6. පළමු සෙඛ සූත්‍ර වර්ණනාව
සයවැනි සූත්‍රයෙහි. සෙක්‍ඛස්ස යනු මෙහි කුමන අර්ථයකින් සෙඛ (සේඛ-ශෛක්‍ෂ) නම් වේද? ශෛක්‍ෂ ධර්ම ප්‍රතිලාභයෙන් සේඛ නම් වේ.
‘කිත්තාවතානු ඛො භන්තෙ සෙක්‍ඛො හොතී ති? ඉධ භික්‍ඛු සෙක්‍ඛාය සම්මා දිට්ඨියා සමන්නාගතො හොති - සෙක්‍ඛෙන සම්මා සමාධිනා සමන්නාගතො හොති එත්තාවතා ඛො භික්‍ඛු සෙක්‍ඛො හොති’
‘ස්වාමීනි, කොපමණකින් ශෛක්‍ෂ වේද? මේ ශාසනයෙහි භික්‍ෂුව සේඛ සම්මා දිට්ඨියෙන් යුක්ත වූයේ වෙයි. -පෙ- සේඛ සම්මා සමාධියෙන් යුක්ත වූයේ වෙයි. මෙපමණකින් භික්‍ෂුව සේඛ වෙයි’ යනුවෙන් මෙය කියන ලද්දේය.
තව ද හික්මෙයි යන අර්ථයෙන් ද සේඛ වෙයි.
‘සික්‍ඛති සික්‍ඛතීති ඛො භික්‍ඛු තස්මා සෙක්‍ඛොති වුච්චති, කිඤ්ච සික්‍ඛති? අධි සීලම්පි සික්‍ඛති අධි චිත්තම්පි සික්‍ඛති අධි පඤ්ඤම්පි සික්‍ඛති, සික්‍ඛති සික්‍ඛතීති බො භික්‍ඛු තස්මා සෙක්‍ඛොති වුච්චති’
‘භික්‍ෂුව හික්මෙන හික්මෙන නිසා සේඛ යයි කියනු ලැබේ. කුමක හික්මෙයි ද? අධි ශීලයෙහි ද හික්මෙයි, අධි චිත්තයෙහි ද හික්මෙයි, අධි ප්‍රඥාවෙහි ද හික්මෙයි. භික්‍ෂුව හික්මෙන හික්මෙන නිසා සේබ යයි කියනු ලැබේ යයි මේ කාරණය කියන ලදී.
යම් කල්‍යාණ පෘථග්ජනයෙක් අනුලෝම ප්‍රතිපදාව සම්පූර්ණ කරන්නේ සීල සම්පන්න වූයේ ඉන්ද්‍රියයන්හි වසන ලද දොරටු ඇත්තේ භෝජනයෙහි පමණ දන්නේ නිදි වැරීමෛහි යෙදුනේ පෙර පසු රාත්‍රීවල (රාත්‍රිය පටන් ගැනීමේදී හා රාත්‍රිය අවසන් වීමේ දී) බෝධිපාක්‍ෂික ධර්ම වැඩීමෙහි යෙදුනේ අද හෝ හෙට හෝ එක්තරා මාර්ග ඵලයකට පැමිණෙන්නෙමි යි වාසය කරයි ද, හෙතෙමේ ද සේඛ යයි කියනු ලැබේ. මේ අර්ථයෙහි අවබෝධ නොකරන්නා වූම සේඛයා අදහස් කරන ලදී. කල්‍යාණ පෘථග්ජනයා ද අදහස් කරන ලදී.
