මේ එහි උපාය යි - සිතින් දැඩිකොට ගැනීම නම් වූ අභිනිවේසය ස්කන්ධයෙහි වෙයි. නිවනෙහි නොවෙයි. එහෙයින් මේ අර්ථය යි. මේ කයෙහි පඨවි ධාතුය, ආපෝ ධාතුය යනාදී ක්‍රමයෙන් සතර මහාභූතද ඒ අනුසාරයෙන් උපාදාරූප ද විමසා මේ රූපස්කන්ධයයි ද තීරණය කරයි. එය තීරණය කරන ඔහුට උපන්නා වූ ඒ අරමුණෙහි චිත්ත චෛතසික ධර්මයන් මේ සතර අරූප ස්කන්ධය යි තීරණය කරයි. එතැන් සිට මේ පංචස්කන්ධය දුක යයි තීරණය කරයි. ඒවා කෙටියෙන් නාමය රූපය යනුවෙන් දෙකොටසක් වෙයි. මේ නාමරූප ද හේතු සහිතව ප්‍රත්‍ය සහිතව උපදියි. මේ අවිද්‍යාව භව තණ්හාව මුල්කොට ඇත්තේ හේතුවය. මේ ආහාරය මුල්කොට ඇත්තේ ප්‍රත්‍යයයි. ඒ නාමරූපයන්ගේ හේතුප්‍රත්‍ය තීරණය කරයි. හෙතෙම ඒ ප්‍රත්‍යයන්ගේ ද ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන්ගේ ද තත් වූ පරිදි භාව ලක්‍ෂණය තීරණය කොට මේ ධර්මයෝ පෙර නොතිබී හටගනිත්. ඇතිවී නිරුද්ධ වෙත්. එහෙයින් අනිත්‍යයයි අනිත්‍ය ලක්‍ෂණයට නංවයි. ඇතිව නැතිවීමෙන් පීඩාවට පත් වූ බැවින් දුකයයි දුක්ඛ ලක්‍ෂණයට නංවයි. තමාගේ වසඟයෙහි නොපවත්නා හෙයින් අනාත්මයයි අනාත්ම ලක්‍ෂණයට නංවයි.
මෙසේ ත්‍රිලක්‍ෂණයට නංවා විදර්ශනා කරමින් ඇතිව නැතිවීම පිළිබඳ (උදයබ්බය) ඤාණය උපන්විට ඕභාසය (ආලෝකය) ආදිකොට ඇති විදර්ශනා උපක්ලේශයන් මාර්ගය නොවේ යයි ද උදයබ්බය ඤාණයම ආර්ය මාර්ගයට උපාය වූයේ පූර්වභාග මාර්ගයයි මග නොමග (මග්ගාමග්ගං) තීරණය කොට නැවත උදයබ්බය ඤාණය ද පිළිවෙළින් භංග ඤාණාදිය ද උපදවමින් සෝතාපත්ති (සෝවාන්) ආදී මාර්ගයන්ට පැමිණෙයි. එකෙණෙහි සත්‍ය සතර එකම අවබෝධයෙන් අවබෝධ කරයි. එකම අභිසමයෙන් (අවබෝධයෙන්) අභිසමය (අවබෝධ) කරයි. එහිදී දුක පිරිසිඳ අවබෝධයෙන් අවබෝධ කිරීමෙන් (පරිඤ්ඤා පටිවෙධෙන) ද සමුදය දුරුකිරීම පිළිබඳ අවබෝධයෙන් අවබෝධ කිරිමෙන් (පහාණ පටිවෙධෙන) ද සියලු අකුසල් දුරුකරයි. නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කිරීම් වශයෙන් අවබෝධ කිරීමෙන් (සච්ඡිකිරියා පටිවෙධෙන) ද මාර්ගය වැඩීමෙන් ලබන අවබෝධයෙන් අවබෝධ කිරීමෙන් (භාවනා පටිවෙධෙන) ද සියලු කුසල් වඩයි.
ආර්ය මාර්ගය වෙනත් ක්‍රමයක් නැති හෙයින් (නිප්පරියාය වශයෙන්) නින්දිත, චංචල ආදි අර්ථයෙන් කුසල නම් වේ. එය වැඩූ කල්හි සියලුම කුසල් ද නිවැරදි වූ බෝධිපාක්‍ෂික ධර්ම ද වැඩීම පරිපූර්ණ බවට යන්නේ යයි මෙසේ නුවණින් මෙනෙහි කරමින් අකුසල් දුරුකරයි. කුසල් වඩයි. එහෙයින් ‘ඉදං දුක්‍ඛන්ති යොනිසො මනසිකරොති අයං දුක්‍ඛසමුදයොති යොනිසො මනසිකරොති’ ‘මේ දුක යයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ සමුදය යයි නුවණින් මෙනෙහි කරයි’ ආදිය වදාරන ලදී. ‘යොනිසො මනසිකාර සම්පන්නස්සෙතං භික්‍ඛවෙ භික්‍ඛුනො පාටිකංඛං අරියං අට්ඨංගිකං මග්ගං භාවෙස්සති අරියං අට්ඨංගිකං මග්ගං බහුලීකරිස්සති’ ‘මහණෙනි, යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වූ භික්‍ෂුව විසින් අරිඅටඟි මග වඩන්නේය. අරිඅටඟි මග බහුල වශයෙන් කරන්නේය යන මෙය කැමතිවිය යුතුය’ යන අනිකක් ද වදාරන ලදී.
