8. සඞ්ඝභෙද සූත්‍ර වර්ණනාව
අටවන සූත්‍රයෙහි එකධම්මො යන මේ සූත්‍ර නික්ෂේපය කුමක්ද? මතු වූ කරුණක් නිසා දේශනා කරන ලද්දකි. (අට්ඨුප්පත්තිකය) මේ එහි සාරාංශ කථාවයි. දෙව්දත් අජාසත් රජුට වැරදි මත ගන්වා ඔහුගේ පියා වූ බිම්බිසාර රජු ඔහු ලවා මැරවුව ද බුදුරජාණන් වහන්සේ මැරවීමට මිනීමරුවන් (අභිමාරෙ) යෙද වූව ද ගල් පෙරළීමෙන් ලෝහිතුප්පාදක කර්මය සිදුකළ ද එපමණකින් ප්‍රකට නොවීය. නාලාගිරි ඇතා මුදාහැරීමෙන් ප්‍රකට විය. ඉක්බිති මහජන තෙමේ මෙබඳු වූ පාපියකු ගෙන රජතුමා හැසිරෙන්නේ යයි කෝලාහල කළේය. මහත් ඝෝෂාවක් ඇතිවිය. එය අසා රජතුමා තමා විසින් දෙනු ලබන පන්සියයක් බත්තලි නැවැත්වීය. දෙව්දතුන්ගේ උපස්ථානයට ද නොගියේය. නුවරවැසියෝ ද තම තමන්ගේ කුලවලට (නිවෙස්වලට) එන දෙව්දත්ට හැන්දක් තරම්වත් බත් නොදුන්හ. හෙතෙම පිරිහුණු ලාභසත්කාර ඇතිව කුහක කමින් (නැති ගුණ අගවමින්) ජීවත්වනු කැමතිව බුදුරජාණන් වහන්සේ වෙත එළඹ පංච වස්තූන් (කරුණු පහක්) ඉල්ලා දේවදත්තය, එයින් කමක් නැත. කැමති කෙනෙක් අරණ්‍යවාසී වේවායි ආදී වශයෙන් භාග්‍යවතුන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලදුව ඒ කරුණු පහෙන් රළු පැවතුම්වලට පහදින මෝඩ ජනයාට හඟවමින් පන්සියයක් වජ්ජිපුත්‍රක භික්ෂූන් ලවා සලාක ගන්වා සංඝයා බිඳ ඔවුන් රැගෙන ගයා ශීර්ෂයට ගියේය.
ඉක්බිති අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා දෙනම ශාස්තෲන් වහන්සේගේ අණින් එහි වැඩමකොට දහම් දෙසා ඒ භික්ෂූන් ආර්ය ඵලයෙහි පිහිටුවා ආපසු ගෙන ආවාහුය. සංඝභේදය පිණිස උත්සාහ කරන දෙව්දතුන්ගේ අදහස රුචි වූ භික්ෂූහු එහිම ඒ අදහස දැඩිව ගෙන සිටියාහු සංඝයා බිඳෙන විටත් බිඳුනු විටත් එය අනුමත කළාහුය. එය ඔවුන්ට බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස විය.
දෙව්දත් ද නොබෝ කලකින්ම රෝගයෙන් මැඩුනේ දැඩිලෙස ගිලන් වූයේ මරණ කාලයෙහි ශාස්තෲන් වහන්සේ වඳින්නෙමියි කුඩා ඇඳකින් ගෙන එනු ලබන්නේ දෙව්රම් වෙහෙර පොකුණු තෙර තබන ලදුව පොළොවෙහි විවරයක් සෑදුනුවිට එහි වැටී අවීචියෙහි උපන්නේය. ඔහුගේ ආත්මභාවය (සිරුර) යොදුන් සියයක් විය. කල්පයක් නිරයෙහි පැසෙන්නේය. තල්කඳක් පමණ වූ යකඩ උල්වලින් විදින ලද්දේය. දේවදත්ත භික්ෂුවගේ පැත්ත ගත් ඔහුගේ අදහසෙහි සිටි පන්සියයක් කුලවල අය නෑයන් සමග නිරයෙහි උපන්නාහ. එක්දිනක් භික්ෂූහු ධර්මසභාවෙහිදී ඇවැත්නි, සංඝයා බිඳුවන ලද දෙව්දත් විසින් බැරෑරුම් කර්මයක් කරන ලදැයි යනුවෙන් කථාවක් මතු කළහ. ඉක්බිති ශාස්තෲන් වහන්සේ දම්සභාවට වැඩමකොට මහණෙනි, දැන් මෙහි ඔබ කවර කථාවෙකින් යුක්තව සිටියාහුදැයි විමසා මෙනම් කථාවෙන් යයි කී කල්හි, සංඝ භේදයෙහි ආදීනව (දොස්) දක්වමින් මේ සූත්‍රය වදාළහ. ‘දෙව්දත් ද ඔහුගේ පැත්ත ගත් අය ද එසේ නිරයෙහි උපන් බව දැක සංඝ භේදයෙහි ආදීනව දක්වමින් භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ අදහසින්ම මේ සූත්‍රය දේශනා කළහ’යි ඇතැමෙක් (කෙචි) කියති.
