ඒකක නිපාතය
ප්‍රථම වර්ගය
1. ලෝභ සූත්‍ර වර්ණනාව
දැන් එකධම්මං භික්‍ඛවෙ පජහථ යනාදී ක්‍රමයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් තබන ලද සූත්‍රයේ වර්ණනාවට අවකාශය පැමිණියේ වෙයි. ඒ මේ අර්ථ වර්ණනාව වනාහි යම්හෙයකින් සූත්‍ර නික්‍ෂේපය විමසා කියනු ලබන්නේ ප්‍රකට වේද, එහෙයින් පළමුකොට සූත්‍ර නික්‍ෂේපය විමසන්නෙමු.
1. අත්තජ්ඣාසය, 2. පරජ්ඣාසය, 3. පුච්ඡාවසිකය, 4. අට්ඨුප්පත්තිකය යනුවෙන් සූත්‍ර නික්‍ෂේප සතරකි.
නොයෙක් සිය ගණන් දහස් ගණන් භේද ඇති සූත්‍ර, සංකිලේසභාගිය ආදී වූ පට්ඨාන න්‍යායයෙන් දහසය (16) ආකාරය නො ඉක්මවන්නා සේම අත්තජ්ඣාසයාදිය සූත්‍ර නික්ෂේප වශයෙන් සතර ආකාරය නො ඉක්මවයි.
අත්තජ්ඣාසය ද පරජ්ඣාසය ද, අත්තජ්ඣාසය ද පුච්ඡාවසිකය ද, අට්ඨුප්පත්තිකය ද පරජ්ඣාසය ද, අට්ඨුප්පත්තිකය ද පුච්ඡාවසිකය ද, යනුවෙන් අජ්ඣාසය - පුච්ඡා අනුසන්ධි ලැබෙන බැවින් අත්තජ්ඣාසයට ද අට්ඨුප්පත්තිකයට ද පරජ්ඣාසය - පුච්ඡා සමග එක්වීම් භේදය ලැබේ. මෙසේ තවදුරටත් අට්ඨුප්පත්තිකයට අත්තජ්ඣාසය සමග එක්වීම ලැබුණත් ඉදිරියෙන් සිටි අත්තජ්ඣාසයාදිය සමග අට්ඨුප්පත්තියේ එක්වීමක් නැත. මෙසේ නිරවශේෂ වූ පට්ඨාන න්‍යාය නො ලැබේ. ලැබෙන්නා වූ සෙසු නික්‍ෂේප එහි ඇතුළත් බැවින් හෝ මූල නික්‍ෂේප වශයෙන් සූත්‍ර නික්‍ෂේප සතරක් කියන ලදැයි දතයුතුය.
මේ එහි වචනාර්ථය යි. බහා තබනු ලැබේ යන අරුතින් නික්ඛේප නම් වේ. සූත්‍රය බහා තැබීම ම සූත්‍ර නික්‍ෂේප නම් වේ. නැතහොත් බහා තැබීම නික්‍ෂේප යි. සූත්‍රයේ නික්‍ෂේපය සූත්‍ර නික්‍ෂේපය යි. සූත්‍ර දේශනාව යන අර්ථයි. තමාගේ අදහස අත්තජ්ඣාසය යි. එය මෙයට කරුණු වූයේ ය යනුවෙන් අත්තජ්ඣාසය නම් වේ. නැතහොත් මෙයට තමාගේ අදහස ඇත්තේය යනුවෙන් අත්තජ්ඣාසය නම් වේ. පරජ්ඣාසයෙහි ක්‍රමය යි. විමසීමට යටත් වූයේ යන අරුතින් පුච්ඡාවස නම් වේ. එය මෙයට ඇත්තේය යන අරුතින් පුච්ඡාවසික නම් වේ. සූත්‍ර දේශනාවට කාරණය වූ අර්ථයේ උත්පත්තිය අත්ථුත්පත්ති නම් වේ. අත්ථුප්පත්තියම අත්ථුප්පත්තික නම් වේ. නැතහොත් එය මෙයට ඇත්තේය යන අරුතින් අත්ථුප්පත්තික නම් වේ.
නැතහොත් මෙය කරණකොට සුත්‍රය බහාතබනු ලැබේ යන අරුතින් නික්ඛේප නම් වේ. අත්ථජ්ඣාසයාදියම ය. මේ අර්ථ විකල්පයෙහි දී තමාගේ අර්ථය පිළිබඳ අදහස අත්තජ්ඣාසය යි. අනුන්ගේ අර්ථය පිළිබඳ අදහස පරජ්ඣාසය. යි. විමසනු ලැබේ යන අරුතින් පුච්ඡා නම් වේ. විමසිය යුතු අර්ථය යි. විමසීම් වශයෙන් පැවති ධර්මය පිළිගන්නවුන්ගේ වචනය පුච්ඡාවසයයි. එයම නික්ඛේප ශබ්දය අපේක්‍ෂාවෙන් පුල්ලිංග වශයෙන් කියන ලදී. එසේම අත්ථුප්පත්තිය ම අත්ථුප්පත්තිකයයි මෙසේ මෙහි අර්ථය දතයුතුය.