අප්පත්තමානසස්ස යනු මොහු විසින් නොපැමිණි මානස ඇත්තේය යන අර්ථයෙන් අප්පත්තමනස නම් වේ. මානස යනු ‘අන්තළික්‍ඛචරො පාසො යවායං චරති මානසො’ ‘අහසෙහි හැසිරෙන අය පවා බැඳගන්නා වූ සිතෙහි හටගත්තා වූ යම් මේ රාග නමැති මලපුඩුව (උගුල, පාශය) හැසිරේද’ මෙහි රාගය මානස යයි කියන ලදී. ‘චිත්තං, මනො, මානසං’ යන මෙහි සිත මානස යයි කියන ලදී. ‘අප්පත්තමානසො සෙක්‍ඛො කාලං කයිරා ජනෙසුතා’ ජනයා කෙරෙහි ප්‍රසිද්ධ වූ භාග්‍යවතුන් වහන්ස, නො පැමිණි රහත්ඵල ඇති ශෛක්‍ෂ වූ ඔබවහන්සේගේ ශ්‍රාවකයෙක් කෙසේ නම් කලුරිය කරන්නේ ද? යන මෙහි අර්හත්වය අදහස් කරන ලදී. මෙහි ද අර්හත්වයම අදහස් කරන ලදී. එයින් නොපැමිණි අර්හත්වය ඇති භික්‍ෂුවට යි කියන ලද්දේ වෙයි.
අනුත්තරං යනු ශ්‍රේෂ්ඨ, අසමාන යන අර්ථයි. නිර්භය වූ විපතට නොපත් යන අර්ථයෙන් යොගක්‍ඛෙමං නම් වේ. අර්හත්වයම අදහස් කරන ලදී. පත්‍ථය මානස්ස යනු තණ්හා ප්‍රාර්ථනාව ද ඡන්‍ද ප්‍රාර්ථනාවදැයි ප්‍රාර්ථනා දෙකකි.
‘පත්‍ථය මානස්ස පජප්පිතානි පවෙධිතං වාපි පකප්පිතෙසු’ ‘ප්‍රාර්ථනා කරන්නාටම තෘෂ්ණාවෝ වෙති. තෘෂ්ණා දෘෂ්ටිවලින් කල්පනා කරන ලද වස්තූන් කෙරෙහි අතිශයින් සැලීම ද වෙයි.’ යන මෙහි තෘෂ්ණා ප්‍රාර්ථනාව ය.
‘ඡින්නං පාපිමතො සොතං විද්ධසතං විනලීකතං
පාමොජ්ජබහුලා හොථ ඛෙමං පත්‍ථෙථ භික්‍ඛවො’
පාමොජ්ජබහුලා හොථ ඛෙමං පත්‍ථෙථ භික්‍ඛවො’
පාපී මාරයාගේ තෘෂ්ණා නමැති සැඩ දියපහර සිඳින ලදී. විනාශ කරන ලදී. මානය නමැති නළ දුරුකරන ලදී. මහණෙනි, ප්‍රමෝදය (සතුට) බහුලකොට ඇත්තෝ වවු. නිවන පතවු’ යන
මෙහි කන්තුකම්‍යතා කුසලච්ඡන්‍ද ප්‍රාර්ථනාවය (කුසල් කිරීමට කැමති පැතුම). මෙහි මෙයම අදහස් කරන ලදී. එහෙයින් ‘පත්‍ථයමානස්ස’ යනු ඒ අර්හත්වය සිදුකරගනු කැමති වූ, එයට නැඹුරු වූ යන අර්ථයි. (තන්නින්නස්ස, තප්පොනස්ස, තප්පබ්හාරස්ස යන මේවා එයට නැඹුරු වූ යන්නට සමාන පදය) විහරතො යනු එක් ඉරියවුවකින් ඇතිවන දුකක් අනිත් ඉරියව්වකින් සිඳ දමා බිඳ නො වැටෙන ආත්මභාවය පවත්වාගෙන යන්නා වූ භික්‍ෂුවට. නැතහොත් ‘සබ්බෙ සංඛාරා අනිච්චාති අධිමුච්චන්තො සද්ධාය විහරති’ සියලු සංස්කාර අනිත්‍යය යි ස්ථිර ලෙස පිහිටා ශ්‍රද්ධාවෙන් යුක්තව හැසිරෙයි’ ආදී වශයෙන් නිද්දෙස ක්‍රමයෙන් ද මෙහි අර්ථය දතයුතුය.
