අනුත්තරං යනු ශ්‍රේෂ්ඨ, අසමාන යන අර්ථයි. නිර්භය වූ විපතට නොපත් යන අර්ථයෙන් යොගක්‍ඛෙමං නම් වේ. අර්හත්වයම අදහස් කරන ලදී. පත්‍ථය මානස්ස යනු තණ්හා ප්‍රාර්ථනාව ද ඡන්‍ද ප්‍රාර්ථනාවදැයි ප්‍රාර්ථනා දෙකකි.
‘පත්‍ථය මානස්ස පජප්පිතානි පවෙධිතං වාපි පකප්පිතෙසු’ ‘ප්‍රාර්ථනා කරන්නාටම තෘෂ්ණාවෝ වෙති. තෘෂ්ණා දෘෂ්ටිවලින් කල්පනා කරන ලද වස්තූන් කෙරෙහි අතිශයින් සැලීම ද වෙයි.’ යන මෙහි තෘෂ්ණා ප්‍රාර්ථනාව ය.
‘ඡින්නං පාපිමතො සොතං විද්ධසතං විනලීකතං
පාමොජ්ජබහුලා හොථ ඛෙමං පත්‍ථෙථ භික්‍ඛවො’
පාපී මාරයාගේ තෘෂ්ණා නමැති සැඩ දියපහර සිඳින ලදී. විනාශ කරන ලදී. මානය නමැති නළ දුරුකරන ලදී. මහණෙනි, ප්‍රමෝදය (සතුට) බහුලකොට ඇත්තෝ වවු. නිවන පතවු’ යන
මෙහි කන්තුකම්‍යතා කුසලච්ඡන්‍ද ප්‍රාර්ථනාවය (කුසල් කිරීමට කැමති පැතුම). මෙහි මෙයම අදහස් කරන ලදී. එහෙයින් ‘පත්‍ථයමානස්ස’ යනු ඒ අර්හත්වය සිදුකරගනු කැමති වූ, එයට නැඹුරු වූ යන අර්ථයි. (තන්නින්නස්ස, තප්පොනස්ස, තප්පබ්හාරස්ස යන මේවා එයට නැඹුරු වූ යන්නට සමාන පදය) විහරතො යනු එක් ඉරියවුවකින් ඇතිවන දුකක් අනිත් ඉරියව්වකින් සිඳ දමා බිඳ නො වැටෙන ආත්මභාවය පවත්වාගෙන යන්නා වූ භික්‍ෂුවට. නැතහොත් ‘සබ්බෙ සංඛාරා අනිච්චාති අධිමුච්චන්තො සද්ධාය විහරති’ සියලු සංස්කාර අනිත්‍යය යි ස්ථිර ලෙස පිහිටා ශ්‍රද්ධාවෙන් යුක්තව හැසිරෙයි’ ආදී වශයෙන් නිද්දෙස ක්‍රමයෙන් ද මෙහි අර්ථය දතයුතුය.
අජ්ඣත්තිකං යනු තමා අයත් අධ්‍යාත්ම සංඛ්‍යාත අධ්‍යාත්මයෙහි වීම (තම සිතෙහි වූ) අජ්ඣත්තික නම් වේ. අංගං යනු කාරණය යි. ඉති කරිත්‍වා යනු මෙසේ කොට. න අඤ්ඤං එකංගම්පි සමනුප්සසාමි යන මෙහි මේ කෙටි අර්ථය යි. මහණෙනි, අධ්‍යාත්මය වූ තම සන්තානයෙහි (සිතෙහි) හටගත් කරුණකැයි (සැලකීම) කොට ‘එවං බහූපකාරං යථා යොනිසො මනසිකාරො’ මෙසේ බොහෝ උපකාර වූ යෝනිසෝ මනසිකාරය බඳු අන් එක් කරුණකුදු නො දකිමි. උපාය මනසිකාරය, පථමනසිකාරය, අනිත්‍යාදිය කෙරෙහි අනිත්‍යායි ක්‍රමයෙන් ම මෙනෙහි කිරීම, අනිත්‍යානුලෝමික ක්‍රමයෙන් හෝ සිත පිළිබඳ ආවර්ජනය, අනුව ආවර්ජනය, සිතාබැලීම යන මෙය යෝනිසෝ මනසිකාරය යි කියනු ලැබේ.
