තෙවෙනි වර්ගය
1. මිථ්‍යාදෘෂ්ටිකර්මසමාදාන සූත්‍ර වර්ණනාව
තුන්වන වර්ගයෙහි පළමු සූත්‍රයෙහි දිට්ඨා මයා යනු ම විසින් දක්නා ලදී. මගේ සර්වඥතා ඥානයෙන් (සමන්ත චක්‍ඛුනා) ද දිවැසින් ද යන මේ දෑසින් දක්නා ලදී යන ප්‍රත්‍යක්ෂ වශයෙන් දන්නා ලදී. එයින් අනුන්ගෙන් අසාගෙන කීම (අනුස්සවාදිං) ප්‍රතික්‍ෂේප කරති. මේ අර්ථය (මෙතැන්හිම) දැන්මම පාළියෙහි එන්නේය. කාය දුච්චරිතෙන සමන්නාගතා යනු කාය දුශ්චරිතයෙන් යුක්ත වූ. අරියානං උපවාදකා යනු බුද්ධාදී ආර්යයන්ට යටත් පිරිසෙයින් සෝවාන් වූ ගිහි අයට ද ගුණ නැසීමෙන් බොරු චෝදනා කිරීමෙන්, දොස් කියන්නා වූ ආක්‍රෝශ කරන්නා වූ ගරහන්නා වූ සත්ත්වයෝ. මිච්ඡාදිට්ඨිකා (ඇත්ත ඇති සැටියෙන් නොව) වෙනත් අයුරින් (විපරිතව) දකින්නා වූ සත්ත්වයෝ. මිච්ඡාදිට්ඨිකම්ම සමාදානා යනු මිථ්‍යා දර්ශනය හේතුවෙන් පිළිගත් නානාවිධ කර්ම ඇති සත්ත්වයෝම මිථ්‍යා දර්ශනය මුල්කොට ගත් කාය කර්මාදියෙහි අන්‍යයන්ද සමාදන් කරවත්. මෙහි වචී-මනෝ දුශ්චරිත ගැනීමෙන්ම අරියූපවාදය, මිථ්‍යා දෘෂ්ටිය ද ගත්කල්හි (එම අරියූපවාද ආදිය) නැවත කීම (ඒවා) මහාසාවද්‍ය බව දැක්වීම පිණිසය. ඒවා අතරින් ආර්ය උපවාදය මහාසාවද්‍යය ආනන්තරිය සමානය. ඒ බව -
‘සෙය්‍යථාපි සාරිපුත්ත හික්‍ඛු සීල සම්පන්නො සමාධි සම්පන්නො පඤ්ඤා සම්පන්නො දිට්ඨෙව ධම්මෙ අසඤ්ඤං ආරාධෙය්‍ය එවං සම්පදමිදං සාරිපුත්ත තං වාචං අප්පහාය තං චිත්තං අප්පහාය තං දිට්ඨි අප්පටිනිස්සජ්ජිත්‍වා යථාභූතං නික්‍ඛිත්තො එවං නිරයෙ’ ‘සාරිපුත්ත, යම්සේ භික්ෂුව ශීල සම්පන්න වූයේ සමාධි සම්පන්න වූයේ ප්‍රඥා සම්පන්න වූයේ මේ ජීවිතයේදීම නිවන ලබාගනීද සාරිපුත්ත, මේ කාරණයද මෙසේයයි කියමි. ඒ කීම අතනොහැර ඒ සිත අතනොහැර ඒ දෘෂ්ටිය බැහැර නොකොට (සිටියේ) ගෙන එන ලද්දක් බහා තබන්නාක් මෙන් නරකයෙහි උපදින්නේ වෙයි’ යනුවෙන් මෙසේ වදාළහ.
