8. භිදුර සූත්ර වර්ණනාව
අටවන සූත්රයෙහි භිදුරායං යනු භිදුරො අයං. බිඳීම ස්වභාවකොට ඇති මේ. කායො යනු රූප කයයි. එය වනාහි අංග ප්රත්යංගයන්ගේ හා කේසාදීන්ගේ සමූහාර්ථයෙන් ද මෙසේ පිළිකුල් වූ කෙස් ආදීන්ගේ උපදින ප්රදේශය යන අරුතින් ද කාය නමි. මේ එහි වචනාර්ථයයි. මෙහි උපදී යන අරුතින් ආය නමි. කුමක් උපදී ද? පිළිකුල් වූ කෙස් ආදියයි. මෙසේ පිළිකුල් දේවල ඉපදීම යන අරුතින් ද කාය නමි. අර්ථ වශයෙන් වනාහි පරම්පරා වශයෙන් පවතින්නා වූ සතර මහා භූත හා උපාදාය ධර්මයන්ගේ සමූහය, මේ අර්ථය කියන ලද්දේ වෙයි. මහණෙනි, මේ සතර මහා භූතවලින් උපන් රූපකාය බිඳෙන ස්වභාව ඇත්තේ මොහොතක් මොහොතක් පාසා නැසෙන ස්වභාව ඇත්තේය. ‘භින්දරායං’ යනු ද පාඨයකි. ඒ අර්ථයමයි. විඤ්ඤාණං යනු භූමි තුනට අයත් කුශලාදී සිතය. වචනාර්ථය වනාහි ඒ ඒ අරමුණ දැනගනියි යන අරුතින් විඤ්ඤාණ නම් වේ යනුයි. හඳුනාගැනීම් (සංජානන) දැනගැනීම් (පජානන) වල දක්ෂ වූ අරමුණ දැනගන්නා (විජානන) වූ යම් අවබෝධයක් වේ ද එය විඤ්ඤාණය යි.
විරාගධම්මං යනු නො ඇලෙන ධර්මය, විනාශවන ස්වභාවය ඇත්තේය යන අර්ථයි. සබ්බෙ උපධි යනු ස්කන්ධ උපධි, ක්ලෙශ උපධි, අභිසංස්කාර උපධි, පංචකාම ගුණ උපධි යන සියලුම උපාදානස්කන්ධ - ක්ලේශ - අභිසංස්කාර - පංචකාම ගුණ, ධර්ම බවට පත්ව නොවීම් (අභාව) අර්ථයෙන් අනිත්යය, ඇතිවීම - නැතිවීම පෙළීම යන අරුතින් දුකය. ජරාවෙන් ද මරණයෙන් ද යන දෙයාකාර වූ වෙනස්වන ස්වභාවය ඇති බැවින් ප්රකෘතිය දුරුකරන අරුතින් විපරිනාම ධර්ම වේ. මෙසේ මෙහි අනිත්ය දර්ශනයට පහසුව පිණිස රූපධර්මයන් ද විඤ්ඤාණය ද වෙනම ගෙන නැවත උපධි බෙදා දැක්වීමෙන් සියලුම ත්රෛභූමික ධර්මයන් එකට ගෙන අනිත්ය දුක්ඛ අනුපස්සනා ප්රධාන කොට එසේම අවබෝධ කරන පුද්ගලයන්ගේ අදහස් වශයෙන් විමසා බලන (සම්මසන) වාරය කියන ලදී. ඒකාන්තයෙන්ම මෙහි ලක්ෂණ දෙකක් පමණක්ම පාලියෙහි ආයේය. ‘යං දුක්ඛං තදනත්තා’ යන වචනයෙන් දුක්ඛ ලක්ෂණයෙන්ම අනත්ත ලක්ෂණයක් දක්වන ලද්දේම යයි දතයුතුය.
ගාථාවල - උපධීසු භයං දිස්වා යනු උපධි තුනෙහි භයතුපට්ඨාන ඤාණ වශයෙන් බිය දැක, ඒවාට බිය වියයුතු බව දැන, මෙයින් බලවත් විදර්ශනාව දක්වයි. භයතුපට්ඨාන ඤාණයම බෙදා විශේෂ වශයෙන් ආදීනවානුපස්සනාව ද නිබ්බිදානුපස්සනාව ද කියනු ලැබේ. ජරාමරණමජ්ඣගා යනු මෙසේ විමසා බලන්නේ විදර්ශනා ඥානය මාර්ගයෙන් එකට ගටා මාර්ග පිළිවෙළින් රහත්බවට පත්වූයේ ජාතිමරණ ඉක්මවූයේ නම් වෙයි. කෙසේද? සම්පත්වා පරමං සන්තිං යනු උසස් වූ උතුම් වූ අනුත්තර වූ ශාන්ත වූ සියලු සංස්කාරයන්ගේ සන්සිඳීම නම් වූ නිවනට පැමිණ. මෙසේ වූයේ ද කාලං කංඛති භාවිතත්තො යනු සතර ආර්යමාර්ග වශයෙන් භාවනා අවබෝධය සම්පූර්ණ වීමෙන් වඩන ලද කාය-සීල-චිත්ත ප්රකාශයට පැමිණීමෙන් භාවිත වූ ආත්මය ඇත්තේ මරණයටද ජීවිතයටද සතුටු නොවන්නේ හුදෙක් තමාගේ ස්කන්ධ පරිනිර්වාණ කාලය කැමති වෙයි. උන්වහන්සේට කිසිතැනක කිසි ප්රාර්ථනාවක් නැත. එහෙයින් -
නාභිනන්දාමි මරණං නාභිනන්දාමි ජීවිතං
කාලං ච පටිකංඛාමි නිබ්බිසං භතකො යථා
කාලං ච පටිකංඛාමි නිබ්බිසං භතකො යථා
මරණයට සතුටු නොවෙමි. ජීවිතයට ද සතුටු නොවෙමි. කුලිය කැමති මෙහෙකරුවා මෙන් කාලය (පමණක්) කැමති වෙමි’යි කීහ.
