10. පදුට්ඨපුග්ගල සූත්‍ර වර්ණනාව
දසවන සූත්‍රයෙහි උපත කුමක් ද? අර්ථෝත්පත්තියමය. එක්දිනක් දම්සභාවෙහි හුන්නා වූ භික්‍ෂූහු ‘ඇවැත්නි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් බොහෝ පින්කම් කරයි. ඇතැම් පුද්ගලයෙක් බොහෝ පව්කම් කරයි. ඇතැම් පුද්ගලයෙක් පින්පව් දෙක මිශ්‍රව කරයි. මෙහි මිශ්‍රව කර්ම කරන පුද්ගලයාගේ පරලොව කෙබඳු ද’ යනුවෙන් කථාවක් මතු කළහ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ දම්සබාවට වැඩමකොට පනවන ලද උතුම් ආසනයෙහි වැඩහිඳිමින් ඒ කථාව අසා මහණෙනි, මරණාසන්න කාලයෙහි කිලිටි වූ සිත් ඇති පුද්ගලයා විසින් දුගතිය කැමතිවිය යුතුයයි දක්වමින් මේ කාරණය මුල්කොට උපන් මේ සූත්‍රය වදාළහ.
එහි ඉධ යනු දේශය දැක්වීමෙහි නිපාතයයි. ඒ මේ නිපාතය කිසියම් තැනක ‘ප්‍රදේශය’ ගෙන කියනු ලැබේ. ‘ඉධෙව තිට්ඨමානස්ස දෙවභූතස්ස මෙ සතො’ ‘මෙහි ම සිටින දෙවි වූ ම මා විසින්’ යන ආදියෙහි මෙනි. කිසියම් තැනක ‘ශාසනය’ ගෙන කියනු ලැබේ. ‘ඉධෙව භික්‍ඛවෙ සමණො ඉධ දුතියො සමණො’ ‘මහණෙනි, මේ ශාසනයෙහිම පළමු ශ්‍රමණයා වෙයි. මෙහිම දෙවන දෙවන ශ්‍රමණයා වෙයි’ ආදියෙහි මෙනි. කිසිතැනක පදපූරණය පමණක යෙදේ. ‘ඉධාහං භික්‍ඛවෙ භුත්තාවී අස්සං පවාරිතො’ ‘මහණෙනි, මම වැළඳූයෙම් උවමනා පමණ වළඳා අවසන් කළෙම්’ ආදියෙහි මෙනි. කිසිතැනක ලෝකය ගෙන කියනු ලැබේ. ‘ඉධ තථාගතො උප්පජ්ජති’ ‘තථාගතයන් වහන්සේ මේ ලෝකයෙහි උපදිති’ ආදියෙහි මෙනි. මෙම සූත්‍රයෙහි ද ලෝකයෙහි ම යයි දතයුතුය.
එකච්චං යනු එක්, එක්තරා යන අර්ථයයි. පුග්ගලං යනු සත්ත්වයාය. ඔහු කැමති පරිදි කුසල් අකුසල් ද එහි විපාක ද සම්පූර්ණ කිරිමෙන් මරණ වශයෙන් ද ගලායෑම් වශයෙන් ද පුග්ගල යයි කියනු ලැබේ. පදුට්ඨචිත්තං යනු දූෂණයෙන් ක්‍රෝධයෙන් දූෂිත වූ සිත. නැතහොත් පදුට්ඨචිත්තං යනු රාගාදී දෝෂයෙන් දූෂිත වූ සිත. මෙහි ද එකච්චං යන මෙය දූෂිත වූ සිත් ඇති පුද්ගලයාට විශේෂණයකි. යමෙකුට ප්‍රතිසන්ධි ගෙනදෙන කර්මයට ඉඩක් ඇතිකළේ ද එසේ කියන ලද හෙතෙම, යමෙකුට අකුශල පැවැත්මෙන් සිත නවත්වා කුශල වශයෙන් බැසගන්නට නො හැකි ද මෙසේ ආසන්න වූ මරණය ඇත්තේ. එවං යනු දැන් කිවයුතු ආකාරය දක්වයි. චෙතසා යනු තමාගේ සිතෙන් අනුන්ගේ සිත් දන්නා නුවණින්. චෙතො යනු ඒ පුද්ගලයාගේ සිත. පරිච්ච යනු වෙන්කොට (පිරිසිඳ) පජානාමි දනිමි. මෙය යථාකම්මූපග ඤාණයට (මියගොස් ඉපදීමට හේතු වූ කර්මය දැනගන්නා නුවණට) වෙනස් නොවේද? එය ඇත්තය. එකල්හි පවතින අකුසල සිත වශයෙන් මෙය කියන ලදී.
ඉම්මහි චායං සමයෙ යනු මේ කාලයෙහි, මේ හේතු එකතු වූ කල්හි හෝ අයං පුග්ගලො මේ පුද්ගලයා පෘථග්ජන ජවන වීථියෙන් පසුකාලයෙහි කාලං කරෙය්‍ය ඉදින් කලුරිය කරන්නේ නම් යන අර්ථයි. ජවනය ඇතිවන මොහොතෙහි කලුරිය කිරීමක් නැත. යථාභතං නික්‍ඛිත්තො එවං නිරයෙ යනු ගෙන එන ලද කිසිවක් ගෙනවුත් තබන ලද්දාක් මෙන් තමාගේ කර්මයෙන් නිරයෙහි බහා තබන ලද්දේම ය තබන ලද්දේම ය යන අර්ථයි. කායස්ස භෙදා යනු උපාදින්න (තෘෂ්ණාදියෙන් අල්ලා ගන්න ලද) ස්කන්ධ හැරදැමීමෙන්. පරම්මරණා යනු ඊට පසුව උපන් ස්කන්ධ අල්ලා ගැනීමෙහි. නැතහොත් ‘කායස්ස භෙදා’ යනු ජීවිතින්‍ද්‍රිය සිඳ දැමීමෙන්. ‘පරම්මරණා’ යනු චුතියෙන් මත්තෙහි.
