7. දෙවන සෙඛ සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයෙහි බාහිරං යනු තමාගේ සිතින් (අජ්ඣත්ත සන්තානතො) පිටත ඇති බව. කල්‍යාණ මිත්තතා යනු යමෙකුට ශීලාදී ගුණයෙන් යුක්ත වූ විපත් නසන්නා වූ හිතවැඩ ඇතිකරන්නා වූ සියලු ආකාරයෙන් උපකාරක වූ මිත්‍රයෙක් වේද ඒ පුද්ගලයා කල්‍යාණ මිත්‍රයා ය. ඔහුගේ ගතිය කල්‍යාණ මිත්‍රතාවයි.
එහි මේ කල්‍යාණ මිත්‍රයා ස්වභාවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි, ඇසීමෙන් යුක්ත වූයේ වෙයි, ත්‍යාගයෙන් යුක්ත වූයේ වෙයි, වීර්යයෙන් යුක්ත වූයේ වෙයි, සිහියෙන් යුක්ත වූයේ වෙයි, සමාධියෙන් යුක්ත වූයේ වෙයි, ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. එහි ශ්‍රද්ධා සම්පත්තිය කරණකොට තථාගතයන් වහන්සේගේ (සතර මාර්ග ඥාන නමැති) බෝධිය අදහයි. ඔහු විසින් සම්මා සම්බෝධියට හේතු වූ සත්ත්වයන් කෙරෙහි හිතවත් බව දුරු නොකරයි. ශීල සම්පත්තියෙන් බ්‍රහ්මචාරීන්ට ප්‍රිය වෙයි. ගරු කරන්නෙක් වෙයි. සිතිනුත් ගෞරවයෙන් පිළිගත යුත්තෙක් වෙයි. වරදට චෝදනා කරන්නෙක් වෙයි. පව්කාරයන්ට ගර්හා කරන්නෙක් වෙයි. කීමෙහි දක්ෂයෙක් වෙයි. අවවාද පිළිගන්නෙක් වෙයි. ශ්‍රැත සම්පත්තියෙන් ස්කන්ධ, ආයතන, සත්‍ය, පටිච්ච සමුප්පාද ආදී ගැඹුරු කථාවන් කරන්නෙක් වෙයි. ත්‍යාග සම්පත්තියෙන් අල්පේච්ඡ (ස්වල්ප දෙයක් කැමති) කෙනෙක් වෙයි. ලද දෙයින් සතුටු වන්නෙක් වෙයි. කාය විවේක චිත්ත විවේක දෙකින් යුක්ත කෙනෙක් වෙයි. සමූහය සමග එකට විසීමට අකමැති කෙනෙක් වෙයි. වීර්ය සම්පත්තියෙන් තමාටත් අනුන්ටත් හිත පිළිවෙතෙහි අරඹන ලද වීර්ය ඇත්තෙක් වෙයි. සති සම්පත්තියෙන් එළඹ (පැමිණ) සිටි සිහි ඇත්තෙක් වෙයි. උතුම් වූ සිහියෙන් හා නුවණින් යුක්ත වූයේ බොහෝ කලකට පෙර කරන ලද්දක් බොහෝ කලකට පෙර කියන ලද්දක් සිහි කරන්නෙක් වෙයි. නැවත නැවත සිහි කරන්නෙක් වෙයි. සමාධි සම්පත්තියෙන් නො විසිරුණු සිත් ඇත්තෙක් වෙයි. සන්සුන් වූයේ එකඟ වූ සිත් ඇත්තෙක් වෙයි. ප්‍රඥා සම්පත්තියෙන් අවිපරීතව (යමක් ඇති ආකාරයෙන්) දැන ගනියි. හෙතෙම සිහියෙන් කුශලාකුශල ධර්මයන්ගේ ස්වභාවය සොයමින් ප්‍රඥාවෙන් සත්ත්වයන්ගේ හිත සැප තත් වූ පරිදි දැන සමාධියෙන් එහි එකඟ වූ සිත් ඇතිව වීර්යයෙන් සත්ත්වයන් අයහපතෙන් වළක්වා ඒකාන්ත යහපතෙහි යොදවයි. එහෙයින්
පියො ච ගරු භාවනීයො වත්තා ච වචනක්ඛමො
ගම්භීරඤ්ච කථං කත්තා නො චට්ඨානෙ නියොජයෙ’
ගම්භීරඤ්ච කථං කත්තා නො චට්ඨානෙ නියොජයෙ’
ප්‍රිය වූයේ වේද, ගරු වූයේ වේද, ගෞරවයෙන් පිළිගත යුත්තේ වේද, කථාවෙහි දක්ෂ වේද, අවවාද පිළිගන්නේ වේද, ගැඹුරු කථා කියන්නේ වේද, නුසුදුසු තැන නොයොදන්නේ ද යනුවෙන් ද
