9. ධාතුසංස්යන්දන සූත්ර වර්ණනාව
නවවන සූත්රයෙහි ධාතුසො යනු ධාතු වශයෙන්, ධාතු යනු අධ්යාශය ධාතු, අදහසේ ස්වභාවය අදහස් කරන ලදී. අධිමුත්ති යනුවෙන් ද කියනු ලැබේ. සංසන්දන්ති යනු ඒ ධාතු සමානතාවෙන් ධාතුව අනුව අදහස අනුව ඇලෙති, එක්වෙති. සමෙන්ති යනු ඒ සමාන අදහස් ඇති බැවින්ම එක්සිත්ව එකතු වෙති. ඔවුනොවුන් ඇසුරු කරති. ඔවුනොවුන් වෙත එළඹෙති. තමාගේ රුචිය, අදහස, ඉවසීම, දෘෂ්ටි හෝ ඒ ඒ තැනදී සම කරමින් පවත්වති. හීනාධිමුත්තිකා යනු මොවුන්ට හීන වූ කාමගුණ ආදිය කෙරෙහි අදහස් ඇත්තේය යනුවෙන් හීනාධිමුක්තිකයෝ හීන අදහස් ඇත්තෝ වෙති. කල්යාණාධිමුත්තිකා යනු මොවුන්ට යහපත් වූ නෙක්ඛම්ම ආදී අදහස් ඇත්තේය යනුවෙන් කල්යාණ අධිමුත්තිකයෝ, ප්රණීත අදහස් ඇත්තෝ වෙති.
ඉදින් ආචාර්ය උපාධ්යායවරු සිල්වත්හු නොවෙත් ද අන්තේවාසික සද්ධිවිහාරිකයෝ සිල්වත් වෙත් ද ඔවුහු ආචාර්ය උපාධ්යායයන් වෙත නො එළඹෙත්. තමා හා සමාන සුදුසු භික්ෂූන් වෙතම එළඹෙත්. ඉදින් ආචාර්ය උපාධ්යායවරු සිල්වත් වෙත්ද අන් අය (අන්තේවාසික සද්ධිවිහාරිකයෝ) සිල්වත් නොවෙත් ද ඔවුහු ආචාර්ය උපාධ්යායයන් වහන්සේලා වෙත නො එළඹෙත්. තමා හා සමාන පහත් (හීන) අදහස් ඇති අය වෙතම එළඹෙත්. මෙසේ එළඹීම හුදෙක් දැන් පමණක්ම නොවෙයි. අතීත-අනාගතයෙහි ද එසේයයි දක්වමින් ‘අතීතම්පි භික්ඛවෙ’ යනාදිය වදාළහ. කෙටියෙන් කිලිටි බව ඇතිකරන ධර්මයන්හි (කරුණුවල) බැසගත්තෝ හීනාධිමුක්තිකයෝය. (හීන අදහස් ඇත්තෝය) පිරිසිදු බව ඇතිකරන ධර්මයන්හි බැසගත්තෝ කල්යාණාධිමුක්තිකයෝය. (යහපත් අදහස් ඇත්තෝය.)
මේ දුස්සීලයන්ගේ දුස්සීලයන් සේවනය කිරීම සිල්වතුන්ගේ සිල්වතුන් සේවනය කිරීම, ප්රඥාව නැති අයගේ ප්රඥාව නැති අය සේවනය කිරිම, ප්රඥාවන්තයන්ගේ ප්රඥාවන්තයන් සේවනය කිරිම නියම කරන්නේ කවුද? අධ්යාශය ධාතුව (අදහස) නියම කරයි. බොහෝ භික්ෂූහු එක්තරා ගමක පිඬුසිඟා වඩිති. ඒ මිනිස්සු බොහෝ බත් (දානය) ගෙනවුත් පාත්ර පුරවා තම තමන්ට ගැලපෙන භික්ෂූන් සමග වළඳන්නැයි කියා පාත්ර දී ආපසු යැවූහ. භික්ෂූහු ඇවැත්නි, මිනිසුන් අදහස් වශයෙන් ගැලපෙන ක්රියාවෙහි යොදවති’යි කීවාහුය. මෙසේ අදහස (තමාම) නියම කරයි. ධාතුසංයුත්තයෙන් (අදහස් එකට යෙදීමෙන්) මේ අර්ථය පැහැදිලි කළයුතුය. ගිජ්ඣකූට පර්වතයෙහිදී ගිලන් නිසා සැතපුණු භාග්යවතුන් වහන්සේ රැකවරණය පිණිස පිරිවරාගෙන වැඩවසන සැරියුත් මුගලන් රහතන් වහන්සේලා අතරින් තමාගේ පිරිස සමග හැසිරෙන එක එක රහතන් වහන්සේ දෙස බලා ‘මහණෙනි, බොහෝ භික්ෂූන් සමග සක්මන් කරන සැරියුත් දකිව්ද? යනුවෙන් භික්ෂූන් ඇමතූහ. එසේය ස්වාමීනි (යි භික්ෂූහු පිළිතුරු දුන්හ.) මහණෙනි, ඒ සියලු භික්ෂූහු මහා ප්රඥාවන්තයෝයයි සියල්ල විස්තර කළයුතුය.