අපායං යන ආදී සියල්ල නිරයට සමාන වචනමය. නිරය වනාහි ‘අය’ යයි කියන ලද සැපයෙන් ඉවත්වූයේ යන අර්ථයෙන් අපාය නම් වේ. ස්වර්ග මෝක්‍ෂයට හේතු වූ පුණ්‍ය සම්මත ‘අය’ යෙන් ඉවත් වූයේ යන අර්ථයෙන් ද අපාය නම් වේ. දුකේ ගතිය, දුකට පිළිසරණ යන අර්ථයෙන් දුග්ගති නම් වේ. ද්වේෂ බහුල බැවින් හෝ දුෂ්ට කර්මයෙන් උපන්නා වූ ගතිය යන අර්ථයෙන් ද දුග්ගති නම් වේ. නරක කර්ම කළ අය මෙහි විවසව. වැටෙති. අඟපසඟ බිඳමින් නැසෙමින් මෙහි වැටෙති යන අර්ථයන් හෝ විනිපාත නම් වේ. මෙහි ආශ්වාද නම් වූ ‘අය’ මෙහි නැතැයි ආශ්වාද නැති අර්ථයෙන් නිරය නම් වේ. නැතහොත් අපාය ගැනීමෙන් තිරිසන් යෝනිය කියනු ලැබේ. තිරිසන් යෝනිය වනාහි සුගතියෙන් පහවූ බැවින් අපාය නම් වේ. මහේශාක්‍ය නාගරාජාදීන්ගේ හටගැනීම ඇති හෙයින් දුගතිය නොවේ. දුගතිය ගැනීමෙන් ප්‍රේත විෂය කියනු ලැබේ. එය සුගතියෙන් පහ වූ බැවින් ද දුකට පිහිට වූ බැවින් ද අපාය ද දුගතිය ද වෙයි. අසුරයන්ට සමාන විනිපාතයක් නැති බැවින් විනිපාත නොවේ. විනිපාතය ගැනීමෙන් අසුරකාය කියනු ලැබේ. එය කියන ලද ආකාර ඇති අර්ථයෙන් අපාය ද දුගතිය ද වෙයි. සම්පූර්ණ ශරීරවලින් වැටුණු බැවින් විනිපාත යයි ද කියනු ලැබේ. මෙහි වනාහි සියලු පදවලින් නිරයම කියන ලද්දේය. උප්පජ්ජන්ති යනු ප්‍රතිසන්ධිය ගනිති.
ගාථා අතරින් පළමු ගාථාව සංගායනා කාලයෙහි ධර්මය සංගායනා කළ ස්ථවිරයන් වහන්සේලා විසින් තබන ලදී. ඤත්‍වා යනු පූර්වකාල ක්‍රියාවයි. (අතීත කාලයට අයත් පූර්ව ක්‍රියාවයි) දැනීම මුල්කොට ඇති ප්‍රකාශ කිරිමයි. ‘සිංහයා දැක බියවෙයි’ යන්න මෙන් ඤත්වා ශබ්දය හේතු අර්ථය ඇත්තේ හෝ වෙයි. දැනීම් හේතුව යන අර්ථයි. බුද්ධො භික්‍ඛූන සන්තිකෙ යනු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සමීපයෙහි භික්‍ෂූන්ට ඉන්පසු ඇති ගාථා දෙකින් කියනු ලබන අත්‍ථං බ්‍යාකාසි කාරණය වදාළහ. ඉතිරිය කියන ලද ආකාරයෙන්ම ය.
දසවන සූත්‍ර වර්ණනාවයි.
දෙවන වර්ග වර්ණනාව නිමියේ ය.
තතිය වර්ගය
1. පසන්නචිත්ත සූත්‍ර වර්ණනාව
තුන්වන වර්ගයෙහි පළමු සූත්‍රයෙහි පසන්න චිත්තං යනු රත්නත්‍රය පිළිබඳ ශ්‍රද්ධාවෙන් (ඇදහීමෙන්) ද කර්මඵල පිළිබඳ ශ්‍රද්ධාවෙන් ද ප්‍රසන්න වූ මනස. සුගතිං යනු සුන්දර වූ ගතිය (ස්ථානය) සග්ගං යනු රූපාදී සම්පත්වලින් යහපත් වූ අග්‍ර වූ යන අරුතින් සග්ග නමි. ලොකං යනු ලෝකයට අයත්. මෙහි පින් පව්වල ඵල (විපාක) විනාශවන අර්ථයෙන් හෝ ලෝක නම් වේ. මෙහි ද සුගතිය ගැනීමෙන් මනුෂ්‍ය ලෝකය ද ගනු ලැබේ. ස්වර්ගය ගැනීමෙන් දේවලෝකයම ගනු ලැබේ. ඉතිරිය මුලින් කියන ලද පරිදිමය.