අටවන සූත්රයයි.
9. ධාතුසංස්යන්දන සූත්ර වර්ණනාව
නවවන සූත්රයෙහි ධාතුසො යනු ධාතු වශයෙන්, ධාතු යනු අධ්යාශය ධාතු, අදහසේ ස්වභාවය අදහස් කරන ලදී. අධිමුත්ති යනුවෙන් ද කියනු ලැබේ. සංසන්දන්ති යනු ඒ ධාතු සමානතාවෙන් ධාතුව අනුව අදහස අනුව ඇලෙති, එක්වෙති. සමෙන්ති යනු ඒ සමාන අදහස් ඇති බැවින්ම එක්සිත්ව එකතු වෙති. ඔවුනොවුන් ඇසුරු කරති. ඔවුනොවුන් වෙත එළඹෙති. තමාගේ රුචිය, අදහස, ඉවසීම, දෘෂ්ටි හෝ ඒ ඒ තැනදී සම කරමින් පවත්වති. හීනාධිමුත්තිකා යනු මොවුන්ට හීන වූ කාමගුණ ආදිය කෙරෙහි අදහස් ඇත්තේය යනුවෙන් හීනාධිමුක්තිකයෝ හීන අදහස් ඇත්තෝ වෙති. කල්යාණාධිමුත්තිකා යනු මොවුන්ට යහපත් වූ නෙක්ඛම්ම ආදී අදහස් ඇත්තේය යනුවෙන් කල්යාණ අධිමුත්තිකයෝ, ප්රණීත අදහස් ඇත්තෝ වෙති.
ඉදින් ආචාර්ය උපාධ්යායවරු සිල්වත්හු නොවෙත් ද අන්තේවාසික සද්ධිවිහාරිකයෝ සිල්වත් වෙත් ද ඔවුහු ආචාර්ය උපාධ්යායයන් වෙත නො එළඹෙත්. තමා හා සමාන සුදුසු භික්ෂූන් වෙතම එළඹෙත්. ඉදින් ආචාර්ය උපාධ්යායවරු සිල්වත් වෙත්ද අන් අය (අන්තේවාසික සද්ධිවිහාරිකයෝ) සිල්වත් නොවෙත් ද ඔවුහු ආචාර්ය උපාධ්යායයන් වහන්සේලා වෙත නො එළඹෙත්. තමා හා සමාන පහත් (හීන) අදහස් ඇති අය වෙතම එළඹෙත්. මෙසේ එළඹීම හුදෙක් දැන් පමණක්ම නොවෙයි. අතීත-අනාගතයෙහි ද එසේයයි දක්වමින් ‘අතීතම්පි භික්ඛවෙ’ යනාදිය වදාළහ. කෙටියෙන් කිලිටි බව ඇතිකරන ධර්මයන්හි (කරුණුවල) බැසගත්තෝ හීනාධිමුක්තිකයෝය. (හීන අදහස් ඇත්තෝය) පිරිසිදු බව ඇතිකරන ධර්මයන්හි බැසගත්තෝ කල්යාණාධිමුක්තිකයෝය. (යහපත් අදහස් ඇත්තෝය.)
මේ දුස්සීලයන්ගේ දුස්සීලයන් සේවනය කිරීම සිල්වතුන්ගේ සිල්වතුන් සේවනය කිරීම, ප්රඥාව නැති අයගේ ප්රඥාව නැති අය සේවනය කිරිම, ප්රඥාවන්තයන්ගේ ප්රඥාවන්තයන් සේවනය කිරිම නියම කරන්නේ කවුද? අධ්යාශය ධාතුව (අදහස) නියම කරයි. බොහෝ භික්ෂූහු එක්තරා ගමක පිඬුසිඟා වඩිති. ඒ මිනිස්සු බොහෝ බත් (දානය) ගෙනවුත් පාත්ර පුරවා තම තමන්ට ගැලපෙන භික්ෂූන් සමග වළඳන්නැයි කියා පාත්ර දී ආපසු යැවූහ. භික්ෂූහු ඇවැත්නි, මිනිසුන් අදහස් වශයෙන් ගැලපෙන ක්රියාවෙහි යොදවති’යි කීවාහුය. මෙසේ අදහස (තමාම) නියම කරයි. ධාතුසංයුත්තයෙන් (අදහස් එකට යෙදීමෙන්) මේ අර්ථය පැහැදිලි කළයුතුය. ගිජ්ඣකූට පර්වතයෙහිදී ගිලන් නිසා සැතපුණු භාග්යවතුන් වහන්සේ රැකවරණය පිණිස පිරිවරාගෙන වැඩවසන සැරියුත් මුගලන් රහතන් වහන්සේලා අතරින් තමාගේ පිරිස සමග හැසිරෙන එක එක රහතන් වහන්සේ දෙස බලා ‘මහණෙනි, බොහෝ භික්ෂූන් සමග සක්මන් කරන සැරියුත් දකිව්ද? යනුවෙන් භික්ෂූන් ඇමතූහ. එසේය ස්වාමීනි (යි භික්ෂූහු පිළිතුරු දුන්හ.) මහණෙනි, ඒ සියලු භික්ෂූහු මහා ප්රඥාවන්තයෝයයි සියල්ල විස්තර කළයුතුය.