7. සුඛප්රාර්ථනා සූත්ර වර්ණනාව
සත්වන සූත්රයෙහි සුඛානි යනු සැපයට නිමිති. පත්ථයමානො යනු කැමති වෙමින් පතමින්. සීලං යනු ගිහි සිල් ද පැවිදි සිල් ද, ගිහියා ගිහි සීලය ද පැවිද්දා සිවු පිරිසිදු සීලය ද යන අදහසයි. රක්ඛෙය්ය යනු සමාදන්ව නො ඉක්මවමින් මනාකොට රකින්නේය. පසංසා මෙ ආගච්ඡතු යනු මට යහපත්වූ කීර්තියක් පැමිණෙවායි කැමතිවන්නා වූ පණ්ඩිත නුවණැත්තා සිල් රකින්නේය. පළමුකොට අසවලා, අසවල් කුලයෙහි පුතා, සිල්වත්ය ගුණධර්ම ඇත්තෙකි, සැදැහැවතෙකි, පැහැදුනු කෙනෙකි, දායකයෙකි, කාරකයෙකි ආදී වශයෙන් පිරිස මැද සිල්වත් වූ ගිහියා පිළිබඳ යහපත් වූ කීර්තියක් පැන නගී. අසවල් භික්ෂුව සිල්වත්ය, වත්සම්පන්නය, නො ඇලුණු කෙනෙකි, සැපසේ එක්ව වාසය කරනෙකි, ගෞරව ඇත්තෙකි ආදී වශයෙන් -පෙ- පැන නගී.
මේ කාරණය ‘පුන ච පරං ගහපතයො සීලවතො සීලසම්පන්නස්ස කල්යාණො කිත්තිසද්දො අබ්භුග්ගච්ඡති’ ‘නැවතත් ගෘහපතිවරුනි, සිල්වත් වූ සීලසම්පන්න වූ තැනැත්තාගේ යහපත් වූ කීර්ති ශබ්දයක් පැන නගී’ යනුවෙන් ද
එසේම ‘ආකංඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛු සබ්රහ්මචාරීනං පියො චස්සං මනාපො ගරු ච භාවනීයො චාති සීලෙස්වෙවස්ස පරිපූරකාරි’ ‘මහණෙනි, ඉදින් භික්ෂුව සබ්රහ්මචාරීන්ට ප්රිය හා මනාපද වෙම්වා, ගුරුවරයෙකුට මෙන් සැලකිය යුතු කෙනෙක් වෙම්වා, සම්භාවනීය (ගෞරව ලැබිය යුතු) කෙනෙක් වෙම්වායි (සිතා එබන්දෙක් වීමට) කැමති නම් නොඅඩුව සිල් සම්පූර්ණ කරන කෙනෙක් වන්නේය’ යනුවෙන් ද කියන ලදී.
භොගා මේ උප්පජ්ජන්ත යන මෙහි පළමුකොට සිල්වත් වූ යහපත් ගුණධර්ම ඇති ගිහියා පිළිබඳවයි. හෙතෙම ඉදින් ගොවිතැනින් හෝ වෙළඳාමෙන් හෝ රාජ්ය සේවකයෙකු ලෙසින් හෝ යම් යම් ශිල්පයකින් ජීවිකාව ගෙනයයි ද ඒ ඒ ශිල්ප නිසිකල නිසිපරිදි අතිශය අප්රමාදභාවයෙන් යුතුව ඉටුකරයි. ඉන්පසු ඔහුට නූපන් භෝග (ධනය හා දේපල) හටගනී. උපන් භෝග ද වැඩිදියුණු වීමට පත්වෙයි. ශීලාචාර සම්පන්න වූ අප්රමාදව වාසය කරන සිහි ඇති සීලයෙන් යුක්ත පැවිද්දා ශීල සම්පත්තිය කෙරෙහි ද අල්පේච්ඡතාදී ගුණ කෙරෙහි ද පැහැදුණු මිනිස්සු උසස් උසස් ප්රත්ය ගෙන එති. මෙසේ උන්වහන්සේට නූපන් භෝග (සිවුපසය) උපදී. උපන් භෝග ද ස්ථිර වෙයි. ඒ බව -
‘පුනච පරං ගහපතයො සීලවා සීලසම්පන්නො අප්පමාදාධිකරණං මහන්තං භොගක්ඛන්ධං අධිගච්ඡති’ ‘නැවත ද ගෘහපතිවරුනි, සිල්වත් වූ සීලසම්පන්න තැනැත්තා අප්රමාදය නිසා මහත් වූ භෝග රාශියක් ලබයි’ යනුවෙන් ද
එසේම ‘ආකංඛෙය්ය චෙ භික්ඛවෙ භික්ඛුලාහී අස්සං චීවර - පිණ්ඩපාත - සෙනාසන - භෙසජ්ජපරික්ඛාරානන්ති සීලෙස්වෙවස්ස පරිපූරකාරී’ ‘මහණෙනි, ඉදින් භික්ෂුව සිවුරු-පිඬු (ආහාර) - සෙනසුන් - බෙහෙත් ලබන කෙනෙක් වෙම්වායි කියා කැමති නම් නො අඩුව සිල් සම්පූර්ණ කරන කෙනෙක් වන්නේය’ යනුවෙන් ද දෙසන ලදී.
