9. සඞ්ඝසාමග්ගී සූත්‍ර වර්ණනාව
නවවන සූත්‍රයෙහි එකධම්මො යනු එක් කුශල ධර්මයක්, නිවැරදි ධර්මයක්. මේ ධර්මයයි මේ ධර්මය නොවේයයි ආදි වශයෙන් ඉදින් සංඝයා කෙරෙහි විවාදයක් උපදින්නේ නම් එහිදී ධර්මයට කැමති නුවණ ඇති තැනැත්තා විසින් ඉදින් මේ විවාදය වැඩිදියුණු වන්නේ නම් සංඝ රාජිය පිණිස හෝ සංඝභේදය පිණිස හෝ පවතින්නේය යන මේ කාරණය විද්‍යමාන වන්නේය යනුවෙන් මෙසේ සිතාබැලිය යුතුය. ඉදින් ඒ අධිකරණය තමා විසින් ඔසවාගෙන (දැඩිව ගෙන) සිටියේ නම් ගින්නක් පාගන්නා කෙනෙකු මෙන් වහාම එයින් නැවතිය යුතුය. එසේම අනුන් විසින් හෝ දැඩිව ගෙන සිටින ලද එය සන්සිඳුවීමට තමා සමත් නම් උත්සාහවත් වී දුරකට වුවද ගොස් එය සන්සිඳෙන ආකාරයට පිළිපැදිය යුතුය. ඉදින් තමා සමත් නොවන්නේ නම් ඒ විවාදය මතු මත්තෙහිත් වැඩෙන්නේම නම් නොසන්සිඳෙන්නේ නම් ඒ කරුණෙහිලා සුදුසු වූ ශික්‍ෂාකාමී වූ එකට බඹසර හැසිරෙන භික්‍ෂූන් වහන්සේලා උත්සාහවත් කොට යම් ධර්මයකින්, යම් විනයකින් යම් ශාස්තෲ ශාසනයකින් ඒ අධිකරණය සන්සිඳේ නම් එසේ සන්සිඳවිය යුතුය. මෙසේ සන්සිඳුවන්නා වූ භික්‍ෂුවට සංඝයා සමඟි කිරීමේ යම් කුශල ධර්මයක් වේද මෙහිදී මෙය ‘එකධම්මො’ යනුවෙන් අදහස් කරන ලදී. ඒ භික්‍ෂුව සැක ඇතිවූ දෙපැත්තෙහිම සිටින භික්‍ෂූන්ට ද ඔවුන්ට අනුව පැවතීම් වශයෙන් සිටි භික්‍ෂූණීන්ට ද උපාසකයන්ට ද උපාසිකාවන්ට ද ඔවුන්ගේ ආරක්ෂක දේවතාවන්ට ද බ්‍රහ්මයන්ට ද අහිත වූ දුක්ගෙන දෙන්නා වූ ක්ලේශ ධර්මය ඉවත්කොට මහත් වූ පුණ්‍ය රාශියකට කුසල් ගලායාමට හේතුවීමෙන් දෙවියන් සහිත ලෝකයාට හිතසැප ගෙන දෙන්නෙක් වෙයි.
එහෙයින් ‘එකධම්මො භික්‍ඛවෙ ලොකෙ උප්පජ්ජමානො උප්පජ්ජති බහුජන හිතාය’ ‘මහණෙනි, එක් ධර්මයක් ලෝකයෙහි උපදිනු ලබන්නේ බොහෝදෙනාට හිත (යහපත) පිණිස’ යනාදිය වදාරණ ලදී. එහි අර්ථය මුලින් කියන ලද (අනන්තර) සූත්‍රයෙහි වදාළ ආකාරයට විරුද්ධ ලෙසින් දතයුතුය. සංඝසාමග්ගි යනු සංඝයාගේ සමඟි බව භේදයක් නැති බව එක්ව විනයකර්ම කරන බවද එක්ව පාමොක් උදෙසන බව ද වේ.
ගාථාවෙහි සුඛා සංඝස්ස සාමග්ගි යනු සැපයට හේතුවීමෙන් සමඟිය සැපයයි වදාරණ ලදී. ‘සුඛො බුද්ධානං උප්පාදො’ ‘බුදුවරුන්ගේ උපත සැපයකි’ යන්න මෙනි. සමග්ගානඤ්චනුග්ගහො යනු සමඟි වූවන්ගේ සමඟිය අනුමෝදන් වීමෙන් අනුග්‍රහ කිරීම, සමඟියට අනුරූප වීම, යම්සේ ඔවුහු සමඟිය අත නොහරිත් ද එසේ ගැනීම තැබීම අනුබලදීම යන අර්ථයි. සමග්ගං කත්‍වා යනු බිඳුණු හෝ සංඝරාජියට පත්වූ හෝ සංඝයා සමඟිකොට, අර්ථ සහිත වූවක් කොට කප්පං යනු ආයුෂ කල්පයම සග්ගම්හි මොදති යනු කාමාවචර දිව්‍ය ලෝකයෙහි අනිත් දෙවිවරුන් කරුණු දහයකින් මැඬපවත්වා දිවසැප අනුභව කරමින් කැමති දේ සිදුවීමෙන් ම සතුටු වෙයි, නැලවෙයි, ක්‍රීඩා කරයි.
