දෙවන වර්ගය
1-3. මොහපරිඤ්ඤා ආදි සූත්‍ර වර්ණනා
දෙවන වර්ගයෙහි ද පළමු ආදී සූත්‍ර තුන කියන ලද ආකාරයෙන්මය. එසේම දේශනාවට කාරණය ද කියන ලද්දේම ය.
4. අවිජ්ජානීවරණ සූත්‍ර වර්ණනාව
සිවුවැනි සූත්‍රයෙහි නාහං භික්‍ඛවෙ යනාදියෙහි ‘න’ කාරය ප්‍රතික්‍ෂේප කිරීම් අර්ථ ඇත්තේය. ‘අහං’ යනුවෙන් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේ පෙන්වති. අඤ්ඤං යනු දැන් කිවයුතු අවිද්‍යා නීවරණයෙන් අනිකක්. එකනීවරණම්පි යනු එක් නීවරණ ධර්මයකුත්. සමනුපස්සාමි යනු දිට්ඨි සමනුපස්සනාව ද ඤාණ සමනුපස්සනාවදැයි සමනුපස්සනා දෙකකි. එහි ‘රූපං අත්තතො සමනුපස්සති’ ‘රූපය ආත්ම වශයෙන් දකියි’ යනාදී වශයෙන් පැමිණි මෙය දිට්ඨි සමනුපස්සනා නම් වේ. ‘අනිච්චතො සමනුපස්සති නො නිච්චතො’ ‘අනිත්‍ය වශයෙන් දකියි. නිත්‍ය වශයෙන් නොදකියි’ යනාදී වශයෙන් පැමිණි මෙය ඤාණ සමනුපස්සනා නම් වේ. මෙහිදී ද ඤාණ සමනුපස්සනාව ම අදහස් කරන ලදී. ‘සමනුපස්සාමි’ යන පදය න කාරයෙන් සම්බන්ධ වෙයි. ‘මහණෙනි, සර්වඥතා ඥාන සංඛ්‍යාත සමන්ත චක්‍ෂුවෙන් (සමතැසින්) සියලු ධර්මයන් අතෙහි වූ නෙල්ලි ගෙඩියක් බලන්නාක් මෙන් බලමින් අන් එක නීවරණයකුදු නො දකිමි’ යන මෙය කියන ලද්දේ වෙයි.
යෙන නීවරණෙන නිවුතා පජා දීඝරත්තං සන්‍ධාවන්ති සංසරන්ති යනු නීවරණක ස්වභාවය ඇති යම් නීවරණයකින් ධර්ම ස්වභාවය දැනගන්නට, දැකගන්නට, අවබෝධ කරගන්නට නොදී වසාගෙන හාත්පසින් වසාගෙන සිටීමෙන් අන්ධකාරයෙන් වසන ලද සත්ත්වයෝ මුලක් නැති සසරෙහි අප්‍රමාණ කල්පයෙහි මහත් වූද කුඩා වූද භවවල භවයෙන් භවයෙහි උප්පත්ති වශයෙන් සියලු ආකාරයෙන් දිවීමද කරති, හැසිරීමද කරති. අරමුණු අතර ගමන් කිරීම් වශයෙන් පැවැත්ම හෝ සන්ධාවනයයි. භවයෙන් භවය ගමන්කිරීම් වශයෙන් පැවැත්ම හෝ සංසරණයයි. කෙලෙසුන්ගේ බලවත් බැවින් සන්ධාවනය වෙයි. දුර්වල බැවින් සංසරණය වෙයි. එක ජාතියක ඇසිල්ලෙන් ඇසිල්ල මැරීම් වශයෙන් සන්ධාවනය වෙයි. නොයෙක් ජාතීන්හි ව්‍යවහාර මරණ වශයෙන් සංසරණය වෙයි. ‘චිත්තමස්ස විධාවති’ ‘ඔහුගේ සිත ඔබමොබ දුවයි’ යනුවෙන් කියන ලද හෙයින් චිත්ත වශයෙන් සන්ධාවනය වෙයි. කර්ම වශයෙන් සංසරණය වෙයි. මෙසේ සන්ධාවන සංසරණ යන පදවල වෙනස දතයුතුය.