[missing trans]
ගාථාවන්හි - පත්ථයානො යනු පතමින්. තයො සුඛෙ යනු සැප තුන. විත්තලාභං යනු ධනලාභය, භෝග හටගැනීම යන අර්ථයි. විශේෂ වශයෙන් මෙහි ප්රශංසාවෙන් චෛතසික සැපය ද භෝගවලින් කායික සැපය ද ඉතිරි කරුණින් උත්පත්ති සැපය ද. එසේම පළමු වැන්නෙන් මෙලොව සැපය ද තුන්වැන්නෙන් පරලොව සැපය ද දෙවැන්නෙන් සැප දෙකම ද ගන්නා ලදැයි දතයුතුය.
දැන් ප්රශංසාව ආදී කාරණයට ශීලය මෙන් ප්රශංසාදියේ විශේෂ කාරණා වන පාපමිත්රයන් වර්ජනය කිරීම, කල්යාණ මිත්ර සේවනය ද දොස් හා අනුසස් සමග දක්වමින් ‘අකරොන්තො’ යනාදිය කීහ. එහි සංකියො යනු පාපයෙහි සැකකළ යුත්තෙක් වෙයි. මොහු පාපීපුරුෂයන් සමග හැසිරන නිසා ඒකාන්තයෙන් මොහු විසින් පාපයක් කරන ලද්දේ හෝ වෙයි. කරන්නේ හෝ වෙයි. අස්ස යනු පාපී ජනතාව ඇසුරුකරන මේ පුද්ගලයාගේ (හිස) මත්තෙහි හෝ මේ පුද්ගලයාගේ අවණ්ණො හටනොගත් කරුණකින් හෝ පාපී පුරුෂයන් ඇසුරුකරන නිසා (නුගුණ) රූහති වැඩීමට මහත්බවට පැමිණෙයි. පැතිරෙයි. ‘අස්ස’ යනු සත්තමී අර්ථයෙහි ඡට්ඨි වචනය හෝ (භූම්මත්ථෙ සාමිවචනං), ඒ පුද්ගලයා කෙරෙහි යන අර්ථයි. සවෙ තාදිසකො හොති යනු යමෙක් යම්බඳු වූ පාපමිත්රයකු හෝ කල්යාණ මිත්රයකු හෝ භජනය කරයි ද සේවනය කරයි ද ඒ පුද්ගලයා භූමිභාග වශයෙන් ජලය මෙන් (අපිරිසිදු බිමකට හෝ පිරිසිදු බිමකට වැටෙන ජලය භූමි කොටස අනුව අපිරිසිදු හා පිරිසිදු බවට පත්වන්නාක් මෙන්) එබඳුම පුද්ගලයෙක් වෙයි. පාපධර්ම ඇත්තෙක් හෝ යහපත් ධර්ම ඇත්තෙක් වෙයි. කවර හෙයින් ද? සහවාසො හි තාදිසො යම්හෙයකින් සමග විසීම, එකට සිටීම පළිඟු මැණික් කෙරෙහි උපරාගය මෙන් පුරුෂයාගේ ඇසුරට පත් වූ පුද්ගලයාගේ ස්වභාවය ගන්වයි. එහෙයින් සමග වාසය නොකළ යුතුය යන අදහසයි.
