5. තණ්හාසංයොජන සූත්‍ර වර්ණනාව
පස්වැනි සූත්‍රයෙහි යමෙකුගේ විද්‍යාමානත්වය වේද ඒ පුද්ගලයා දුක්වලින් කර්මය හෝ විපාකවලින් භවය - යෝනිය - ගතිය විඤ්ඤාණයේ සිටීම - සත්තාවාස හෝ භවයෙන් භවය ආදියෙහි යොදන්නේය යන අර්ථයෙන් සංයෝජන නම් වේ. ආසා කිරීම් අර්ථයෙන් තණ්හා නම් වේ. මෙය කරණකොට තමා ආශාකරයි හෝ ආශාවෙන් පීඩිත වෙයි හෝ ආශා කරති හෝ තණ්හා නම් වේ.
සඤ්ඤුත්තා යනු ඇස ආදී ඇලුම් කටයුතු වස්තුවල බැඳුණු, සෙස්ස කියන ලද ක්‍රමයටම ය. ඒකාන්තයෙන් මෙහි අවිද්‍යාවේ සංයෝජන භාවයද තණ්හාවේ නීවරණභාවය ද ඇත්තේම ය. එහෙත් අවිද්‍යාවෙන් වසන ලද ආදීනව ඇති භවයන්හි තෘෂ්ණාව සත්ත්වයන් යොදවන්නේය යන මේ වෙනස දැක්වීම සඳහා පළමු සූත්‍රයෙහි අවිද්‍යාව නීවරණයක් වශයෙන්ම ද මෙහි තණ්හාව සංයෝජනයක් වශයෙන් ද කියන ලදී. එය ද නීවරණ, සංයෝජනයන්ගේ ප්‍රධාන බව දැක්වීම පිණිසය. යම්සේ නීවරණ වශයෙන් අවිද්‍යාව සංක්ලේශ ධර්මයන්ට ප්‍රධාන වන්නේ ද පූර්වාංගම වන්නේ ද මෙසේ සංයෝජන වශයෙන් ම අවිද්‍යා තණ්හා දෙක අතුරෙන් තව එයට සම්බන්ධ ප්‍රධානභාවය දක්වන්නට සූත්‍ර දෙකෙහි ඒ ධර්ම මෙසේ කියන ලදී. එහෙත් විශේෂයෙන් අවිද්‍යාව නිවන්දොර ආවරණය කරන හෙයින් නීවරණය යි කියන ලදී. තණ්හාව සසර දුක සමග සත්ත්වයන් යොදන හෙයින් සංයෝජනයයි කියන ලදී.
සෝවාන් මාර්ගය නම් වූ දර්ශන ගමනට අනතුරු කිරීම් වශයෙන් ද විද්‍යාචරණ ධර්මයන්ට විරුද්ධ හෙයින් ද දෙක දෙකක් කොට කියන ලදී. විද්‍යාවට කෙළින්ම විරුද්ධ වූ අවිද්‍යාව නිවන් දැකීමටත් නොවෙනස් වූ (යථාභූත) දැකීමටත් විශේෂ වශයෙන් අන්තරායකරය. චරණ ධර්මයන්ට කෙළින්ම විරුද්ධ වූ තණ්හාව යහපත් ප්‍රතිපත්තියේ ගමනට අන්තරායකරය. මෙසේ අවිද්‍යාවෙන් වැසුණු, අන්ධ කරන ලද තණ්හාවෙන් වැසුණු බැඳුණු මේ අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ අන්ධයකු මෙන් බැඳුනේ මහා කාන්තාරය වූ සංසාර කාන්තාරය නො ඉක්මවයි. අනර්ථය උපදවන හේතු දෙක දැක්වීම පිණිස (අවිද්‍යා-තණ්හා) දෙක දෙයාකාර කොට කියන ලදී. අවිද්‍යාවෙන් යුක්ත වූ පුද්ගලයා මෝඩ බැවින් යහපත පිරිහෙළයි. නුසුදුසු ක්‍රියා කිරීමෙන් අදක්‍ෂ රෝගියකු මෙන් තමාට අයහපතද කරයි. දන්නා වූ ද බාලයා මෝඩ බැවින් යහපත පිරිහෙළයි. නුසුදුසු දෙය පරිහරණය කරන දන්නා වූ රෝගියකු මෙන් අයහපත ද කරයි. මක්කටාලේපෝපම සූත්‍රය මේ කරුණට සාධකයකි.