යථයිදං යනු යථා ඉදං, ය කාරය පද සන්ධි කරන්නාය. සන්ධි වශයෙන් (‘ථා’ හි ඇති ‘ආ’ යන්න) කෙටි බවට පැමිණේ. අවිජ්ජා නීවරණං යනු මෙහි පුරවන්ට නුසුදුසු අර්ථයෙන් කාය දුශ්චරිතාදියය අවින්දිය නම් වේ. නොලැබිය යුතුය යන අර්ථය යි. ඒ නොවිඳියයුක්ත විඳියි යන අර්ථයෙන් අවිද්‍යා නම් වේ. මෙයට විරුද්ධ අර්ථ වශයෙන් කාය සුචරිතාදිය විඳිය යුතු ධර්ම නම් වේ. ඒ විඳිය යුත්ත නො විඳියි යන අර්ථයෙන් අවිද්‍යා නම් වේ. ස්කන්ධයන්ගේ රාශි අර්ථය ආයතනයන්ගේ රැස්කිරීම් අර්ථය, ධාතුන්ගේ හිස් වූ (ශුන්‍ය) අර්ථය, ඉන්ද්‍රියයන්ගේ අධිපති බව යන අර්ථය, සත්‍යයන්ගේ නොවෙනස් වූ අර්ථය, දුක්ඛාදීන්ගේ පීඩාකිරීම් ආදී වශයෙන් කියන ලද සිවුවැදෑරුම් අර්ථය නො දනියි යන අර්ථයෙන් ද අවිද්‍යා නම් වේ. අගක් නැති සසරෙහි සත්ත්වයන් දුවවයි යන අර්ථයෙන් හෝ අවිද්‍යා නම් වේ. පරමාර්ථ වශයෙන් අවිද්‍යාමාන ස්ත්‍රී පුරුෂ ආදීන් කෙරෙහි දුවයි, පවතියි, විද්‍යමාන ස්කන්ධාදීන් කෙරෙහි නො දුවයි, නො පවතියි යන අර්ථයෙන් අවිද්‍යා නම් වේ. තව ද චක්ඛු විඤ්ඤාණාදීන්ගේ ද චක්ඛු ආදි වස්තුවල ද රූපාදී අරමුණුවල ද පටිච්ච සමුප්පාද පටිච්ච සමුප්පන්න ධර්මයන්ගේ ද වැසීම කරන හෙයින් අවිද්‍යා නම් වේ. අවිද්‍යාවම නීවරණය හෙයින් අවිද්‍යා නීවරණ නම් වේ.
අවිජ්ජා නීවරණෙන හි භික්‍ඛවෙ නිවුතා පජා දීඝරත්තං සන්‍ධාවන්ති සංසරන්ති යන මෙය පළමු වැකියේ අර්ථයම දැඩි කිරීම පිණිස කියන ලදී. මුලින් ඇති ‘යථයිදං භික්‍ඛවෙ අවිජ්ජානීවරණං’ යන්න මෙසේ උපමා දැක්වීම් වශයෙන් වදාරන ලදී. මෙය නීවරණ ආනුභාවය දැක්වීම් වශයෙන් වදාරන ලදී. කුමක් නිසා මෙහිදී අනිත් ධර්ම නො වදාරා අවිද්‍යාවම වදාරන ලද්දේ ද? ආදීනව (දොස්) වසාදමන හෙයින් කාමච්ඡන්දාදී නීවරණයන්ට විශේෂයෙන් ප්‍රත්‍ය වන (හේතුවන) හෙයිනි. එය එසේමය. ඒ අවිද්‍යාවෙන් වසා දමන ලද දොස් ඇති තැන කාමච්ඡන්දාදිය පවතියි.
නත්‍ථඤ්ඤො යන්න මුල්කොට ඇති ගාථා වදාළ අර්ථයත් නොවදාළ අර්ථයත් එකතුකිරීම් වශයෙන් වදාරන ලදී. එහි නිවුතා යනු වැසුණා වූ, ඔතන ලද්දා වූ සඟවන ලද්දා වූ යන අර්ථය යි. අහොරත්තං යනු දවල් ද රාත්‍රිය ද, සියලු කාලය කියන ලද්දේ වෙයි. යථා මොහෙන ආවුතා යනු යම් ආකාර අවිද්‍යා නීවරණ සංඛ්‍යාත මෝහයෙන් වැසුණු සැඟවුණු මනාව දතහැකි දේ නොදන්නා වූ ප්‍රජාවෝ (සත්ත්වයෝ) සසරෙහි සැරිසරත් ද එබඳු අන් එක් ධර්මයකුදු එක් නීවරණයකුදු නැතැයි යෙදිය යුතුය.