තවද අනුන්ගේ ඉන්ද්‍රිය මෝරා යාම් ආදී කරුණු අපේක්ෂා රහිත බැවින් අත්තජ්ඣාසයට වෙනම සූත්‍ර නික්‍ෂේපභාවයක් යෙදීම සුදුසුය. එහෙයින් හුදෙක් තමන්ගේ අදහසින්ම යයි ධර්මපාළිය තැබීම සඳහා පවත්වන ලද දේශනාවක් බැවිනැයි කීය. අනුන්ගෙන් අදහස් විමසන දේශනා පැවැත්මට හේතු වූ උත්පත්තියෙහි පැවති පරජ්ඣාසය පුච්ඡාවසික දෙක පිළිබඳ අවිරුද්ධත්වය කෙසේ වේද? පුච්ඡාවසිකයට හේතු වූ පරජ්ඣාසයට ගැලපෙන සේ පැවති පරජ්ඣාසය පිළිබඳ අවිරුද්ධත්වය කෙසේවේද යනුවෙන් මෙය චෝදනා කළයුතු නොවෙයි. අනුන්ගේ ප්‍රාර්ථනා, විමර්ශන ආදියෙන් තොර වූ සූත්‍ර දේශනාවේ හේතුව වූ අර්ථෝත්පත්ති භාවයෙන් ගන්නා ලද බැවින් පරජ්ඣාසය පුච්ඡාවසික දෙකෙහි වෙන්ව ගැනීමයි.
එසේම බ්‍රහ්මජාල, ධම්මදායාද සූත්‍රාදියේ වර්ණනය අවර්ණනය, ආමිෂ පහළවීම ආදී දේශනා නිමිත්ත අට්ඨුප්පත්ති යයි කියනු ලැබේ. අනුන්ගේ විමසීමක් නැතිව අදහසම නිමිතිකොට දේශනා කරන ලද්දේ පරජ්ඣාසයයි. විමසීම් වශයෙන් දේශනා කරන ලද්දේ පුච්ඡාවසිකයයි යන මේ අර්ථය ප්‍රකටය.
අන්‍යයන්ගෙන් ආරාධනා නොලැබූ භාග්‍යවතුන් වහන්සේ හුදෙක් තමන් වහන්සේගේ අදහසින්ම ආකංඛෙය්‍ය සූත්‍රය, තුවටක සූත්‍රය ආදී යම් සූත්‍ර දේශනා කරත් ද ඒ සූත්‍ර දේශනාවලට අත්තජ්ඣාසය නික්‍ෂේපය වෙයි.
‘පරිපක්කා ඛො රාහුලස්ස විමුත්ති පරිපාචනීයා ධම්මා යන්නූනාහං රාහුලං උත්තරිං ආසවානං ඛයෙ විනෙය්‍යං’ යනුවෙන් මෙසේ අනුන්ගේ අදහස, රුචිය, ප්‍රාර්ථනාව, අවබෝධ කරන බව ද බලා රාහුලෝවාද සූත්‍රය, ධම්මචක්කප්පවත්තන සූත්‍රය ආදී මේ සූත්‍ර අනුන්ගේ අදහස් වශයෙන් දේශනා කරන ලද ද ඒවාට පරජ්ඣාසය නික්‍ෂේපය වෙයි.
ඒ ඒ දෙවිවරු ද මිනිස්සු ද සිවු පිරිස ද සතර වර්ණයට අයත් වූවෝ ද භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ ‘ස්වාමීනි, බොජ්ඣංග බොජ්ඣංගයයි කියනු ලැබේ. නීවරණ නීවරණ යයි කියනු ලැබේ යනාදී වශයෙන් විමසත්. මෙසේ විමසන ලද භාග්‍යවතුන් වහන්සේ විසින් බොජ්ඣංග සංයුත්තාදී යම් දහමක් දේශනා කරන ලද ද ඒවාට පුච්ඡාවසිකය නික්‍ෂේපය වෙයි.
උපන්නා වූ යම් ඒ කාරණයක් නිසා දේශනා කරන ලද ධම්ම දායාද, පුත්තමංසූපම, දාරුක්ඛන්‍ධූපම ආදී යමක් වේද ඒවාට අට්ඨුප්පත්තිකය නික්‍ෂේපය වෙයි.
මෙසේ මේ සූත්‍ර නික්‍ෂේප සතර අතරින් මේ සූත්‍රයට පරජ්ඣාසය නික්‍ෂේපය වෙයි. මෙය වනාහි පරජ්ඣාසය වශයෙන් තබන ලදී. ලෝභයෙහි ආදීනව දකින්නා වූ ඒ පුද්ගලයන්ගේ අදහස් වශයෙනි. ඇතැමෙක් අත්තජ්ඣාසය යි කියති.