එහි එකධම්මො යනු අකුසල් වූ එක් මහා සාවද්‍ය ධර්මය යි. ලොකෙ යනු සත්ත්ව ලෝකයෙහි. උප්පජ්ජමානො උප්පජ්ජති යනු මෙහි භේදය පිණිස පවතින භණ්ඩන (දබර) ආදිය සංඝයා කෙරෙහි උපන් කල්හි ද ධර්මය අධර්මය යනාදී අටළොස් භේදකර වස්තු අතුරින් යම් කිසිවක් පැහැදිලි කිරීම් වශයෙන් ව්‍යවහාර කරන කල්හිද එහි කැමැත්ත ඇතිකිරීම පිණිස ප්‍රකාශ කරන (අස්වන) කල්හි ද ප්‍රකාශ කොට සලාක ගැන්වූ කල්හි ද සංඝභේදය උපදින්නේ නම් වෙයි. සලාක ගැන්වූ කල්හිම භික්ෂූන් සතර දෙනෙක් හෝ ඊට වැඩියෙන් හෝ වෙන්ව (පාමොක්) උදෙසීම හෝ (අපලෝකනාදී) සංඝ කර්මයක් හෝ කරනවිට සංඝභේදය උපදියි නම් වේ. උදෙසීම්, සංඝකර්ම කළවිට සංඝභේදය උපන්නේ නම් වේ. කම්ම = (සංඝයා විසින් කරන අපලෝකනාදී චතුර්විධ විනය කර්ම), උද්දෙස = (පස්වැදෑරුම් පාතිමොක්ඛුද්දෙස අතුරින් එකක්), වොහාර = (අටළොස් භේදකර වස්තු අතරින් යමක් දක්වා කථා කිරීම, අනුසාවන (කිම නුඹවහන්සේ මා උසස් කුලයෙන් පැවිදි වූවකු බව නොදන්නහුද ආදී වශයෙන් භික්ෂූන්ගේ කනට කොට කීම), සලාකගාහ = (භික්ෂූන්ගේ සිත් පොළඹවා ඉරටු, උණපතුරු ආදී සලාක ගැන්වීම) යන සංඝභේදයට කරුණු වූ මේ පහ අතරින් කම්ම හෝ උද්දෙසය පමණක්ම ප්‍රමාණවත් වේ. වොහාර, අනුසාවන, සලාක ගාහ යන මේවා පූර්වභාග හෙවත් පළමුවෙන් සිදුවන කරුණුය.
බහුජන අහිතාය යන ආදියෙහි මහජනයාගේ ධ්‍යාන මාර්ග ආදි සම්පත් වැළැක්වීමෙන් අයහපත (අහිත) පිණිස, ස්වර්ග සම්පත් වැළැක්වීමෙන් අසුඛාය, නොසැප පිණිස, අපායෙහි ඉපදීමට හේතුවන බැවින් අනත්ථාය පරිහානිය පිණිස, අකුසල ධර්ම වශයෙන් අහිතාය හිත (යහපත) මාත්‍රයක් පමණවත් නැති බැවින් අහිත පිණිස, සුගතියෙහිද කායික චෛතසික දුක්ඛාය දුක් පිණිස උපදින්නේය යනුවෙන් සම්බන්ධ වෙයි. දෙවමනුස්සානං යන මෙය බොහෝ ජනයාට යනුවෙන් කී කල්හි ඉතා උසස් පුද්ගලයන්ගේ වශයෙන් දැක්වීම (නිර්දේශය) වේ. වෙනත් ක්‍රමයක් : බහුජන අහිතාය යනු මහත් වූ බහුජන සත්ත්ව සමූහයට අහිත පිණිස, මෙලොව පරලොව අනර්ථය පිණිස යන අර්ථයි. අසුඛාය යනු මෙලොව පරලොව නොසැප පිණිස, (මෙලොව-පරලොව) දෙයාකාර දුක් පිණිස යන අර්ථයි. අනත්ථාය යනු පරමාර්ථය ප්‍රතික්ෂේප කිරීම පිණිස, නිර්වාණය පරම අර්ථයයි. ඊට වඩා උසස් අර්ථයක් නැත. අහිතාය යනු මාර්ගය ප්‍රතික්ෂේප කිරීම පිණිස, නිවනට පමුණුවන මාර්ගයට වඩා උසස් වූ හිතයක් නම් නැත. දුක්ඛාය යනු ආර්ය සැප නැතිකර ගැනීමෙන් සංසාර දුක් පිණිස, ආර්ය සැපයෙන් තොර වූ එය අවබෝධ කරගන්නට නුසුදුසු අය සංසාර දුකෙහි කරකැවෙති. ආර්ය සැපයට වඩා උසස් සැපයක් නම් නැත. ‘අයං සමාධි පච්චුප්පන්න සුඛො චෙව ආයතිච සුඛවිපාකො’ ‘මේ සමාධිය වර්තමාන සැප ඇත්තේ ද මතු සැපවිපාක ඇත්තේ ද වෙයි’ යනුවෙන් එහෙයින් කියන ලදී.