‘යෝනිසෝ මනසිකාරො’ යන ගාථාවෙහි මේ කෙටි අර්ථයයි - ශික්‍ෂාපදයන්හි හික්මෙන නිසා හෝ ඒ ඔහුට හික්මෙන ස්වභාවය ඇත්තේය යන නිසා හෝ සෙක්‍ඛ නම් වේ. සසරෙහි භය දකියි යන අර්ථයෙන් භික්ඛු නම් වේ. සෙක්‍ඛස්ස භික්‍ඛුනො උත්තමත්‍ථස්ස ඒ ශෛක්‍ෂ භික්‍ෂුවට උත්තමාර්ථය වූ අර්හත්වයට පැමිණීම පිණිස එය අවබෝධ කිරීම පිණිස යෝනිසෝමනසිකාරය තරම් බහුකාරො මෙසේ බොහෝ උපකාර වූ අන්කිසි ධර්මයක් නැත. කුමක් නිසාද? නුවණින් උපායෙන් න්‍යායෙන් මනසිකාරය පෙරටුකොට පදහං සතරාකාර යහපත් උත්සාහයෙන් බලවත් උත්සාහ කරමින් බයං දුක්‍ඛස්ස පාපුණෙ සංකලේස සංසාර දුකෙහි ගෙවීම වූ අවසානය වූ නිවනට පැමිණෙන්නේ ය. එහෙයින් යෝනිසෝ මනසිකාරය බොහෝ උපකාර ඇත්තේය.
සයවන සුත්‍ර වර්ණනාවයි.
7. දෙවන සෙඛ සූත්‍ර වර්ණනාව
සත්වන සූත්‍රයෙහි බාහිරං යනු තමාගේ සිතින් (අජ්ඣත්ත සන්තානතො) පිටත ඇති බව. කල්‍යාණ මිත්තතා යනු යමෙකුට ශීලාදී ගුණයෙන් යුක්ත වූ විපත් නසන්නා වූ හිතවැඩ ඇතිකරන්නා වූ සියලු ආකාරයෙන් උපකාරක වූ මිත්‍රයෙක් වේද ඒ පුද්ගලයා කල්‍යාණ මිත්‍රයා ය. ඔහුගේ ගතිය කල්‍යාණ මිත්‍රතාවයි.
එහි මේ කල්‍යාණ මිත්‍රයා ස්වභාවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ වෙයි. ශීලයෙන් යුක්ත වූයේ වෙයි, ඇසීමෙන් යුක්ත වූයේ වෙයි, ත්‍යාගයෙන් යුක්ත වූයේ වෙයි, වීර්යයෙන් යුක්ත වූයේ වෙයි, සිහියෙන් යුක්ත වූයේ වෙයි, සමාධියෙන් යුක්ත වූයේ වෙයි, ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. එහි ශ්‍රද්ධා සම්පත්තිය කරණකොට තථාගතයන් වහන්සේගේ (සතර මාර්ග ඥාන නමැති) බෝධිය අදහයි. ඔහු විසින් සම්මා සම්බෝධියට හේතු වූ සත්ත්වයන් කෙරෙහි හිතවත් බව දුරු නොකරයි. ශීල සම්පත්තියෙන් බ්‍රහ්මචාරීන්ට ප්‍රිය වෙයි. ගරු කරන්නෙක් වෙයි. සිතිනුත් ගෞරවයෙන් පිළිගත යුත්තෙක් වෙයි. වරදට චෝදනා කරන්නෙක් වෙයි. පව්කාරයන්ට ගර්හා කරන්නෙක් වෙයි. කීමෙහි දක්‍ෂයෙක් වෙයි. අවවාද පිළිගන්නෙක් වෙයි. ශ්‍රැත සම්පත්තියෙන් ස්කන්ධ, ආයතන, සත්‍ය, පටිච්ච සමුප්පාද ආදී ගැඹුරු කථාවන් කරන්නෙක් වෙයි. ත්‍යාග සම්පත්තියෙන් අල්පේච්ඡ (ස්වල්ප දෙයක් කැමති) කෙනෙක් වෙයි. ලද දෙයින් සතුටු වන්නෙක් වෙයි. කාය විවේක චිත්ත විවේක දෙකින් යුක්ත කෙනෙක් වෙයි. සමූහය සමග එකට විසීමට අකමැති කෙනෙක් වෙයි. වීර්ය සම්පත්තියෙන් තමාටත් අනුන්ටත් හිත පිළිවෙතෙහි අරඹන ලද වීර්ය ඇත්තෙක් වෙයි. සති සම්පත්තියෙන් එළඹ (පැමිණ) සිටි සිහි ඇත්තෙක් වෙයි. උතුම් වූ සිහියෙන් හා නුවණින් යුක්ත වූයේ බොහෝ කලකට පෙර කරන ලද්දක් බොහෝ කලකට පෙර කියන ලද්දක් සිහි කරන්නෙක් වෙයි. නැවත නැවත සිහි කරන්නෙක් වෙයි. සමාධි සම්පත්තියෙන් නො විසිරුණු සිත් ඇත්තෙක් වෙයි. සන්සුන් වූයේ එකඟ වූ සිත් ඇත්තෙක් වෙයි. ප්‍රඥා සම්පත්තියෙන් අවිපරීතව (යමක් ඇති ආකාරයෙන්) දැන ගනියි. හෙතෙම සිහියෙන් කුශලාකුශල ධර්මයන්ගේ ස්වභාවය සොයමින් ප්‍රඥාවෙන් සත්ත්වයන්ගේ හිත සැප තත් වූ පරිදි දැන සමාධියෙන් එහි එකඟ වූ සිත් ඇතිව වීර්යයෙන් සත්ත්වයන් අයහපතෙන් වළක්වා ඒකාන්ත යහපතෙහි යොදවයි. එහෙයින්
පියො ච ගරු භාවනීයො වත්තා ච වචනක්‍ඛමො
ගම්භීරඤ්ච කථං කත්තා නො චට්ඨානෙ නියොජයෙ’