6. වෘෂ්ටි සූත්‍ර වර්ණනාව
හයවන සූත්‍රයෙහි අවුට්ඨිකසමො යනු නොවසින වැහිවලාවක් වැනි, ඇතැම් වැහිවලාවක් වලාපටල සියයක් වලාපටල දහසක් වී නැගී නාදකරමින් ගොරවමින් විදුලි කොටමින් එක් දියබිඳක්වත් නොහෙළා බැහැර වෙයි. එයට උපමා වූ එක් පුද්ගලයෙක් දක්වමින් ‘අවුට්ඨික සමො’යි වදාළහ. පදෙසවස්සී යනු එක් පෙදෙසකට වසින වැහිවලාවක් වැනි, එක් පෙදෙසකට වසින වැස්සක් වැනියයි යන අරුතින් ‘පදෙසවස්සී’ය. එකම තැන සිටින මිනිසුන් අතරින් ඇතැමෙකු තෙමෙන ලෙස ඇතැමෙකු නොතෙමෙන ලෙස එක් වැසිවලාවක් මඳ වශයෙන් වසියි. එම වැස්සට උපමාකොට ‘පදෙස වස්සී’ යනුවෙන් එක් පුද්ගලයකු දක්වති. සබ්බත්‍ථාභිවස්සී යනු පෘථිවි පර්වත සමුද්‍ර ආදී වූ මුලු පොලෝතලයෙහි මහවැසි වසින වැහිවලාවක් වැනි. ඇතැම් වැහිවලාවක් මුලු සක්වල ගැබ පැතිරී හැමතන්හිම මහවැසි වසී. (දඹදිව ආදී) සිවුමහ දිවයින්වලට වසින ඒ මහවැහිවලාව එක්පුද්ගලයෙකුට උපමාකොට ‘සබ්බත්‍ථාභිවස්සී’ යනුවෙන් කියන ලදී.
සබ්බෙසානං යනු ‘සබ්බ්සං’ සියල්ලන්ට. මේ ‘සබ්බෙසං’ යන පාඨයම හෝ නියම වචනයයි. න දාතා හොති නො දෙන ස්වභාවය ඇත්තේ වෙයි. තද මසුරු බැවින් කිසිවකුට කිසිවක් නොදෙයි යන අර්ථයි. දැන් දානයේ කෙත (දන් පිළිගැනීමට සුදුසු අය) ද දෙය්‍ය ධර්මය (දිය යුතු දෙය) ද බෙදා දක්වන්නට ‘සමණ බ්‍රාහ්මණා’ යනාදිය කීහ. සන්සිඳුවන ලද පව් ඇති ශ්‍රමණයෝ ද පැවිදි වූ පමණින් ශ්‍රමණයෝ ද බහා තබන ලද පව් ඇති බ්‍රාහ්මණයෝ ද (බමුණු ජාතියෙහි) ඉපදීම් පමණින් බ්‍රාහ්මණයෝ ද මෙහි දී සමණ බ්‍රාහ්මණා යනුවෙන් අදහස් කරන ලදී. කපණා නම් දුප්පත් දිළිඳු මිනිස්සු. අද්ධිකා නම් වියහියදම් නැති මගියෝ. වණිබ්බකා නම් යහපත් වූ ප්‍රියමනාප වූ නිවැරදි වූ දෙයක් සුදුසු කාලයෙහි සතුටු සිත් ඇතිව පැහැදුනු සිත් ඇතිව දෙන්න, මෙසේ දන්දෙන්නා වූ අය සුගතියට යති, බඹලොවට යති ආදී ක්‍රමයෙන් දානයෙහි යොදවමින් දානයේ ගුණයට ස්තුති කරමින් හැසිරෙන අයයි. යාචකා නම් මිටක් විතර (යමක්) දෙන්න, අල්ලට ගතහැකි යමක් දෙන්න, සරාවක් (කුඩා භාජනයක්) පමණ දෙන්න යනුවෙන් ස්වල්ප දෙයක් පවා ඉල්ලමින් හැසිරෙන අය. එහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගැනීමෙන් ගුණ ක්‍ෂේත්‍රය ද උපකාරි ක්‍ෂේත්‍රය ද දක්වති. කපණ ආදී අය ගැනීමෙන් කරුණා