මිථ්‍යා දෘෂ්ටියට වඩා මහාසාවද්‍ය වූ අනිකක් නම් නැත. ඒ බව -
‘නාහං භික්‍ඛවෙ අඤ්ඤං එකධම්මම්පි සමනුපස්සාමි යං එවං මහා සාවජ්ජ (තරං) යථයිදං භික්‍ඛවෙ මිච්ඡාදිට්ඨි, මිච්ඡාදිට්ඨි පරමානි භික්‍ඛවෙ වජ්ජානි’ ‘මහණෙනි, යමක් මෙසේ මහාසාවද්‍ය වේද, මහණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම්බඳු ද එබඳු එක් ධර්මයක්වත් මම නො දකිමි. මහණෙනි, වැරදි දේවල් මිථ්‍යාදෘෂ්ටිය පරමකොට ඇත්තේය’ යනුවෙන් වදාළහ.
තං ඛො පන යනාදිය කියන ලද අර්ථයේ තමා විසින් ප්‍රත්‍යක්‍ෂ කරන ලද බව වඩා දැඩිකොට දක්වන්නට අරඹන ලදී. එය මැනවින් දැනගත හැක්කේමය.
ගාථාවන්හි - මිච්ඡා මනං පණිධාය යනු අභිධ්‍යදීන්ගේ වශයෙන් සිත අනුවණින් තබා. මිච්ඡාවාචං අභාසිය යනු වැරදි වූ මුසාවාද ආදී වශයෙන් වචන කතාකොට. මිච්ඡාකම්මානි කත්‍වාන යනු ප්‍රාණඝාත ආදී වශයෙන් කායකර්ම කොට. නැතහොත් ‘මිච්ඡා මනං පණිධාය’ යනු මිථ්‍යාදෘෂ්ටි වශයෙන් සිත වැරදි (විපරීත) ලෙස පිහිටුවා (පබා). සෙසු පද දෙකෙහි ද මේ ක්‍රමයමයි. දැන් ඔහුගේ දුසිරිතෙහි හැසිරීමේ කාරණය තත් වූ පරිදි දක්වයි. අප්පස්සුතො යනු තමාගේ ද අනුන්ගේ ද යහපත ගෙන දෙන (දහම්) ඇසීමෙන් තොර වූයේ යන අර්ථයි. අපුඤ්ඤකරො යනු එහෙයින්ම ආර්ය ධර්මය පිළිබඳ අදක්ෂ බැවින් දරුණු ක්‍රියා කරන්නා වූ පාපධර්ම ඇත්තේ. අප්පස්මිං ඉධ ජීවිතෙ යනු ‘ඉධ’ මිනිස් ලොවෙහි ජීවත්වන ඉතා සුළු කාලය තුළ. ඒ බව ‘යො චිරං ජීවති සො වස්සසතං අප්පං වා භීයො’ ‘යමෙක් බොහෝ කලක් ජීවත් වේද, හෙතෙම වසර සියයක් හෝ ඊට ස්වල්පයක් අඩුවෙන් හෝ වැඩියෙන් ජීවත් වෙයි.’ යනුවෙන් ද ‘අප්පමායු මනුස්සානං’ ‘මිනිසුන්ගේ ආයුෂය අල්පය’ යනුවෙන් ද වදාළහ. එහෙයින් බහුශ්‍රැත වූ ප්‍රඥාව ඇති තැනැත්තා වහ වහා පින්කොට ස්වර්ගයට එළඹියේ හෝ නිවනින් කෙළවර වූයේ හෝ වෙයි. යමෙක් වනාහි අල්පශ්‍රැත ද පව්කරන්නේ ද ඒ අනුවණයා කය බිඳීමෙන් (මරණින් පසු) නිරයට එළඹෙයි.
පළමු සූත්‍රයයි.
2. සම්‍යග්දෘෂ්ටි කර්මසමාදාන සූත්‍ර වර්ණනාව
දෙවන සූත්‍රයෙහි - පළමු සූත්‍රයෙහි කියන ලද ආකාරයට විරුද්ධ ආකාරයෙන් අර්ථය දතයුතුය.