යෙ ච මොහං පහත්‍වාන තමොක්‍ඛන්‍ධං පදාළයුං යනු යම් ආර්ය ශ්‍රාවකයන් වහන්සේලා පූර්වභාගයෙහි (සෝවාන් ආදී මාර්ගයට පත්වීමට පෙර අවස්ථාවෙහි) තදංග ආදී ප්‍රහාණ වශයෙන් හෝ පහළම මාර්ගවලින් ඒ ඒ මාර්ගයෙන් දුරුකළ යුතු මෝහය දුරුකොට අග්‍ර මාර්ගයෙන් වජ්‍රයකට උපමාකොට ඇති ඤාණයෙන් මෝහ සංඛ්‍යාත වූ ම අන්ධකාර රාශිය සිඳ දැමුවාහුය. ඉතිරි නොකිරීම් වශයෙන් සහමුළින් සිඳ දැමුවාහුය. න තෙ පුන සංසරන්ති යනු ඒ රහතන් වහන්සේලා -
ඛන්‍ධානං පටිපාටි ධාතු ආයතනාන ච
අබ්බොච්ඡින්නං වත්තමානා සංසාරොති පවුච්චති
අබ්බොච්ඡින්නං වත්තමානා සංසාරොති පවුච්චති
ස්කන්ධ, ධාතු, ආයතනවල පිළිවෙළ නොසිඳී පැවැත්ම සංසාරයයි කියනු ලැබේ යනුවෙන්
මෙසේ කියන ලද මේ සසරෙහි නො හැසිරෙත්. පරිභ්‍රමණය නො කරති. කුමක් නිසා ද හෙතු තෙසං න විජ්ජති සංසාරයට හේතුව මූලකාරණය අවිද්‍යාවයි. උන්වහන්සේලා කෙරෙහි ඒ අවිද්‍යාව විද්‍යාමාන නොවේ. සියලු ආකාරයෙන් නැත. සහමුලින් සිඳදමන ලද බැවිනි.
සිවුවන සූත්‍ර වර්ණනාවයි.
5. තණ්හාසංයොජන සූත්‍ර වර්ණනාව
පස්වැනි සූත්‍රයෙහි යමෙකුගේ විද්‍යාමානත්වය වේද ඒ පුද්ගලයා දුක්වලින් කර්මය හෝ විපාකවලින් භවය - යෝනිය - ගතිය විඤ්ඤාණයේ සිටීම - සත්තාවාස හෝ භවයෙන් භවය ආදියෙහි යොදන්නේය යන අර්ථයෙන් සංයෝජන නම් වේ. ආසා කිරීම් අර්ථයෙන් තණ්හා නම් වේ. මෙය කරණකොට තමා ආශාකරයි හෝ ආශාවෙන් පීඩිත වෙයි හෝ ආශා කරති හෝ තණ්හා නම් වේ.
සඤ්ඤුත්තා යනු ඇස ආදී ඇලුම් කටයුතු වස්තුවල බැඳුණු, සෙස්ස කියන ලද ක්‍රමයටම ය. ඒකාන්තයෙන් මෙහි අවිද්‍යාවේ සංයෝජන භාවයද තණ්හාවේ නීවරණභාවය ද ඇත්තේම ය. එහෙත් අවිද්‍යාවෙන් වසන ලද ආදීනව ඇති භවයන්හි තෘෂ්ණාව සත්ත්වයන් යොදවන්නේය යන මේ වෙනස දැක්වීම සඳහා පළමු සූත්‍රයෙහි අවිද්‍යාව නීවරණයක් වශයෙන්ම ද මෙහි තණ්හාව සංයෝජනයක් වශයෙන් ද කියන ලදී. එය ද නීවරණ, සංයෝජනයන්ගේ ප්‍රධාන බව දැක්වීම පිණිසය. යම්සේ නීවරණ වශයෙන් අවිද්‍යාව සංක්ලේශ ධර්මයන්ට ප්‍රධාන වන්නේ ද පූර්වාංගම වන්නේ ද මෙසේ සංයෝජන වශයෙන් ම අවිද්‍යා තණ්හා දෙක අතුරෙන් තව එයට සම්බන්ධ ප්‍රධානභාවය දක්වන්නට සූත්‍ර දෙකෙහි ඒ ධර්ම මෙසේ කියන ලදී. එහෙත් විශේෂයෙන් අවිද්‍යාව නිවන්දොර ආවරණය කරන හෙයින් නීවරණය යි කියන ලදී. තණ්හාව සසර දුක සමග සත්ත්වයන් යොදන හෙයින් සංයෝජනයයි කියන ලදී.