සෙවමානො සෙවමානං යනු ප්රකෘතියෙන් පිරිසිදු වූ කලින් කල තමන් ඇසුරුකරන පුද්ගලයකු සේවනය කරන භජනය කරන පාපී පුද්ගල තෙමේ, නැතහොත් (පිරිසිදු) ඔහු විසින් ඇසුරු කරන්නා වූ (පාපී) පුද්ගල තෙමේ. සම්ඵුට්ඨො සම්ඵුසං යනු ඒ ප්රකෘතියෙන් (ස්වභාවයෙන්) පිරිසිදු වූ පුද්ගලයා විසින් සමග වාසයෙන් එක්ව සිටීමෙන් ස්පර්ශ කරන ලද්දා වූ පාප පුද්ගලයා තමාම එසේ ඒ පිරිසිදු පුද්ගලයා ස්පර්ශ කරන්නේ. සරො දිද්ධො කලාපං වා යනු විෂ පොවන ලද විෂ තවරන ලද ඊතලය යම්සේ ඊතල සමූහයට ඇතුළු වූයේ ඊ (සර) සමූහය නම් වූ සර කලාපය තමා විසින් (ඒ විෂ ඊතලය විසින්) ස්පර්ශ කරන ලද විෂ ආලේප නොවූ ඊතලමිටිය ද (විසෙන්) ආලේප කරන්නා සේ පාපී පුද්ගලයා පාපයෙන් පිරිසිදු පුද්ගලයා ආලේප කරයි. (තවරයි) උපලෙපභයා ධීරො යනු ධිති (උත්සාහ) සම්පන්න හෙයින් ධීර වූ පණ්ඩිත පුරුෂයා (පව් තැවරෙන බියෙන්) පාපමිත්රයන් ඇත්තෙක් නොවන්නේය.
පූති මච්ඡං කුසග්ගෙන යනු යම්සේ පිළිකුල් බැවින් කුණු වූ මාලුවා කුසතණ අගින් යම් පුරුෂයෙක් උපනය්හති මාලු මුලක් ලෙසින් ඔතයි ද ඔහුගේ ඒ කුසතණ කුණු නොවුන ද කුණුමාලු සම්බන්ධයෙන් කුණු දුගඳම හමයි. එවං බාලූපසේවනා යනු බාලජනයන් ඇසුරු කිරීම මේ ආකාරයයි දතයුතුය. එවං ධීරූපසේවනා යනු යම්සේ සුවඳ නැති කොල තුවරලා සමග සම්බන්ධවීමෙන් සුවඳ හමයි ද මෙසේ පණ්ඩිතයන් ඇසුරු කිරීමෙන් ස්වභාවයෙන් සිල් නැති තැනැත්තාගේ සීල සමාදානාදී වශයෙන් සිල් සුවඳ හැමීමට කාරණයක් වෙයි.
තස්මා යනු යම්හෙයකින් අයහපත් මිතුරන් ඇසුරෙන් ද යහපත් මිතුරන් ඇසුරෙන් ද මෙබඳු වූ මේ ආදීනව හා ආනිසංස වෙයිද, එහෙයින් පත්තපුටස්සෙව තුවරලා (කට්ට කුමඤ්ජල්) බැඳි කොලපත් ගොටුවක් මෙන් දුගඳ හා සුවඳ වස්තු සමග එක්වීමෙන් ද අසත්පුරුෂයන් හා සත්පුරුෂයන් ඇසුරෙන් ද ඤත්වා සම්පාකමත්තනො දුක හා සැප විපාක ඉපදීම ඤත්වා දැන, අසන්තෙ පාපමිත්රයන් න උපසෙවෙය්ය ඇසුරු නොකරන්නේය. සන්තෙ උපශාන්ත වූ වැමෑරූ දොස් ඇති පසසන ලද පණ්ඩිතයන් ඇසුරු කරන්නේය. ඒ එසේමය. අසන්තො නිරයං නෙන්ති සන්තො පාපෙන්ති සුග්ගතිං අසත්පුරුෂයන් නිරයට පමුණුවති. සත්පුරුෂයන් සුගතියට පමුණුවති. මෙසේ භාග්යවතුන් වහන්සේ පළමු ගාථාවෙන් කියන ලද ආකාර සැප නිමිති තුන දක්වා ඉන්පසුව එන ගාථා පහෙන් ප්රතිවිරුද්ධ දෙය දුරු කිරීම සමග ප්රශංසාවේ හා සැපයේ පැමිණීම දක්වා අවසාන ගාථාවෙන් සැප තුනම පැමිණෙන කාරණය සමග අවසාන සැපය දක්වයි.