අජ්ඣත්තිකං යනු තමා අයත් අධ්‍යාත්ම සංඛ්‍යාත අධ්‍යාත්මයෙහි වීම (තම සිතෙහි වූ) අජ්ඣත්තික නම් වේ. අංගං යනු කාරණය යි. ඉති කරිත්‍වා යනු මෙසේ කොට. න අඤ්ඤං එකංගම්පි සමනුප්සසාමි යන මෙහි මේ කෙටි අර්ථය යි. මහණෙනි, අධ්‍යාත්මය වූ තම සන්තානයෙහි (සිතෙහි) හටගත් කරුණකැයි (සැලකීම) කොට ‘එවං බහූපකාරං යථා යොනිසො මනසිකාරො’ මෙසේ බොහෝ උපකාර වූ යෝනිසෝ මනසිකාරය බඳු අන් එක් කරුණකුදු නො දකිමි. උපාය මනසිකාරය, පථමනසිකාරය, අනිත්‍යාදිය කෙරෙහි අනිත්‍යායි ක්‍රමයෙන් ම මෙනෙහි කිරීම, අනිත්‍යානුලෝමික ක්‍රමයෙන් හෝ සිත පිළිබඳ ආවර්ජනය, අනුව ආවර්ජනය, සිතාබැලීම යන මෙය යෝනිසෝ මනසිකාරය යි කියනු ලැබේ.
දැන් යෝනිසෝ මනසිකාරයේ ආනුභාවය දක්වන්නට ‘යොනිසො භික්‍ඛවෙ භික්‍ඛු මනසිකරොන්තො අකුසලං පජහති කුසලං භාවෙති’ ‘මහණෙනි, භික්‍ෂුව නුවණින් මෙනෙහි කරමින් අකුසල් දුරු කරයි. කුසල් වඩයි’ යනුවෙන් වදාරණ ලදී. එහි යොනිසො මනසිකරොන්තො යනු මේ දුක්ඛ ආර්ය සත්‍යය, මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයයි චතුරාර්ය සත්‍ය කෙරෙහි නුවණින් මෙනෙහි කරමින්,
මේ එහි අර්ථ පැහැදිලි කිරීමයි - මේ සූත්‍රය අවිශේෂයෙන් ශෛක්‍ෂ පුද්ගල වශයෙන් පැමිණියේ වුවද සතර මාර්ගයට සාධාරණ වශයෙන් කෙටියෙන්ම කර්මස්ථානය කියන්නෙමු. චතුසත්‍ය කර්මස්ථානික වූ යෝගාවචරයා තණ්හාව හැර භූමි තුනට අයත් ස්කන්ධ දුකයයි ද තණ්හාව සමුදය යයිද මේ දෙකෙහි නො පැවැත්ම නිරෝධයයි ද නිරෝධයට පමුණුවන්නේ මාර්ගය යයි ද මෙසේ කලින් ම ගුරුවරයා සමීපයෙහි දී උගත් චතුසත්‍ය කර්මස්ථානය ඇත්තෙක් වන්නේය. හෙතෙම පසුකලෙක විදර්ශනා මාර්ගයට නැගුන්නේ ත්‍රෛභූමික ස්කන්ධ මේ දුකයයි නුවණින් මෙනෙහි කරයි, යහපත් වූ උපායෙන් මාර්ගයෙන් සිතා බලයි, විදර්ශනා ද කරයි. විදර්ශනාව මෙහිදී මනසිකාර ශීර්ෂයෙන් කියන ලදී. ඒ දුක උපදවන පෙර භවයට අයත් යම් මේ තණ්හාවක් වේද මේ දුක්ඛ සමුදය යයි නුවණින් මෙනෙහි කරයි. යම්හෙයකින් මේ දුක, මේ සමුදය මෙතැනට පැමිණ නිරුද්ධ වේද නොපවතී ද එහෙයින් නිවන දුක්ඛ නිරෝධයයි නුවණින් මෙනෙහි කරයි. නිරෝධයට පමුණුවන අංග අටකින් යුත් මාර්ගය මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවය යි නුවණින් මෙනෙහි කරයි. උපායෙන්, මාර්ගයෙන් සිතා බලයි. විදර්ශනා ද කරයි.