නවවන සූත්‍ර වර්ණනාවයි.
10. පදුට්ඨපුග්ගල සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයෙහි උපත කුමක් ද? අර්ථෝත්පත්තියමය. එක්දිනක් දම්සභාවෙහි හුන්නා වූ භික්‍ෂූහු ‘ඇවැත්නි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් බොහෝ පින්කම් කරයි. ඇතැම් පුද්ගලයෙක් බොහෝ පව්කම් කරයි. ඇතැම් පුද්ගලයෙක් පින්පව් දෙක මිශ්‍රව කරයි. මෙහි මිශ්‍රව කර්ම කරන පුද්ගලයාගේ පරලොව කෙබඳු ද’ යනුවෙන් කථාවක් මතු කළහ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ දම්සබාවට වැඩමකොට පනවන ලද උතුම් ආසනයෙහි වැඩහිඳිමින් ඒ කථාව අසා මහණෙනි, මරණාසන්න කාලයෙහි කිලිටි වූ සිත් ඇති පුද්ගලයා විසින් දුගතිය කැමතිවිය යුතුයයි දක්වමින් මේ කාරණය මුල්කොට උපන් මේ සූත්‍රය වදාළහ.
එහි ඉධ යනු දේශය දැක්වීමෙහි නිපාතයයි. ඒ මේ නිපාතය කිසියම් තැනක ‘ප්‍රදේශය’ ගෙන කියනු ලැබේ. ‘ඉධෙව තිට්ඨමානස්ස දෙවභූතස්ස මෙ සතො’ ‘මෙහි ම සිටින දෙවි වූ ම මා විසින්’ යන ආදියෙහි මෙනි. කිසියම් තැනක ‘ශාසනය’ ගෙන කියනු ලැබේ. ‘ඉධෙව භික්‍ඛවෙ සමණො ඉධ දුතියො සමණො’ ‘මහණෙනි, මේ ශාසනයෙහිම පළමු ශ්‍රමණයා වෙයි. මෙහිම දෙවන දෙවන ශ්‍රමණයා වෙයි’ ආදියෙහි මෙනි. කිසිතැනක පදපූරණය පමණක යෙදේ. ‘ඉධාහං භික්‍ඛවෙ භුත්තාවී අස්සං පවාරිතො’ ‘මහණෙනි, මම වැළඳූයෙම් උවමනා පමණ වළඳා අවසන් කළෙම්’ ආදියෙහි මෙනි. කිසිතැනක ලෝකය ගෙන කියනු ලැබේ. ‘ඉධ තථාගතො උප්පජ්ජති’ ‘තථාගතයන් වහන්සේ මේ ලෝකයෙහි උපදිති’ ආදියෙහි මෙනි. මෙම සූත්‍රයෙහි ද ලෝකයෙහි ම යයි දතයුතුය.
එකච්චං යනු එක්, එක්තරා යන අර්ථයයි. පුග්ගලං යනු සත්ත්වයාය. ඔහු කැමති පරිදි කුසල් අකුසල් ද එහි විපාක ද සම්පූර්ණ කිරිමෙන් මරණ වශයෙන් ද ගලායෑම් වශයෙන් ද පුග්ගල යයි කියනු ලැබේ. පදුට්ඨචිත්තං යනු දූෂණයෙන් ක්‍රෝධයෙන් දූෂිත වූ සිත. නැතහොත් පදුට්ඨචිත්තං යනු රාගාදී දෝෂයෙන් දූෂිත වූ සිත. මෙහි ද එකච්චං යන මෙය දූෂිත වූ සිත් ඇති පුද්ගලයාට විශේෂණයකි. යමෙකුට ප්‍රතිසන්ධි ගෙනදෙන කර්මයට ඉඩක් ඇතිකළේ ද එසේ කියන ලද හෙතෙම, යමෙකුට අකුශල පැවැත්මෙන් සිත නවත්වා කුශල වශයෙන් බැසගන්නට නො හැකි ද මෙසේ ආසන්න වූ මරණය ඇත්තේ. එවං යනු දැන් කිවයුතු ආකාරය දක්වයි. චෙතසා යනු තමාගේ සිතෙන් අනුන්ගේ සිත් දන්නා නුවණින්. චෙතො යනු ඒ පුද්ගලයාගේ සිත. පරිච්ච යනු වෙන්කොට (පිරිසිඳ) පජානාමි දනිමි. මෙය යථාකම්මූපග ඤාණයට (මියගොස් ඉපදීමට හේතු වූ කර්මය දැනගන්නා නුවණට) වෙනස් නොවේද? එය ඇත්තය. එකල්හි පවතින අකුසල සිත වශයෙන් මෙය කියන ලදී.