5. පුත්‍ර සූත්‍ර වර්ණනාව
පස්වන සූත්‍රයෙහි පුත්තා යනු තමාට උපන් එනම් ඖරස පුත්‍රයෝය. නැතහොත් හදාවඩාගත් පුතුන් ආදී අය. සන්තො යනු ඇත්තා වූ. සංවිජ්ජමානා ලොකස්මිං යනු මේ ලෝකයෙහි ලැබෙන්නා වූ. ඇති බැවින් ‘සන්තො’ ය. ප්‍රකට බැවින් ‘විජ්ජමානා’ය. අතිජාතො යනු තමාගේ ගුණවලින් මව්පියන් ඉක්මවා උපන්, මව්පියන්ට වඩා අධික ගුණ ඇත්තා වූ යන අර්ථයි. අනුජාතො යනු ගුණධර්මවලින් මව්පියන්ට අනුරූපව උපන්, ඔවුන්ට සමාන වූ ගුණ ඇත්තේ යන අර්ථයි. අවජාතො යනු ගුණධර්මවලින් මව්පියන්ට අවම ගුණ ඇත්තෙක්ව උපන්, ඔවුන්ට වඩා හීන ගුණ ඇත්තේ යන අර්ථයි. යම් ගුණධර්මවලින් යුක්ත වූ පුත්‍රයා මව්පියන්ගේ ගුණවලට අධික වූයේ ද සම වූයේ ද පහත් වූයේ ද යනුවෙන් අදහස් කරන ලදී. ඒවා බෙදා දක්වන්නට ‘කථඤ්ච භික්‍ඛවෙ පුත්තො අතිජාතො හොති’ යනුවෙන් කියනු කැමැත්තෙන් විමසීම සිදුකොට ‘ඉධ භික්‍ඛවෙ පුත්තස්ස’ යනාදී වශයෙන් නිර්දේශය (විස්තර කොට දැක්වීම) ආරම්භ කරන ලදී.
එහි න බුද්ධං සරණං ගතා යනාදියෙහි ‘බුද්ධ’ යනු සියලු ධර්මයන්හි නොහැපුණු ඤාණ නිමිත්තෙන් අනුත්තර වූ විමෝක්‍ෂය ලබා ගැනීම පුරුදු කළ ස්කන්ධ සන්තානය ඇති සර්වඥතා ඥානයට ආසන්න කාරණය වූ සත්‍යවබෝධය හෝ හේතු කරගෙන පැනවීම් කරන සත්ත්වයන්ට උසස් වූ බුදුරදුන්ය. එය කියන ලද අයුරු මෙසේය -
‘බුද්ධොති යො සො භගවා සයම්භූ අනාචරියකො පුබ්බෙ අනනුස්සුතෙසු ධම්මෙසු සාමං සච්චානි අභිසම්බුජ්ඣි, තත්‍ථ ච සබ්බඤ්ඤුතං පත්තො, බලෙසු ච වසීහාවං’ ‘බුද්ධ යනු යමෙක් භාග්‍යවත් වූයේ (සත්‍යයන්) අවබෝධ කළේ ගුරුවරුන් නැත්තේ පෙර නොඇසූ ධර්මයන්හි තමා සත්‍යයන් අවබෝධ කළේ ඒ සත්‍යයන්හි ද සර්වඥබවට පැමිණියේ බලධර්මයන්හි ද වශීභාවයට පැමිණියේ වේද හෙතෙමේය’
පළමුකොට මෙය අර්ථ වශයෙන් ‘බුද්ධ’ යන පදය පැහැදිලි කිරීමයි.