දැන් යෝනිසෝ මනසිකාරයේ ආනුභාවය දක්වන්නට ‘යොනිසො භික්‍ඛවෙ භික්‍ඛු මනසිකරොන්තො අකුසලං පජහති කුසලං භාවෙති’ ‘මහණෙනි, භික්‍ෂුව නුවණින් මෙනෙහි කරමින් අකුසල් දුරු කරයි. කුසල් වඩයි’ යනුවෙන් වදාරණ ලදී. එහි යොනිසො මනසිකරොන්තො යනු මේ දුක්ඛ ආර්ය සත්‍යය, මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය, මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය, මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යයයි චතුරාර්ය සත්‍ය කෙරෙහි නුවණින් මෙනෙහි කරමින්,
මේ එහි අර්ථ පැහැදිලි කිරීමයි - මේ සූත්‍රය අවිශේෂයෙන් ශෛක්‍ෂ පුද්ගල වශයෙන් පැමිණියේ වුවද සතර මාර්ගයට සාධාරණ වශයෙන් කෙටියෙන්ම කර්මස්ථානය කියන්නෙමු. චතුසත්‍ය කර්මස්ථානික වූ යෝගාවචරයා තණ්හාව හැර භූමි තුනට අයත් ස්කන්ධ දුකයයි ද තණ්හාව සමුදය යයිද මේ දෙකෙහි නො පැවැත්ම නිරෝධයයි ද නිරෝධයට පමුණුවන්නේ මාර්ගය යයි ද මෙසේ කලින් ම ගුරුවරයා සමීපයෙහි දී උගත් චතුසත්‍ය කර්මස්ථානය ඇත්තෙක් වන්නේය. හෙතෙම පසුකලෙක විදර්ශනා මාර්ගයට නැගුන්නේ ත්‍රෛභූමික ස්කන්ධ මේ දුකයයි නුවණින් මෙනෙහි කරයි, යහපත් වූ උපායෙන් මාර්ගයෙන් සිතා බලයි, විදර්ශනා ද කරයි. විදර්ශනාව මෙහිදී මනසිකාර ශීර්ෂයෙන් කියන ලදී. ඒ දුක උපදවන පෙර භවයට අයත් යම් මේ තණ්හාවක් වේද මේ දුක්ඛ සමුදය යයි නුවණින් මෙනෙහි කරයි. යම්හෙයකින් මේ දුක, මේ සමුදය මෙතැනට පැමිණ නිරුද්ධ වේද නොපවතී ද එහෙයින් නිවන දුක්ඛ නිරෝධයයි නුවණින් මෙනෙහි කරයි. නිරෝධයට පමුණුවන අංග අටකින් යුත් මාර්ගය මේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවය යි නුවණින් මෙනෙහි කරයි. උපායෙන්, මාර්ගයෙන් සිතා බලයි. විදර්ශනා ද කරයි.
මේ එහි උපාය යි - සිතින් දැඩිකොට ගැනීම නම් වූ අභිනිවේසය ස්කන්ධයෙහි වෙයි. නිවනෙහි නොවෙයි. එහෙයින් මේ අර්ථය යි. මේ කයෙහි පඨවි ධාතුය, ආපෝ ධාතුය යනාදී ක්‍රමයෙන් සතර මහාභූතද ඒ අනුසාරයෙන් උපාදාරූප ද විමසා මේ රූපස්කන්ධයයි ද තීරණය කරයි. එය තීරණය කරන ඔහුට උපන්නා වූ ඒ අරමුණෙහි චිත්ත චෛතසික ධර්මයන් මේ සතර අරූප ස්කන්ධය යි තීරණය කරයි. එතැන් සිට මේ පංචස්කන්ධය දුක යයි තීරණය කරයි. ඒවා කෙටියෙන් නාමය රූපය යනුවෙන් දෙකොටසක් වෙයි. මේ නාමරූප ද හේතු සහිතව ප්‍රත්‍ය සහිතව උපදියි. මේ අවිද්‍යාව භව තණ්හාව මුල්කොට ඇත්තේ හේතුවය. මේ ආහාරය මුල්කොට ඇත්තේ ප්‍රත්‍යයයි. ඒ නාමරූපයන්ගේ හේතුප්‍රත්‍ය තීරණය කරයි. හෙතෙම ඒ ප්‍රත්‍යයන්ගේ ද ප්‍රත්‍යයෙන් උපන් ධර්මයන්ගේ ද තත් වූ පරිදි භාව ලක්‍ෂණය තීරණය කොට මේ ධර්මයෝ පෙර නොතිබී හටගනිත්. ඇතිවී නිරුද්ධ වෙත්. එහෙයින් අනිත්‍යයයි අනිත්‍ය ලක්‍ෂණයට නංවයි. ඇතිව නැතිවීමෙන් පීඩාවට පත් වූ බැවින් දුකයයි දුක්ඛ ලක්‍ෂණයට නංවයි. තමාගේ වසඟයෙහි නොපවත්නා හෙයින් අනාත්මයයි අනාත්ම ලක්‍ෂණයට නංවයි.
