද්ගලයෝ ලාමක අදහස් ඇත්තාහු, ආසාවෙන් යුක්ත වූවාහු කැමති හැසිරීමෙහි සිට සත්කාර උපදවන්නෙමුයි නොයෙක් ආකාර නුසුදුසු වැරදි සෙවීම්වලට පැමිණ මෙලොවින් චුත වූවාහු අපායවල උපදිති. අන් අය කැමති පරිදි සත්කාර ලබා එය නිමිතිකොට මානයට - මදයට මසුරුකමට ආදී වශයෙන් ප්‍රමාදයට පැමිණ මෙලොවින් චුත වූවාහු අපායවල උපදිති. ‘සක්කාරෙන අභිභූතා පරියාදින්න චිත්තා’ යන්න ඒ සඳහා කියන ලදී. එහි අභිභූතා යනු මැඩගත්. පරියාදින්නචිත්තා යනු ක්‍ෂය කර ගන්නා ලද සිත් ඇති, කැමති හැසිරීමෙන් ද මාන-මද ආදියෙන් ද ක්‍ෂයවීමට පත්කරන ලද කුසල සිත් ඇති. නැතහොත් ‘පරියාදින්නචිත්තා’ යනු හාත්පසින් ඇදගන්නා ලද සිත් ඇති, කියන ලද ආකාර ඇති අකුසල කොටසින් කුසල සිතේ හටගැනීම නොවේ ද එසේ හාත්පසින් ගන්නා ලද චිත්ත සන්තාන ඇති යන අර්ථයි. අසක්කාරෙන යනු තමා කෙරෙහි පවතින අසත්කාර හේතුවෙන් හෝ අසත්කාරයට හේතුවන මුල් කාරණය වන මාන ආදියෙන් අනුන් විසින් පිළිකුල් කොට පරිභවකොට සක්කාරෙන අසක්කාරෙන ච යනු යම්කිසි පුද්ගලයන් විසින් පවත්වන ලද සත්කාරයෙන් ද යම්කිසි පුද්ගලයන් විසින් පවත්වන ලද අසත්කාරයෙන් ද, යම්කිසි පුද්ගලයන් විසින් පළමුව සත්කාර කරන ලද්දාහු වී ඔවුන් විසින්ම ශ්‍රද්ධාව නැති බව ආදිය දැන පසුව සත්කාර නොකරන ලද්දාහු වෙති. එබඳු අය සඳහා ‘සක්කාරෙන ච අසක්කාරෙන ච’ යනුවෙන් කියන ලදී.
එහි සත්කාරයෙන් මැඩගත් දෙව්දත් ආදී අය නිදසුන් ලෙස දැක්විය යුතුය. මේ කාරණය
ඵලං වෙ කදලිං හන්ති ඵලං වෙළුං ඵලං නළං
සක්කාරො කාපුරිසං හන්ති ගබ්හො අස්සතරිං යථා
‘යම්සේ (කෙසෙල් කැන නම් වූ) ඵලය කෙසෙල්ගස නසයි ද ඵලය උණගස නසයි ද ඵලය බටගස නසයි ද (වෙළඹගේ) ගබ වෙළඹ නසයි ද එම සත්කාරය නරක පුරුෂයා නසයි.’
සත්පුරුෂයන් කෙරෙහි කරන ලද අසත්කාරයෙන් මැඩගත් දණ්ඩකී රජ කාලිංග රජ, මෙජ්ඣ රජ ආදීහු නිදසුන් ලෙස දැක්විය යුතුය. මේ කාරණය (මෙසේ) කියන ලද්දේය -
කිසං හි වච්ඡං අවකිරිය දණ්ඩකී
උච්ඡින්නමූලො සජනො සරට්ඨො
කුක්කුලනාමෙ නිරයම්හි පච්චති
තස්ස පුලිංගානි පතන්ති කායෙ
දණ්ඩකී නම් රජතෙම කිසවච්ඡ නම් තාපසයාට අවමන් කොට සපිරිවරින් රටවැසියා සහිතව සිඳින ලද මුල් ඇත්තේ (පිහිටක් නැතිව) කුක්කුල නම් නරකයෙහි පැසෙයි. ඔහුගේ සිරුරෙහි සහළඟුරු වැටේ.
යො සඤ්ඤතෙ පබ්බජිතෙ අවඤ්චයී
ධම්මං භණන්තෙ සමණෙ අදූසකෙ
තං නාලිකීරං සුනඛා පරත්‍ථ
සංගම්ම ඛාදන්ති විඵන්‍දමානං
යම් රජෙක් කිසිවකුට දුෂ්ට චේතනා පහළ නොකළ සන්සිඳුවන ලද පව් ඇති (දශකුශල නම් වූ) බණ දේශනා කරන්නා වූ සංයත වූ නිරපරාධ වූ පැවිද්දන් වෙහෙසූයේ ද වැලපෙන්නා වූ ඒ නාලිකීර නම් රජ පරලොවෙහිදී සුනඛයෝ රැස්ව කා දමති. එසේම :
උපහච්ච මානං මෙජ්ඣො
මාතංගස්මිං යස්සසිනෙ
සපාරිසජ්ජො උච්ජින්නො
මෙජ්ඣරඤ්ඤං තදා අහු
යසස් ඇති මාතංග ඍෂිවරයා කෙරෙහි සිත දූෂ්‍ය කරගත් මෙධ්‍ය රජ තෙමේ පිරිස් සහිතව සිඳී ගියේය. එකල්හි මෙධ්‍යාරණ්‍යය ඇති විය.
