10. දෙවදත්ත සූත්ර වර්ණනාව
දසවන සූත්රයෙහි ‘තීහි භික්ඛවෙ අසද්ධම්මෙහි අභිභූතො’ යන මෙහි උපත කුමක් ද? දෙව්දත් අවීචි මහා නිරයට පිවිසි කල්හි දේවදත්ත පාක්ෂික අන්ය තීර්ථකයෝ ද ශ්රමණ ගෞතමයන් විසින් ශාපකරන ලද දෙව්දත් පොළොව තුළට පිවිසියේ යයි බොරුවෙන් චෝදනා කළහ. එය අසා සසුනෙහි නො පැහැදුනා වූ මිනිස්සු මොවුන් කියන පරිදි මෙසේ මේ කාරණය සිදුවීදැයි සැක ඉපිදවූවාහුය. ඒ පුවත භික්ෂූහු භාග්යවතුන් වහන්සේට දැන්වූහ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ මහණෙනි, තථාගතයන් වහන්සේ කිසිවකුටත් ශාප නොදෙති. එහෙයින් දේවදත්ත මා විසින් ශාප නොකරන ලද්දේය. තමාගේ කර්මයෙන්ම නිරයට පිවිසියේ යයි වදාරා ඔවුන්ගේ වැරදි අදහස ප්රතික්ෂේප කරමින් මේ කාරණය මුල්කොට මේ සූත්රය වදාළහ.
එහි අසද්ධම්මෙහි යනු අසත්පුරුෂ ධර්මවලින් හෝ ශාන්ත නොවන ධර්මවලින්. අතෙකිච්ඡො යනු බුදුරජාණන් වහන්සේලා විසින්ද අවීචියෙහි ඉපදීමෙන් නොවැළැක්විය හැකි බැවින් පිළියම් නැති හෙයින් පිළියම් නොකළ හැක්කේ වෙයි. පිළියම් කිරීමට නුසුදුසු වූයේ යන අර්ථයි. නැති ගුණ වෙනුවෙන් ගෞරව ලැබීමේ අදහසින් පැවති ලාමක (පහත්) කැමැත්ත මොහුට ඇත්තේය යන අරුතින් පාපිච්ඡො නම් වෙයි. ඒ පහත් කැමැත්ත ඇති බව පාපිච්ඡතා ය. මම බුදු වන්නෙමි, සංඝයා පරිහරණය (පාලනය) කරන්නෙමියි යනුවෙන් ඔහුට කැමැත්තක් උපන්නේය. කෝකාලික ආදී වූ පාපී ලාමක මිත්රයෝ මොහුට ඇත්තාහුය යන අරුතින් පාපමිත්රයාය. ඔහුගේ පාප මිත්රයන් ඇති බව පාපමිත්තතාය. ඒ පාපමිත්ර භාවයෙන්. උත්තරිං කරණීයෙ යනු ධ්යාන අභිඥාවන්ගෙන් මත්තෙහි කළයුතු - ලැබිය යුතු මාර්ගඵල නොලැබූ කල්හිම එය නොලැබ (අවබෝධ නොකොට) යන අර්ථයි. ඔරමත්තකෙන යනු අල්පමාත්ර වූ ධ්යාන අභිඥා මාත්රයෙන්. විසෙසාධිගමෙන යනු උත්තරී මනුෂ්ය ධර්ම ලැබීමෙන්. අන්තරා යනු මැද්දෙහි. වොසානං ආපාදි යනු (අර්හත්වය ලැබීමෙන්) කටයුතු නිම නොකළ කෙනෙක්ව සිටිමින්ම කටයුතු නිමකළ (අර්හත්වය ලැබූ) කෙනෙක් වෙමියි සිතමින් ශ්රමණ ධර්මයෙන් විනාශයට පැමිණියේයෙ. මෙසේ භාග්යවතුන් වහන්සේ මේ සූත්රයෙන් විශේෂ වශයෙන් පෘථග්ජන භාවයෙහි ආදීනව (දොස්) ප්රකාශ කළහ. යම්හෙයකින් ධ්යනාභිඥාවන් කෙළවර කොට ඇති සම්පත් උපදවා ගෙනත් නොයෙක් අනර්ථ ගෙන දෙන නොයෙක් නොයෙක් දුකට හේතු වූ නැති ගුණ වෙනුවෙන් ගෞරව අපේක්ෂාව ද අසත්පුරුෂයන් සමග ගැවසීමද අලසකමින් යුක්ත වීමද දුරුනොකරන තැනැත්තා අවීචියෙහි කල්පයක් සිටින පිළියම් කළ නොහැකි දරුණු දුක් රැස් කරන්නේය. එහෙයින් පෘථග්ජන බව බැරෑරුම්ය.
ගාථාවන්හි මා යනු ප්රතික්ෂේප කිරීමෙහි නිපාතයකි. ජාතු යනු ඒකාන්තයෙන්. කොචි යනු සියල්ල ඇතුළත් (සබ්බ සංගාහක) වචනයකි. ලොකස්මිං යනු සත්ත්ව ලෝකයෙහි. මේ සත්ත්ව ලෝකයෙහි කිසියම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් ලාමක (පහත්) ආසා ඇත්තෙක් (පාපිච්ඡයෙක්) නොවේවා යන මෙය කියන ලද්දේ වෙයි. තදමිනාපි ජානාථ පාපිච්ඡානං යථා ගති යනු පහත් ආසා ඇති පුද්ගලයන්ගේ ‘යථා ගති’ යම්බඳු උපතක්, යම් බඳු පරලොවක් ඇද්ද එය මේ කාරණයෙන් ද දැනගනිව් යනුවෙන් දෙව්දත් දක්වමින් මෙසේ වදාළහ. පණ්ඩිතොති සමඤ්ඤාතො යනු (බුද්ධ වචනය නම් වූ) පර්යාප්ති බහුශ්රැතභාවයෙන් පණ්ඩිතයයි දන්නා ලද. භාවිතත්තොති සම්මතො ධ්යාන-අභිඥාවන්ගෙන් වඩන ලද සිත් ඇති කෙනෙකැයි ගෞරවයට භාජනය වූ. එය එසේමය. ඒ දෙව්දත් තෙර පෙරදී ‘ගොධි පුත්රයා මහත් ඍද්ධි ඇත්තේය. ගොධිපුත්රයා (දෙව්දත්) මහත් ආනුභාව ඇත්තේය’යි ධරම සේනාපති සැරියුත් මහරහතන් වහන්සේ විසින් ප්රශංසා කරන ලද්දේ විය. ජලංව යස්සා අට්ඨා දෙවදත්තොති විස්සුතො යනු තමාගේ කීර්තියෙන් පිරිවරින් දිලිසෙන්නාක් මෙන් බබලන්නාක් මෙන් සිටියා වූ දෙව්දත් යනුවෙන් මෙසේ ‘විස්සුතො’ ප්රකට විය. ‘මෙ සුතන්ති’ යනුද පාඨයකි. මා විසින් අසන ලද ඇසීම් මාත්රයකි. දින කීපයකින්ම (දෙව්දත්) එසේ වූ බැවින් ඔහුගේ ඒ පණ්ඩිත බව ආදිය ඇසීම් මාත්රයක්ම විය යන අර්ථයි.