දෙවන සූත්‍රයයි.
3. නිඃශරණිය සූත්‍ර වර්ණනාව
තුන්වන සූත්‍රයෙහි නිස්සරණීයා ඉවත්වීම හා බැඳුණු. ධාතුයො යනු සත්ත්ව වශයෙන් ශුන්‍ය භාව. කාමානං යනු කෙලෙස් කාමයන්ගේද වස්තු කාමයන්ගේ ද නැතහොත් ‘කාමානං’ යනු කෙලෙස් කාමයන්ගේ, කෙලෙස් කාමයෙන් ඉවත්වීම වස්තුකාමයෙන් ඉවත්වීමම වෙයි. අන් අයුරකින් නොවේ. මේ කාරණය,
න තෙ කාමා යානි චිත්‍රානි ලොකෙ
සංකප්පරාගො පුරිසස්ස කාමො
තිට්ඨන්ති චිත්‍රානි තථෙව ලොකෙ
අථෙත්‍ථ ධීරා විනයන්ති ඡන්‍දං’
ලෝකයෙහි විසිතුරු වූ රූපාදී අරමුණු ඇද්ද ඒවා ‘කාම’ නොවේ. පුරුෂයාගේ අදහස් කරන ලද රාගය කාමයයි. ලෝකයෙහි විසිතුරු වූ රූපාදී අරමුණු එසේම සිටී. එහෙයින් පණ්ඩිතයෝ මේ අරමුණුවල ඡන්‍දරාගය දුරුකරති.
නිස්සරණං යනු ඉවත්වීම. නෙක්‍ඛම්මං යනු ප්‍රථම ධ්‍යානය, විශේෂ වශයෙන් ඒ අශුභාරම්මණය දතයුතුය. යමෙක් වනාහි ඒ ධ්‍යානය පාදකකොට සංස්කාරයන් විමසා බලා තුන්වන මාර්ගයට පත්ව අනාගාමි මාර්ගයෙන් නිවන ප්‍රත්‍යක්‍ෂ කරයි. ඔහුගේ සිත අතිශයින්ම කාමයන්ගෙන් ඉවත්කරන ලදැයි යන මෙය ඉතා උසස් මට්ටමින් කාමයන්ගේ ඉවත්වීම දතයුතුය. රූපානං යනු රූපධර්මයන්ගේ, විශේෂයෙන් අරමුණු සමග කුසල-විපාක-කිරිය භේදයෙන් සියලුම රූපාවචර ධර්මයන්ගේ, ආරුප්පං යනු අරූපාවචර ධ්‍යානය. ඇතැමෙක් වනාහි ‘කාමානං’ යන පදයට සියලුම කාමාවචර ධර්මයන්ගේ යන අර්ථය කියති. ‘නෙක්‍ඛම්මං’ යනු ද රූපාවචර ධ්‍යාන පහ යනුවෙන් කියති. එය අට්ඨ කථාවන්හි නැත. යෙදෙන්නේ ද නැත. භූතං යනු උපන්. සංඛතං යනු එක්රැස්ව ප්‍රත්‍යවලින් කරන ලද. පටිච්ච සමුප්පන්නං යනු කාරණයකින් උපන්. පද තුනෙන්ම (කාම-රූප-අරූප යන) භූමි තුනට අයත් ධර්මයන් ඉතිරි නොකර ගනියි. නිරොධො යනු නිවනයි. මෙහි ද ප්‍රථම ධාතුවෙන් කාමයන් පිළිබඳ විශේෂ දැනීම කියන ලදී. දෙවන ධාතුවෙන් රූපයන් පිළිබඳ විශේෂ දැනීම කියන ලදී. තෙවන ධාතුවෙන් සියලු සංඛත ධර්මයන් පිළිබඳ විශේෂ දැනීම සියලු භවයන්ගෙන් නික්මීම කියන ලදී.