මෙසේ ත්‍රිලක්‍ෂණයට නංවා විදර්ශනා කරමින් ඇතිව නැතිවීම පිළිබඳ (උදයබ්බය) ඤාණය උපන්විට ඕභාසය (ආලෝකය) ආදිකොට ඇති විදර්ශනා උපක්ලේශයන් මාර්ගය නොවේ යයි ද උදයබ්බය ඤාණයම ආර්ය මාර්ගයට උපාය වූයේ පූර්වභාග මාර්ගයයි මග නොමග (මග්ගාමග්ගං) තීරණය කොට නැවත උදයබ්බය ඤාණය ද පිළිවෙළින් භංග ඤාණාදිය ද උපදවමින් සෝතාපත්ති (සෝවාන්) ආදී මාර්ගයන්ට පැමිණෙයි. එකෙණෙහි සත්‍ය සතර එකම අවබෝධයෙන් අවබෝධ කරයි. එකම අභිසමයෙන් (අවබෝධයෙන්) අභිසමය (අවබෝධ) කරයි. එහිදී දුක පිරිසිඳ අවබෝධයෙන් අවබෝධ කිරීමෙන් (පරිඤ්ඤා පටිවෙධෙන) ද සමුදය දුරුකිරීම පිළිබඳ අවබෝධයෙන් අවබෝධ කිරිමෙන් (පහාණ පටිවෙධෙන) ද සියලු අකුසල් දුරුකරයි. නිරෝධය ප්‍රත්‍යක්‍ෂ කිරීම් වශයෙන් අවබෝධ කිරීමෙන් (සච්ඡිකිරියා පටිවෙධෙන) ද මාර්ගය වැඩීමෙන් ලබන අවබෝධයෙන් අවබෝධ කිරීමෙන් (භාවනා පටිවෙධෙන) ද සියලු කුසල් වඩයි.
ආර්ය මාර්ගය වෙනත් ක්‍රමයක් නැති හෙයින් (නිප්පරියාය වශයෙන්) නින්දිත, චංචල ආදි අර්ථයෙන් කුසල නම් වේ. එය වැඩූ කල්හි සියලුම කුසල් ද නිවැරදි වූ බෝධිපාක්‍ෂික ධර්ම ද වැඩීම පරිපූර්ණ බවට යන්නේ යයි මෙසේ නුවණින් මෙනෙහි කරමින් අකුසල් දුරුකරයි. කුසල් වඩයි. එහෙයින් ‘ඉදං දුක්‍ඛන්ති යොනිසො මනසිකරොති අයං දුක්‍ඛසමුදයොති යොනිසො මනසිකරොති’ ‘මේ දුක යයි නුවණින් මෙනෙහි කරයි. මේ දුක්ඛ සමුදය යයි නුවණින් මෙනෙහි කරයි’ ආදිය වදාරන ලදී. ‘යොනිසො මනසිකාර සම්පන්නස්සෙතං භික්‍ඛවෙ භික්‍ඛුනො පාටිකංඛං අරියං අට්ඨංගිකං මග්ගං භාවෙස්සති අරියං අට්ඨංගිකං මග්ගං බහුලීකරිස්සති’ ‘මහණෙනි, යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත වූ භික්‍ෂුව විසින් අරිඅටඟි මග වඩන්නේය. අරිඅටඟි මග බහුල වශයෙන් කරන්නේය යන මෙය කැමතිවිය යුතුය’ යන අනිකක් ද වදාරන ලදී.