ක්‍ෂේත්‍රය දක්වති. අන්නං යනු කෑ යුතු අනුභව කළයුතු යමක්. පානං යනු අඹපැන් ආදී පානයක්. වත්‍ථං යනු හඳින පොරවන ආදී ඇඳුමක්. යානං යනු යටත් පිරිසෙයින් ගමන සිදුකරදෙන පාවහනක් ද ගෙන රථ, දෝලා ආදිය. මාලා යනු (මල්මාලා වශයෙන්) ගෙතූ නොගෙතූ වශයෙන් භේද ඇති සියලු මල්. ගන්‍ධං ඇඹරූ හෝ නො ඇඹරු හෝ යම්කිසි සුවඳ ජාතියක් ද සුවඳ උපකරණ ද. විලෙපනං යනු සම පැහැගන්වන දෙයක්. සෙය්‍යා යනු ඇඳ පුටු ද උතුරුසළුවක් පලසක් ආදී නිදාගැනීමට සුදුසු වස්තුවක්. සෙය්‍යා යන්න ගැනීමෙන් මෙහි ආසනය ද ගන්නා ලදැයි දතයුතුය. ආවසථං යනු වාතය අව්ව ආදී හිරිහැර දුරුකරන නිවහනක්, පදීපෙය්‍ය යනු (තෙල් දමා පහන් දැල්වීමට සුදුසු) පහන් තැටි ආදී පහන් උපකරණ.
එවං ඛො භික්‍ඛවෙ යනු දිය යුතු දාන වස්තුව ඇති කල්හිත් ප්‍රතිග්‍රාහකයන්ට මෙසේ දියයුතු වස්තුව සම්පූර්ණයෙන් නොදෙන්නා වූ පුද්ගලයා වැසි නොවසින වැහිවලාවක් සමාන වෙයි. මේ කාරණය කියන ලද්දේ වෙයි. මහණෙනි, වැහිවලාව පටල සියයක් පටල දහසක් ඇතිව නැගී කිසි වැස්සක් නැතිව ඉවත්ව යයි. මෙසේම උසස් වූ මහත් වූ භෝග එක්රැස්කොට නිවසෙහි වාසය කරමින් කිසිවකුට බත් හැන්දක් පමණ හෝ කැඳ කෝප්පයක් පමණ හෝ නොදී ඉවත්ව යයි, අවසඟව මාර මුඛයට යයි. ඔහු නොවසින වැස්ස වැනි වෙයි. මේ ක්‍රමයෙන් ඉතිරි ඒවායෙහි ද නිගමනය දතයුතුයි. මේ පුද්ගලයන් තිදෙනා අතරින් පළමුවැන්නා ඒකාන්තයෙන්ම ගැරහිය යුතුය. දෙවැන්නා ප්‍රශංසා කිරීමට සුදුසුය. තෙවැන්නා වඩාත් ප්‍රශංසා කිරීමට සුදුසුය. පළමුවැන්නා ඒකාන්තයෙන්ම සියල්ලන්ටම පහත්ය. දෙවැන්නා මධ්‍යමය. තෙවැන්නා උතුම්යයි දතයුතුය.
ගාථාවන්හි සමණෙ යනු කර්ම විභක්ති (උපයෝග) බහුවචනයයි. ඉතිරි පදවලද එසේය. ලද්ධා යනු ලැබ, දක්‍ෂිණාවට සුදුසු ශ්‍රමණයන්ට (දානයෙන්) පවරා (ඒ ගැන) විමසන ලද්දේ න සංවිභජති අන්නං පානඤ්ච භොජනං යනු ආහාරයක් හෝ පානයක් හෝ අනුභව කළ යුතු අනිත් භෝජනයක් හෝ වේද එය නො බෙදයි. මේ මෙහි කෙටි අර්ථයයි: යමක් අවශ්‍ය බැවින් තමන් වෙත පැමිණි ශ්‍රමණ ප්‍රතිග්‍රාහකයන් ලැබූ යමෙක් ආහාර ආදියෙන් බෙදීම් මාත්‍රයක්වත් නොකරයි නම් ඔහු වෙනත් දානයක් දෙයිද? තං මෙබඳු වූ තදමසුරු පුරිසාධමං නිහීන පුද්ගලයා පණ්ඩිතයෝ අවුට්ඨිකසමොති ආහු නොවසින වැහිවලාවක් වැනි යයි කියති.