ගාථාවන්හි සංසග්ගා යනු කිලිටිවීම් වශයෙන් එකට වාසය කිරීම් වශයෙන් යෙදුනාහු. නැතහොත් දර්ශන සංසර්ගය, ශ්රවණ සංසර්ගය, සමුල්ලාපන සංසර්ගය, සම්භෝග සංසර්ගය, කාය සංසර්ගය (දැකීමෙන් උපන් රාගය, ඇසීමෙන් උපන් රාගය, කතාබහ කිරීමෙන් උපන් රාගය, ස්ත්රියකගේ භාණ්ඩයක් පුරුෂයකු ළඟ තබාගෙන පරිහරණය කිරිමාදී වශයෙන් පරිහරණය කිරීමෙන් උපන් රාගය, අත් පා ඇල්ලීම් ආදී වශයෙන් උපන් රාගය) යන පස්වැදෑරුම් සංසර්ග අතරින් යමකින් සංසර්ග වීමෙන්. වනතො ජාතො යනු (සෝවාන් ආදී) මාර්ගයෙන් විනාශ නොකළ ක්ලේශය උපන්නේ. අසංසග්ගෙන ඡිජ්ජති යනු සංසර්ගයට ප්රතිවිරුද්ධ වූ කාය විවේක (හුදකලා වාසය) ආදියෙන් මුල් අවස්ථාවෙහි (කෙලෙස්) සිඳ නැවත සම්පූර්ණයෙන්ම සංසර්ගයෙන් තොරවීමෙන් සමුච්ඡේද විවේකයෙන් සිඳෙයි. පහවෙයි. මෙපමණකින් කෙටියෙන් හීන අධිමුත්තියේ (පහත් අදහසේ) හටගැනීම ද නැතිවීම ද දක්වන ලද්දේ වෙයි.
එහෙයකින් ඒ සංසර්ග ද ඒ කෙලෙස් ද කුසීත බව ඇතිවීම් වශයෙන් උපදී ද එසේ වැඩේ ද වීර්යය ආරම්භ කිරීම් වශයෙන් නොවේද එහෙයින් හීන අදහස් ඇති කුසීත පුද්ගලයන් දුරුකොට යහපත් අදහස් ඇති වීර්යය ආරම්භ කළ පුද්ගලයන් ඇසුරු කිරීමෙන්, එක්ව නොවිසීමෙන් සංසර්ගයෙන් උපන් කෙලෙස් සිඳිය යුතු යයි කියන ලද අර්ථය විස්තර වශයෙන් දක්වමින් කුසීතයන් ඇසුරුකිරීමේ ආදීනව (දොස්) පළමුව ප්රකාශ කරන්නට ‘පරිත්තං දාරුං’ යනාදිය කීහ.
එහි පරිත්තං දාරුං යනු කුඩා ලී පහුරක්. යථා සීදෙ මහණ්ණවෙ යනු යම්සේ කුඩා පහුරකට නැගී මහ සමුදුර තරණය කරන්නට කැමැත්ත ඇති තැනැත්තා වෙරළට නොපැමිණ මුහුද මැදදීම ගිලෙන්නේය. වැටී මාලුන්ට කැස්බෑවන්ට ආහාරයක් වන්නේය. එවං කුසීතං ආගම්ම සාධුජීවීපි සීදති යනු මෙසේම කුසීත වූ ඇරඹූ වීර්යය නැති කෙලෙස් වසඟයට ගියා වූ පුද්ගලයකු නිසා ඔහු සමග කරන ලද ඇසුර ඇති යහපත් ජීවිතය ඇති, පිරිසිදු ජීවිතය ඇති පිරිසිදු සීලය ඇති තැනැත්තා පවා පහත් ඇසුරෙන් උපන්නා වූ කාම විතර්කාදීන් විසින් කනු ලබන්නේ එගොඩට යන්නට අසමත් වූයේ සසර සයුරෙහිම ගිලෙයි.
තස්මා යනු යම්හෙයකින් කුසීත පුද්ගල ඇසුර මෙසේ අයහපත ගෙන දේද එහෙයින් ඒ කුසීත පුද්ගලයා වෙත පැමිණ අලස බව අනුව කටයුතු කිරිමෙන් පිළිකුල් ලෙස ගිලෙයි යන අරුතින් කුසීතං නම් වේ. එහෙයින්ම හීන වීරියං වීර්යය නැති අයහපත් මිතුරා දුරුකරන්නේය. ඒකාන්තයෙන්ම කාය විවේකාදීන්ගේ ද තදංග විවේකාදීන්ගේ ද වශයෙන් පවිවිත්තෙහි පවිවිත්ත වූ, ඒ කෙලෙසුන්ගෙන්ම දුර වූ හෙයින් අරියෙහි පිරිසිදු වූ, නිවන දෙසට යොමු කරන ලද සිත් ඇති බැවින් පහිතත්තෙහි, පහිතත්ත වූ අරමුණු-ලකුණු නැවත නැවත සිහිකිරීම් වශයෙන් ධ්යාන වැඩීමෙන් ඣායීහි ඣායී වූ හැමකල්හි ඔසවා ගත් වීර්යය ඇති බැවින් ආරද්ධවිරියෙහි ඇරඹූ වීර්ය ඇති පණ්ඩිතයන් සමගම නුවණැත්තන් සමගම වාසය කරන්නේය. එක්ව වාසය කරන්නේය.
නවවන සූත්රයයි.
10. පරිහාණ සූත්ර වර්ණනාව
දසවන සූත්රයෙහි - පරිහානාය සංවත්තන්ති යනු වෘද්ධිය නැතිවීම පිණිස වෙයි. මාර්ගය ලැබීමට උවදුරු පිණිස පවතී. ලැබුවා වූ (අවබෝධ කළ) මාර්ගයේ පරිහානියක් නම් නැත. තයො ධම්මා යනු ධර්මයෙහි පිහිටීම් වශයෙන් (ධම්මාධිට්ඨාන වසෙන) දක්වන ධර්ම පුද්ගලයා කෙරෙහි පිහිටි (පුග්ගලාධිට්ඨානාය) දේශනාවෙන් බෙදමින් ‘ඉධ භික්ඛවෙ සෙඛො භික්ඛු’ යනාදිය වදාළහ.