10. පරිහාණ සූත්ර වර්ණනාව
දසවන සූත්රයෙහි - පරිහානාය සංවත්තන්ති යනු වෘද්ධිය නැතිවීම පිණිස වෙයි. මාර්ගය ලැබීමට උවදුරු පිණිස පවතී. ලැබුවා වූ (අවබෝධ කළ) මාර්ගයේ පරිහානියක් නම් නැත. තයො ධම්මා යනු ධර්මයෙහි පිහිටීම් වශයෙන් (ධම්මාධිට්ඨාන වසෙන) දක්වන ධර්ම පුද්ගලයා කෙරෙහි පිහිටි (පුග්ගලාධිට්ඨානාය) දේශනාවෙන් බෙදමින් ‘ඉධ භික්ඛවෙ සෙඛො භික්ඛු’ යනාදිය වදාළහ.
එහි කටයුතු ඇරඹීම් වශයෙන් මොහුගේ ඇලීම - යන අරුතින් කම්මාරාමො කර්මාන්තයෙහි ඇලුණේ වෙයි. කටයුතුවල ඇලුණේ යන අරුතින් කම්මරතො නම් වෙයි. කටයුතුවල ඇලීමෙහි යෙදුනේ යුක්ත වූයේ යන අරුතින් කම්මාරාමතං අනුයුත්තො නම් වෙයි. එහි කටයුත්ත නම් මෙසේ කළයුතු වූ කටයුත්තය. කෙසේද? සිවුරු පිළිබඳ විමසීමට සිවුරු සකස් කිරීමට උපකාර කිරීම, පාත්ර පසුම්බි, අංසකඩ, පටිය, ඩබරාව (පෙරහන්කඩ විශේෂයක්), පාත්රය තබන දරණුව, පය තබන පුවරුව, ඉදල්-කොහු යන මේ ආදී උපකරණ සකස් කිරීම ද විහාරයෙහි කැඩුණු බිඳුණු තැන් පිළිසකර කිරිම ද වෙයි. ඇතැම් පුද්ගලයෙක් මේ කටයුතු කරමින් මුලු දවසම මේවාම කරයි. ඒ සඳහා මෙය කියන ලදී. යම් පුද්ගලයෙක් මේ කටයුතු කරන වේලාවෙහිම ඒවා කරයි. උද්දේස (පාඩම් අසාගන්නා) වේලාවෙහි දී පාඩම අසා ගනී. පාඩම් කරන වේලාවේදී පාඩම් කරයි. සෑමලු (චෙත්යමලු) ඇමදීම් ආදී වත් කරන වේලාවෙහි සෑමලු ඇමදීම් ආදී වත් කරයි. හැමතන්හිම භාවිත කරන කමටහන් (සබ්බත්ථක කම්මට්ඨාන) හෝ විශේෂයෙන් භාවිතා කරන කමටහන් (පාරිහාරිය කම්මට්ඨාන) හෝ මෙනෙහි කරන වේලාවෙහි මෙනෙහි කරයි නම් එය කම්මාරාමය නොවෙයි.
‘යානි ඛො පන තානි සබ්රහ්මචාරීනං උච්චාවචානි කිං කරණීයානි, තත්ථ දක්ඛො හොති අනලසො, තත්රෑපායාය වීමංසාය සමන්නාගතො අලං කාතුං අලං සංවිධාතුං’ ‘යම් ඒ විමසා කළයුතු කටයුතු වේනම් එහි දක්ෂ වූයේ අලස නොවූයේ ඒ ඒ කරුණෙහිදී එය කළයුතු උපායමාර්ග විමසන ප්රඥාවෙන් යුක්ත වූයේ (එය තමන්) කිරීමට සමත් වූයේ ද අනුන් ලවා කරවීමට සමත් වූයේ ද වෙයි’
යනාදී වශයෙන් ඔහුගේ ඒ කටයුතු ශාස්තෲන් වහන්සේ විසින් අනුමත කරන ලද්දේම වෙයි.
භස්සාරාමො යනු යම් පුද්ගලයෙක් භාග්යවතුන් වහන්සේ විසින් ප්රතික්ෂේප කරන ලද රාජකථාදී වශයෙන් දිවා රෑ කල්ගෙවයි ද මොහු කතාව කෙළවර කරන්නෙක් නොවේ. භස්සාරාම (කතාවෙහි ඇලුණු කෙනෙක්) නම් වෙයි. යමෙක් රෑ ද දවල් ද දහම් කියයි ද ප්රශ්න විසඳයි ද මොහු අල්ප වශයෙන් කථා කරන්නෙකි. කතාවෙහි සීමාව ඇත්තෙක්මය. කුමක් හෙයින් ද, ‘සන්නිපතිතානං වො භික්ඛවෙ ද්වයං කරණීයං - ධම්මීවා කථා අරියො වා තුණ්හී භාවො’ ‘මහණෙනි, රැස් වූ ඔබ විසින් කළයුතු කටයුතු දෙකකි. එනම් දැහැමි කතාව හෝ ආර්ය වූ නිහඬ බවයි.’ යනුවෙන් කියන ලද ආකාරයටම පිළිපදින්නේ වෙයි. (එහෙයිනි)
නිද්දාරාමො යනු යමෙක් ඇතිතාක් කුස පුරා අනුභවකොට ඇඳ පුටු ආදියෙහි නිදීමෙහි සැපයට (සෙය්ය සුඛ), නිදීමේදී වමට දකුණට හැරීමෙන් ඇතිවන සැපයට (පස්ස සුඛ), නිදි සුවයට (මිද්ධසුඛ) අනුව යෙදුනේ වෙයි ද, යමෙක් යමින් ද හිඳිමින් ද සිටිමින් ද ථිනමිද්ධයෙන් මැඩුනේ නිදයි ද මොහු නිද්දාරාම (නින්දෙහි ඇලුනෙක්) නම් වෙයි. කයෙහි ගිලන්කමින් යමෙකුගේ සිත භවංගයට බැසගනීද මෙය නිද්දාරාමය නොවේ. එහෙයින්ම -
‘අභිජානාමි ඛො පනාහං අග්ගිවෙස්සන ගිම්හානං පච්ඡිමෙ මාසෙ පච්ඡාභත්තං පිණ්ඩපාතපටික්කන්තො චතුග්ගුණං සංඝාටිං පඤ්ඤාපෙත්වා දක්ඛිණෙන පස්සෙන සතො සම්පජානො නිද්දං ඔක්කමිතා’ ‘ගිනිවෙස්න (සච්චකය) ගිම්හානයේ අවසන් මාසයෙහි දානය වැළඳීමෙන් පසුව පිණ්ඩපාතයෙන් වැලකුණේ සිවුර සතර පොටක් කොට පණවා දකුණු ඇළයෙන් සිහි ඇතිව, නුවණින් දනිමින් නින්දට බැසගත් බව දනිමි’යි වදාළහ.
මෙහි දී කල්යාණ පෘථග්ජනයා ද සේඛ යයි දතයුතුය. එහෙයින් ඒ පෘථග්ජනයාට (සෝවාන් ආදී) විශේෂ අධිගම සියල්ලේ ද (සෝවාන් ආදියට පත්වූ) අන් අයට ඉහළ විශේෂ අධිගමයේද පිරිහීම පිණිස පවතීයයි දතයුතුය. කියන ලද ආකාරයට විරුද්ධ අයුරින් කුශල පක්ෂයෙහි අර්ථ පැහැදිලි කිරීම දතයුතුය.