එකච්චානං න දදාති දිය යුතු දේ විශාල ලෙස ඇති කල්හිත් ඇතැම් සත්ත්වයන්ට (අයට) ඔවුන් කෙරෙහි ක්‍රෝධ වශයෙන් හෝ දාන වස්තුවෙහි ලෝභ වශයෙන් හෝ නොදෙයි. එකච්චානං පවෙච්ඡති යනු ඇතැම් අයට පමණක්ම දෙයි. මෙධාවිනො නුවණැති පණ්ඩිත ජනයා.
සුභික්‍ඛවාචො යනු යමෙක් (තමන් වෙත) පැමිණි යාචකයන්ට ආහාර දෙන්න පාන වර්ගයක් දෙන්න යනාදී වශයෙන් ඒ ඒ දෙය දෙවයි. හෙතෙම සුලභ ආහාර ඇති බැවින් මොහුට සුභික්‍ෂ වචන ඇත්තේය යන අරුතින් සුභික්‍ෂ වචන ඇත්තේ නම් වෙයි. ‘සුභික්‍ඛ වස්සී’ යනුවෙන් ද කියති. යම්සේ ලෝවැසියා සුභික්‍ෂ (මැනවින් ආහාරපාන ඇත්තේ) වෙයි ද මෙසේ හැමතැන මහවැසි වසින මහ වැසිවලාව ‘සුභික්‍ඛවස්සී’ නම් වෙයි. මෙසේ මොහු ද මහදන් දීමෙන් හැමතැන මහවැසි වසින සුභික්‍ෂ වැස්සකි. ආමෝදමානො පකිරෙති යනු තුටු පහටු සිත් ඇති තැනැත්තා සියතින් දන් දෙමින් ප්‍රතිග්‍රාහක ක්ෂේත්‍රයෙහි (කෙතෙහි) දාන වස්තුව විසුරුවන්නෙකු මෙන් වෙයි. වචනයෙන් ද දෙථ දෙථ දෙන්න දෙන්න යයි කියයි.
දැන් ඔහු මනාව වසින ලද වැස්සක් (සුභික්‍ඛු වස්සිත) බව දක්වන්නට යථාපි මෙඝො යනාදිය කියන ලදී. මේ එහි කෙටි අර්ථයයි: යම්සේ මහවැස්සක් පළමුව මඳ හඬින් ථනයිත්‍වා නාදකොට නැවත මහහඬ නගමින් සියලු නදී - කඳුරු වෙත ගජ්ජයිත්‍වා පවස්සති හැමතැනම ජලයෙන් ගොඩබිම්ද පහත්බිම් ද වෙත ගලායමින් පුරවයි, එකම දියකඳක් කරයි. එවමෙව ඉධ මෙසේ මේ සත්ත්ව ලෝකයෙහි එකච්චො ඇතැම් උසස් පුග්ගලො පුද්ගලයෙක් සියල්ලන්ට සමබැවින් ඒ මහවැහිවලාව මෙන් වැසි ලැබිය යුතු හෙයින් තාදිසො එබඳුය. යම්සේ ධනං උට්ඨානාධිගතං තමාගේ නැගී සිටි වීර්යයෙන් උපන් ධනයක් වේද එසේ අලස නොවී එය ද ධම්මෙන පිළිවෙළින් දැහැමින් එක්රැස්කොට ඒ උපන් ආහාර පානයෙන් ද අනිත් දියයුතු දෙයින් ද පත්තෙ පැමිණි වණිබ්බකෙ සම්මා වණිබ්බකයන් මනාව දේශයට කාලයට අනුරූපව ද කැමැත්තට අනුරූපව ද තෘප්තියට පමුණුවයි. හොඳින් (ආහාරපාන පිළිගන්වයි) පවරයි.