ව්‍යඤ්ජන (පද) වශයෙන් වනාහි සසර පුරුදු සහිත කෙලෙස් නින්දෙන් අතිශයින්ම බැහැර වූ හෙයින් බුද්ධ හෝ පටිබුද්ධ හෝ වෙතියි බුද්ධ නම් වේ. බුද්ධියේ විකසිත භාවයෙන් හෝ බුද්ධ හෝ විබුද්ධ හෝ වෙතියි බුද්ධ නම් වේ. අවබෝධ කළේය යනුවෙන් බුද්ධය. අවබෝධ කරවයි යනුවෙන් බුද්ධය. මේ ආදී ක්‍රමයෙන් දතයුතුය. එය කියන ලද අයුරු මෙසේය -
‘සත්‍යයන් අවබෝධ කළේය යනුවෙන් බුද්ධය, ප්‍රජාවට අවබෝධ කරවයි යනුවෙන් බුද්ධය, සර්වඥ බැවින් බුද්ධිය, (සියල්ල දන්නා බැවින් බුද්ධය) සියල්ල දක්නා බැවින් බුද්ධිය, අනුන් විසින් අවබෝධ නොකරවිය යුතු බැවින්, තමාම අවබෝධ කළ බැවින් බුද්ධය, නොයෙක් ගුණ ගලන හෙයින් බුද්ධය = (පියුමක් මෙන් පිපෙන හෙයින් බුද්ධය), ක්‍ෂීණාශ්‍රව නාමයෙන් බුද්ධය, උපක්ලේශ නැත, නාමයෙන් බුද්ධය, ඒකාන්තයෙන් වීතරාග (පහකළ රාගය ඇති) හෙයින් බුද්ධය, ඒකාන්තයෙන් වීතදෝස (පහකළ ද්වේෂය ඇති) හෙයින් බුද්ධය, ඒකාන්තයෙන් වීතමෝහ (පහකළ මෝහය ඇති) හෙයින් බුද්ධය, ඒකාන්තයෙන් කෙලෙස් නැති බැවින් බුද්ධය, ඒකායන මාර්ගයට ගිය හෙයින් බුද්ධය, තනිව අනුත්තර වූ සම්මා සම්බෝධිය අවබෝධ කළ හෙයින් බුද්ධය, අබුද්ධිය නැසූ හෙයින් බුද්ධිය ලැබූ හෙයින් බුද්ධය, බුද්ධ යන ඒ නම මව විසින් නොකරන ලදී, පියා විසින් නොකරන ලදී, සොහොයුරා විසින් නොකරන ලදී, සොහොයුරිය විසින් නොකරන ලදී, මිතුරන් මෙහෙකරුවන් විසින් නොකරන ලදී, මව්-පිය දෙපසට අයත් ලේ නෑයන් විසින් නොකරන ලදී, ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් නොකරන ලදී, දෙවියන් විසින් නොකරන ලදී, බුද්ධ යන නම අර්හත්ඵලය නම් වූ විමෝක්‍ෂ අන්තයෙහි භාග්‍යවත් වූ බුදුවරුන්ට සර්වඥතාඥානය ලැබීමත් සමග අර්හත්ථලය ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් උපන් පැණවීමකි.
හිංසාකරන හෙයින් (හිංසතීති) සරණ නම් වේ. සියලු අයහපත, අපාය දුක සියලු සසර දුක හිංසා කරයි විනාශ කරයි යන අර්ථයි. සරණං ගතා යනු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අපගේ පිහිටය, පරායනය, පිළිසරණය, විපත නසන තැනැත්තෝය, යහපත සිදුකරන තැනැත්තෝය යන මේ අදහසින් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙතට යමු, උන්වහන්සේ භජනය කරමු, සේවනය කරමු, පයිරුපාසනය කරමු මෙසේද දනිමු, අවබෝධ කරමුයි (සිත) මෙසේ ගිය අය එළඹි අය බුදුන් සරණ ගිය අය වෙති. එය ප්‍රතික්‍ෂේප කිරීමෙන් බුදුන් සරණ ගියාහු නො වෙති.
ධම්මං සරණං ගතා යනු අවබෝධ කරන ලද මාර්ගය ඇති, ප්‍රත්‍යක්ෂ කරන ලද නිවන ඇති, අනුශාසනා කළ අයුරින් පිළිපැදීම් ඇති අය සතර අපායෙහි නොවැටෙන්නවුන් කොට දරයි යන අරුතින් ධම්ම නම් වෙයි. එය අර්ථ වශයෙන් ආර්ය මාර්ගයත් නිවනත් වෙයි. මේ කාරණය මෙසේ කියන ලදී -