පටිච්ච සමුප්පාදයේ මූලකාරණ දැක්වීම පිණිස ද මෙහි දෙක දෙයාකාර කොට කියන ලදී. විශේෂ වශයෙන් සම්මෝහය බලවත් බැවින් අවිද්‍යා ක්‍ෂේත්‍රය අතීත කාලයට ඇතුළත්ය. ප්‍රාර්ථනාව බලවත් බැවින් තෘෂ්ණා ක්‍ෂේත්‍රය අනාගත කාලයට ඇතුළත්ය. එය එසේම ය. සමෝහය බහුල වූ බාලයා අතීතය අනුව ශෝක කරයි. මොහුට අවිජ්ජා පච්චයා සංඛාරා යන ආදී සියල්ල පමුණුවා ගතයුතුය. ප්‍රාර්ථනාව බහුල පුද්ගලයා අනාගතයට ආශා කරයි. මොහුට ‘තණ්හාපච්චයා උපාදානං’ යනාදී සියල්ල පමුණුවා ගතයුතුය. මේ කාරණයෙන් ම ඔවුන්ගේ මුල්කෙළවර ගෙන ඒමෙන් ද අග කෙළවර සම්බන්ධ කිරීමෙන් ද පිළිවෙළින් මුල් කාරණය ඇති බව දක්වන ලදැයි දතයුතුය.
ගාථාවල - තණ්හා දුතියො යනු තණ්හා සහායකයා ය. තණ්හාව වනාහි දිය නැති (නිරුදක) කාන්තාරයෙහි මිරිඟුවෙන් ජලය යන සංඥාව උපදවා සතුටු වන්නාක් මෙන් පිපාසයෙන් මැඩුණු, පිළියම් කළ නොහැකි දුකින් මැඩුණු සත්ත්වයාට ආස්වාද දැක්වීම් වශයෙන් සහාය කටයුතු කරමින් භවාදියෙහි කැඩීයාමක් නොකොට ඇවිද්දවයි. එහෙයින් තණ්හා පුරිසස්ස දුතියා = තණ්හාව පුරුෂයාගේ දෙවැන්නිය යි කියන ලදී. අනිත් කෙලෙස් ආදිය භවයෙහි ඉපදීම පිණිස ප්‍රත්‍ය නොවේද? එය ඇත්තයි. එහෙත් තණ්හාව මෙන් විශේෂ ප්‍රත්‍ය නොවේ. එය එසේම ය. ඒ තණ්හාව කුශලයන්ගෙන් තොරව අකුශලයන් සමග ද කාමාචරාදි කුශලයන්ගෙන් තොරව රූපාවචරාදි කුශලයන් සමග ද භවයෙහි ඉපදීම පිණිස විශේෂ ප්‍රත්‍ය වෙයි. යම්හෙයකින් සමුදය සත්‍යය යි කියන ලද ද එහෙයිනි.
ඉත්‍ථභාවඤ්ඤථාභාවං යනු ඉත්‍ථභාවය ද අඤ්ඤථාභාවය ද ඉත්‍ථභාවඤ්ඤථාභාවය යි. එය මොහුට ඇත්තේ යයි ඉත්‍ථභාවඤ්ඤථා භාවයයි. එනම් සසරය. එහි ඉත්‍ථභාවය ඒ මිනිසත් බවයි. එයින් අවශේෂ වූ සත්වාවාස අඤ්ඤථාභාවය යි. ඒ ඒ සත්ත්වයන්ගේ වර්තමාන ආත්මභාවය හෝ ඉත්‍ථභාවයයි. අනාගත ආත්මභාවය අඤ්ඤථාභාවයයි. මෙබඳු අනිකුත් ආත්මභාවය හෝ ඉත්‍ථභාවය යි. මෙබඳු නොවූ ආත්මභාවය අඤ්ඤථාභාවයයි. එය ඉත්‍ථභාව අඤ්ඤථාභාවය යි. සංසාරං යනු ස්කන්ධ ධාතු ආයතනයන්ගේ පිළිවෙළයි. නාති වත්තති යනු නො ඉක්මවයි.