කල්‍යාණ මිත්තො භික්ඛවෙ භික්ඛු අකුසලං පජහති කුසලං භාවෙති ‘මහණෙනි, කල්‍යාණ මිත්‍ර වූ භික්ෂුව අකුසලය දුරු කරයි. කුසලය වඩයි’ යනුවෙන් ද කීහ. කල්‍යාණ මිත්‍ර පුද්ගලයා කල්‍යාණ මිත්‍රයා නිසා කම්පල ඇදහීමේ නුවණ (කම්මස්සකතං ඤාණං) උපදවයි. උපන්නා වූ ශ්‍රද්ධාව වැඩිදියුණු කරයි. හටගත් ශ්‍රද්ධාව ඇති තැනැත්තා (ධර්මය ඇසීමට සුදුසු කෙනෙකු වෙත) එළඹෙයි. එළඹ ධර්මය අසයි. ඒ ධර්මය අසා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ලබයි. ඒ ශ්‍රද්ධාව ලැබීමෙන් ගිහිගෙයි වාසය දුරුකොට පැවිද්ද (අනුව සිටියි) ලබයි. සිවු පිරිසිදු සිල් (සම්පාදනය කරයි) රකියි. ශක්ති පමණින් ධුතංග ධර්මයන් සමාදන්ව පවතී. දසකථා වස්තු ලාභියෙක් වෙයි. ආරම්භ කරන ලද වීර්යය ඇත්තෙක්ව වාසය කරයි. එළඹ සිටි සිහි ඇතිව නුවණින් යුතුව පෙර පසු රාත්‍රීන්හි බෝධිපාක්ෂික ධර්මයන් භාවනා කිරීමෙහි යෙදී නොබෝ කලකින්ම විදර්ශනාවට උත්සාහවත් කරවා ආර්ය මාර්ගය අවබෝධ කිරිමෙන් සියලු අකුසල් සහමුලින් නසයි. සියලුම කුසල් වැඩීම පරිපූර්ණ බවට පමුණුවමින් වඩයි. මෙය වදාරණ ලද්දේම ය -
‘මේඝියයෙනි, සිල්වත් වන්නේ ය. ප්රාතිමෝක්ෂ සංවරයෙන් සංවරව, ආචාර ගෝචර සම්පන්න, අල්පමාත්‍ර වූ ද වරදෙහි බිය දක්නා සුලුව වසන්නේය. සමාදන් වී ශික්ෂා පදයන්හි හික්මෙන්නේය යන මෙය කලණ මිතුරන් ඇති කලණ යහළුවන් ඇති කලණ පුඟුලන්ට නැමුණු භික්ෂුව විසින් කැමති විය යුතුය.
මේඝියයෙනි, අල්පේච්ඡ කථා ය, සන්තුෂ්ටි කථා ය, ප්‍රවිවේක කථාය, අසංසර්ග කථාය, වීර්යාරම්භ කථා ය, ශීලකථාය, සමාධි කථාය, ප්‍රඥා කථාය, විමුක්ති කථාය, විමුක්තිඥාන දර්ශන කථාය යන කෙලෙස් තුනීකරන, සිතෙහි නීවරණ දුරුකිරීම් වශයෙන් සමථ විදර්ශනාවන්ට සුදුසු වූ යම් කථාවක් ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස, සසර නොඇලීම පිණිස, සසර නැවැත්ම පිණිස, කෙලෙස් සංසිඳුවීම පිණිස, දතයුතු දැය දැනගැනීම පිණිස, සතර මාර්ග ඥානයෙන් චතුරාර්ය සත්‍යය අවබෝධ කිරීම පිණිස, නිවන් පිණිස පවතී ද මෙබඳු කථා කැමති පරිදි අසනු ලබන්නෙක් වන්නේය. පහසුවෙන් ලබන්නෙක් වන්නේය. බොහෝ සේ ලබන්නෙක් වන්නේය යන මෙය කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ පුඟුලන්ට (පුද්ගලයන්ට) නැමුණු භික්ෂුව විසින් කැමති විය යුතුය.
මේඝියයෙනි, අකුසල් දහම් පහකරනු පිණිස, කුසල් දහම් වඩනු (උපදවනු) පිණිස ශක්තිමත්ය, දැඩි වූ වීර්යය ඇත්තේය. කුසල් දහම්හි ඉවත නොදැමූ වීර්යය ඇත්තේ යන මෙය කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ පුඟුලන්ට නැමුණු භික්ෂුව විසින් විසින් කැමති විය යුතුය.
මේඝියයෙනි, උදයබ්බය නම් වූ ඇතිවීම නැතිවීම අවබෝධ කරන්නා වූ, නිදොස් වූ, ආර්ය මාර්ගය ඇසුරු කරන්නා වූ මනාකොට දුක් නසන මාවතට පැමිණෙන ප්‍රඥාවෙන් යුක්ත වූ ප්‍රඥාවන්තයෙක් වන්නේය යන මෙය කලණ මිතුරන් ඇති, කලණ යහළුවන් ඇති, කලණ පුඟුලන්ට නැමුණු භික්ෂුව විසින් කැමති විය යුතුය.’
මෙසේ සියලු සසර දුකින් මුදන නිමිත්ත කලණ මිතුරු බවයයි දතයුතුය. එහෙයින් -
‘ආනන්ද කලණ මිතුරු වූ මා වෙත අවුත් ඉපදීම ස්වභාව කොට ඇති සත්ත්වයෝ ඉපදීමෙන් (ජාතියෙන්) මිදෙති.” ජරාව ස්වභාව කොට ඇති සත්ත්වයෝ ජරාවෙන් මිදෙති යනාදිය වදාළහ.
එහෙයින් ‘මහණෙනි, කලණ මිතුරන් ඇති භික්ෂුව අකුසල් දුරුකරයි. කුසල් වඩයි’ යනුවෙන් දේශනා කරන ලදී.