සත්කාරයෙන් ද අසත්කාරයෙන් ද මැඩගත්තා වූ අන්‍ය තීර්ථක (නිගණ්ඨ) නාථපුත්ත ආදී අය නිදසුන් ලෙස දැක්විය යුතුය.
ගාථාවන්හි උභයං යනු සත්කාරයෙන් ද අසත්කාරයෙන් ද යන දෙකින් සමාධි න විකම්පති යනු නො සෙල්වෙයි. එකඟ බවෙන්ම සිටියි. කවරෙකුගේ (සමාධිය) නො සෙල්වෙයි ද? අප්පමාණ විහාරිනො යනු යම් කෙනෙක් ප්‍රමාණකර ධර්ම වූ රාගාදිය මනාව ප්‍රහීණ වූ බැවින් අප්‍රමාණවිහාරී වූ රහතන් වහන්සේ නමක් වෙත් ද උන්වහන්සේගේ යයි කීහ. උන්වහන්සේ (අට) ලෝදහමින් කම්පා නොවෙති. සුඛුමදිට්ඨි විපස්සකං යනු ඵලසමාපත්ති ලැබීම සඳහා සියුම්ව දකින ප්‍රඥාවෙන් නිතර පවත්වන ලද විදර්ශනාව ඇති බැවින් සුඛුමදිට්ඨි විපස්සක නම් වේ. උපාදානක්‍ඛයාරාමං යනු සතර උපාදානයන්ගේ ක්‍ෂය වීම වූ අවසානය වූ අර්හත්ඵලයට මොහුගේ ඇලීම (ආරමිතබ්බං) යන අරුතින් උපාදානක්‍ඛයාරාම නම් වේ. ඉතිරිය කියන ලද අයුරින් දත යුතුය.
දෙවන සූත්‍රයයි.
3. දෙවශබ්ද සූත්‍ර වර්ණනාව
තුන්වන සූත්‍රයෙහි දෙවෙසු යනු අරූපාවචර දෙවියන් ද අසඤ්ඤ දෙවියන් ද හැර අනිත් උත්පත්ති දෙවියන් අතර. දෙවසද්දා යනු දෙවියන්ගේ ප්‍රීතිය පළකරන ශබ්ද. නිච්ඡරන්ති යනු ඔවුනොවුන් අල්ලාප සල්ලාප වශයෙන් පවත්වති. සමයාසමයං උපාදාය යනු කලින් කල සලකා බලා මේ අදහස කියන ලද්දේ වෙයි. යම්කලෙක සිටියා වූ ඒ දෙවියෝ ඒ කාලයට පැමිණ ඔහු දකින්නාහ, එතැන් පටන් ඒ සපැමිණි කාලයට අවුත්. ‘සමයං සමයං උපාදාය’ යනුවෙන් ද ඇතැමෙක් කියති. ඒ වචනවල ඇත්තේ ඒ ඒ කාලය සලකා යන අර්ථයි.
යස්මිං සමයෙ යනු යම්කලෙක්හි (එනම්) ‘අට්ඨිකංඛලූපමා කාමා’ ‘කාමයෝ ඇටසැකිල්ලකට බඳු උපමා ඇත්තෝය’ යනාදියෙන් ද ‘සම්බාධො ඝරාවාසො’ ‘ගිහිගෙයි වාසය බාධා සහිතය’ යනාදියෙන් ද කාමයන්හි ද ගිහිගෙයි වාසයෙහි ද ආදීනව (දොස්) ද එයට විරුද්ධ පක්‍ෂයෙන් කාමයන්ගෙන් නික්මීමේ අනුසස් ද මැනවින් දක්නා ලද්දේ වේද ඒ කාලයෙහි. එකල්හි ඒකාන්තයෙන් පැවිද්ද පිණිස ඔහුගේ සිත නැමෙයි. අරියසාවකො යනු ආර්ය වූ භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා, ශ්‍රාවකභාවයට එළඹෙනු කැමති තැනැත්තා නැතහොත් නොවරදවාම ආර්ය ශ්‍රාවකයෙක් වන තැනැත්තා, අන්තිම භවික ශ්‍රාවක වූ බෝධිසත්ත්වයා සඳහා මේ ආරම්භයයි. කෙසමස්සුං ඔහාරෙත්‍වා යනු කෙසේද රැවුල් ද බූගා දමා, ඉවත්කොට. කාසායානි වත්‍ථානි අච්ඡාදෙත්‍වා යනු කහටින් සායම් පෙවූ බැවින් කාසායානි කසාවත්, බඹසර හැසිරෙන්නවුන්ට සුදුසු වස්ත්‍ර හැඳ පොරවා. අගාරස්මා අනගාරියං පබ්බජ්ජාය චෙතෙති යනු ගිහිගෙයින් නික්ම අනගාරික පැවිද්දට පත්වන්නෙමියි පැවිද්ද පිණිස සිතයි, කල්පනා කරයි, පැවිදි වෙයි යන අර්ථයි. මෙහි ගිහිගෙට (ගිහි ජීවිතයට = අගාරයට) යහපත් වූ ගොවිතැන් වෙළඳාම් ආදී කටයුතු ‘අගාරි’ යයි කියනු ලැබේ. එය ද පැවිද්දෙහි නැත. එහෙයින් පැවිද්ද ‘අනගාරිය’යි දතයුතුය.